ස්පේස් එක්ස් හා නාසා ඓතිහාසික මෙහෙයුමේ නිරත ගගනගාමීහු අභ්‍යවකාශ මධ්‍යස්ථානයට එක් වෙති

මෙහෙයුමේ නිරත ගගනගාමීන්

ඡායාරූප මූලාශ්‍රය, NASA

අභ්‍යවකාශ චාරිකාවල තවත් නව සන්ධිස්ථානයක් සටහන් කෙරෙන ගමනක යෙදුනු ඇමෙරිකානු ගගනගාමීන් දෙදෙනා පෘථිවිය වටා කක්ෂගතව ඇති ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ඉරිදා (මැයි 31) පිවිසුණහ.

වසර නවයකට පසු ඇමෙරිකානු භූමියෙන් ගගනගාමීන් දෙදෙනෙකු උඩුගුවනට යැවුණු ප්‍රථම අවස්ථාව මෙය වන අතර එය නාසා හෙවත් එක්සත් ජනපදයේ ජාතික ගගන හා අභ්‍යවකාශ පාලනාධිකාරිය හා ස්පේස් එක්ස් (SpaceX) සමාගමේ ඒකාබද්ධ ව්‍යාපෘතියකි.

වානිජමය වශයෙන් ක්‍රියාත්මක කෙරෙන මානව අභ්‍යවකාශ ගමන්වල පළමුවැන්න ලෙස සටහන් වූ මේ ගමනේදී අජටාකාශගාමීන් දෙදෙනා රැගත් ඩ්‍රැගන් කැප්සියුලය ෆ්ලොරිඩාහි කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් අභ්‍යවකාශයට ගෙන ගියේ ෆැල්කන් - 9 (Falcon-9) රොකට්ටුවෙනි.

එසේම ඩග් හර්ලි සහ බොබ් බෙහ්න්කන් යන නාසා ගගනගාමීන් ගෙන ගිය ඩ්‍රැගන් කැප්සියුලය සැපයීම හා එය මෙහෙයවීම සිදුකරනු ලබන්නේ පුද්ගලික සමාගමක් වන SpaceX ය.

ඡායාරූප මූලාශ්‍රය, NASA

ඡායාරූප ශීර්ෂ වැකිය,

ඩ්‍රැගන් කැප්සියුලය තමන් වෙත ළඟාවන ආකාරය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට පෙනුණු අයුරු

ග්‍රිනිච් වේලාවෙන් 14:16 ට ඩ්‍රැගන් කැප්සියුලය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය හා තටාකගත වීම තහවුරු වූ අතර එය සම්පුර්ණ ස්වයංක්‍රීය ක්‍රියාවලියක් විණි. ගැටලුවක් වී නම් පමණක් එම ක්‍රියාවලියට ගගනගාමීන්ගේ මැදිහත්වීම ලබාගැනීම සැලසුම විය.

කැප්සියුලය තටාකගතවන විට ජාත්‍යන්තර අභාවකාශ මධ්‍යස්ථානය උතුරු චීන හා මොන්ගෝලියා දේශසීමා අතරින් කිලොමීටර 422 ක් (සැතපුම් 262) ඉහළ ස්ථානගතව තිබිණි.

ඡායාරූප මූලාශ්‍රය, SpaceX

ගගනගාමීන් දෙදෙනා රැගත් ඩ්‍රැගන් කැප්සියුලයට නමක් දීම සිදුවූයේ, සිය යානය තමන් විසින් ම නම් කරනු ලැබීමේ ඇමෙරිකානු අභ්‍යවකාශගාමීන් අතර ඇති සම්ප්‍රදායට අනුවය. එම සම්ප්‍රදාය 1960 දශකයේ මුල් අවදියේ පැවති අඟහරු කැප්සියුල වැඩසටහන දක්වා ඈතට දිව යයි.

"එන්ඩේවර් කැප්සියුලය" (Capsule Endeavour), ඒ අනුව දෙන ලද නම ය.

මේ ගැන පැහැදිලි කරමින් ඩග් හර්ලි පෘථිවිය අමතා මෙසේ කීය. "කරුණු කිහිපයක් නිසා අපි එන්ඩේවර් කියන නම තෝරාගත්තා. ඉන් එකකකට හේතු වුණේ 2011 දී අභ්‍යවකාශ ෂටල වැඩසටහන නැවතුනු තැන සිට නාසා, ස්පේස් එක්ස් හා එක්සත් ජනපදය එළඹුණු මේ විශිෂ්ටතම ප්‍රයත්නය ("incredible endeavour")."

"අනෙක් හේතුවනම් බොබ්ටත් මටත් ටිකක් පෞද්ගලිකයි. අපි දෙන්නාගේම පළමු අභ්‍යවකාශ ගමන යෙදුණේ එන්ඩේවර් ෂටලයේ. ඒ නම ගෙනයාම අපට අතිශයින් ම සමීපයි."

නාසා හි අනෙකුත් ෂටල සමූහය සමගින් 2011 වසරේදී විශ්‍රාම ගැන්වුණු එන්ඩේවර් ෂටලයට එම නම තැබුණේ බ්‍රිතාන්‍ය ගවේශකයෙකු වූ ජේම්ස් කුක් ගේ අණදීම යටතේ 18 වෙනි සියවසේදී ඔස්ට්‍රේලියාව හා නවසීලන්තය වෙත යාත්‍රා කිරීමට යොදාගත් පර්යේෂණ නෞකාවක් වූ 'එච්එම්එස් එන්ඩේවර්' (HMS Endeavour) සිහි ගැන්වීම සඳහා ය.

"විශිෂ්ටතම ප්‍රයත්නය" ලෙස පැවසීමේදී හර්ලි විසින් අදහස් කරනු ලැබුවේ පහළ පෘථිවි කක්ෂය (LEO) වාණිජකරණය කිරීමය.

එහි ඉලක්කය වී තිබෙන්නේ පෘථිවියට සමීප ඉහළින් කෙරෙන නිරන්තර අභ්‍යවකාශ මෙහෙයුම් පෞද්ගලික අංශය අතට පත් කිරීම වේ. එහිදී ගගනගාමීන් හා භාණ්ඩ නිරන්තර ප්‍රවාහනය ස්පේස් එක්ස් (SpaceX) වැනි ආයතන මෙන්ම වෙනත් ආයතන විසින් මෙහෙයවනු ලැබීම ඉන් අරමුණු කරයි.

රොකට් හා කප්සියුලා තාක්ෂණය සංවර්ධනය කිරීම සඳහා SpaceX දැනටමත් ගෙන ඇති වේගවත් හා නිර්මාණශීලී ප්‍රවේශය නාසා ආයතනයේ ඩොලර් බිලියන ගණනින් ඉතිරි කිරීමට හේතුවී ඇතැයි පිළිගැනේ.

තවදුරටත් පහළ පෘථිවි කක්ෂය සඳහා වූ තමන්ගේම ප්‍රවාහන යානා සතුකර ගැනීමට ඇමෙරිකානු අභ්‍යවකාශ ඒජන්සියට අවශ්‍යතාවක් නැත. ඒ වෙනුවට, ගගනගාමීන් යළි සඳට ගෙන යාමේ වඩා සංකීර්ණ හා වඩා වියදම් අධික කර්තව්‍ය සඳහා සම්පත් යොමු කිරීමට අපේක්ෂා කෙරේ.

'ආර්ටිමිස්' (Artemis) ලෙස නම්කර ඇති එම වැඩසටහන හරහා චන්ද්‍ර පෘෂ්ඨය වෙතට 2024 වසරේදී ගගනගාමීන් ගෙනයාමට ඉලක්ක කොට ඇත.

සිය වසර කිහිපයක සේවා කාලය තුළ නාසා වෙත ලැබුණු මුල්‍ය ප්‍රතිපාදනය ඩොලර් බිලියන 19 ක් පමණ වූ බව කී එහි පරිපාලක ජිම් බ්‍රිඩ්න්ස්ටයින්, ලබන වසර සඳහා ඩොලර් බිලියන 25ක් ජනාධිපති ට්‍රම්ප් විසින් සපයන ලද බවත් ආයතනය දැන් ශක්තිමත් තැනක සිටින බවත් පැවසීය.

ජෝන් එෆ් කෙනඩි ජනාධිපතිවරයාගෙන් පසු මෙවැනි සහයක් අභ්‍යවකාශ වැඩපිළිවෙල සඳහා ලැබී නැති බව ද ඔහු කියා සිටියේය.

ආර්ටිමිස් වැඩසටහන සාර්ථකවනු දැකීම සැමගේ අපේක්ෂාව බව කී ඔහු ඊළඟ මිනිසා පමණක් නොව සඳට යන පළමු ගැහැණිය ද දැකීම සැමගේ අපේක්ෂාව බවත් සිය ආයතනය දැන් වැඩකරන්නේ ඒ සම්බන්ධයෙන් බවත් පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය,

SpaceX සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඊලොන් මස්ක්

(විද්‍යා කටයුතු පිළිබඳ බීබීසී වාර්තාකරු ජොනතන් ඒමොස් සකස් කළ වාර්තාවක් ඇසුරිණි)

මෙම තොරතුරුද දැනගන්න: