ලොව පුරා මාධ්‍යවේදීන්ගේ සේවය දැඩි ලෙස දැනෙන කාලයක්

Work of journalists in 2020

ඡායාරූප මූලාශ්‍රය, Reuters/CARLOS BARRIA

ඡායාරූප ශීර්ෂ වැකිය,

ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනයට එරෙහිව ඇමරිකාවේ විරෝධතා අතර

2020 යනු මාධ්‍යවේදීන්ට අතිශය වැදගත් වසරක් වන බවට අවසර ආරම්භයේ දීම හැඟී ගියේය.

මෙය ජනමාධ්‍යවේදීන්ට අසාමාන්‍ය අවස්ථාවක් මෙන්ම ඔවුන් ඉටුකරන සේවාව සඳහා ඉල්ලුමක් ඇති කාලයකි. එමෙන්ම, පැයෙන් පැයට වෙනස් වන තර්ජන සහ විශාල අනතුරුවලට ද ඔවුන්ට මුහුණ පාන්නට ද සිදුව ඇත.

කෝවිඩ් -19 සහ ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණය ලොව පුරා ප්‍රධාන පුවත් බවට පත් වී තිබේ. අනාගතය උදුරා ගන්නා හදිසි වෙනසක අද්දර සිටිමින් ඉතිහාසයේ එක් සන්ධිස්ථානයක් සනිටුහන් කිරීම සිදු වෙමින් පවතී. නමුත් අප අතරින් සමහරෙකුට 2020 ජනවාරි මාසයේ දිනවලම මෙම හැඟීම ඇති විය.

ගෝලීය බලය නැගෙනහිර දෙසට යළි තුලනය කිරීම, දේශගුණික විපර්යාස, කැලිෆෝනියානු තාක්ෂණික දැවැන්තයින් පස් දෙනෙකුගේ ආධිපත්‍යය, මූල්‍ය අර්බුදයකින් ඉක්බිතිව ලොව පුරා ප්‍රභූ පැලැන්තියට එරෙහිව නැඟෙන ජනතාවාදී කැරැල්ල වැනි සිද්ධීන් රාශියක් හේතුවෙන් මෙය මෑත වසරවල ඉතිහාසයේ කාර්යබහුලම කාල පරිච්ඡේදයක් බවට පත් වී තිබේ.

මුදල් හිඟකම

කෙසේනමුත්, මෙම ඩිජිටල් යුගයේ දී බොහෝ අය පුවත් සඳහා මුදල් නොගෙවීමත් සමඟ, ගුණාත්මක මාධ්‍ය කලාවට අරමුදල් සැපයීම අසීරු බව ඔප්පු වී තිබේ.

කොරෝනාවෛරස වසංගතයට පෙර සිටම පුවත්පත් වැනි සාම්ප්‍රදායික මාධ්‍ය ජනතාව අතර බෙදා හැරීමේ ආකෘතීන් විනාශ වීම මෙන්ම එම කර්මාන්තයේ වැඩි කොටසක් සඳහා මුල්‍යමය ශක්තිය ලබා දෙන වෙළෙඳ දැන්වීම්වල විශාල පසුබෑමක් ඇති වීම එම තත්ත්වයට හේතු වී තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Reuters/TOBY MELVILLE

ඡායාරූප ශීර්ෂ වැකිය,

කොරෝනාවෛරස වසංගතය නිසා පුවත්පත් අලෙවියට දැඩි බාධා එල්ල වී ඇත

අන්තර්ජාලය මඟින් සාමාන්‍ය දෛනික පුවත් විශ්වීය වෙළෙඳ භාණ්ඩයක් බවට පත් කිරීම ජනමාධ්‍යවේදයෙහි මූල්‍ය අර්බුදයට බලපාන තවත් එක් සාධකයක් පමණි.

අන්තර්ගතය සඳහා මුදල් නොගෙවන යෝධ තාක්‍ෂණික වේදිකාවලට වෙළෙඳ දැන්වීම්වල මුදල් විශාල ලෙස ගලා යාම මගින් තත්ත්වය වඩාත් නරක අතට හැරිණි.

ප්‍රජාතන්ත්‍රවාදයට ආශීර්වාදයක් වනු ඇතැයි පොරොන්දුව මත කරළියට පැමිණි සමාජ මාධ්‍ය මේ වන විට ඊට බොහෝ ආකාරවලින් අන්තරාය ගෙන දෙමින් තිබේ.

අපයෝජන, අන් පුද්ගලයන් අපහසුතාවට පත් කිරීම් සහ කුමන්ත්‍රණ සමාජ මාධ්‍ය ජාල තුළ විශාල වශයෙන් ව්‍යාප්ත වෙමින් පවතී. මේ හේතුවෙන්, මාධ්‍ය වාර්තාකරුවන්ගේ අවධානය සහ ප්‍රමුඛතා නිරන්තරයෙන් වෙනස් කෙරෙමින් පවතින අතර, මහජන හැඟීම සැබවින්ම කොතැනද යන්න ග්‍රහණය කර ගැනීම ඔවුන්ට අපහසු කාර්යයක් වී තිබේ.

තවද, යම් පුවතක් අන්තර්ජාලය හරහා බෙදා ගැනීමට (share) සහ නැවත tweet කිරීමට ඇති දැඩි උනන්දුව සහ හානිකර පෙළඹවීම මත කර්තෘත්වය පිළිබඳ විනිශ්චය අහෝසි වී ඇත.

කෙසේනමුත්, පවතින තත්ත්වය මත කැලිෆෝනියානුවන් සුළු පිරිසක් ඉතා ධනවත් වන බව පෙනෙන්නට ඇත. පැරණි මාධ්‍ය වියැකී යනවා සේම, ඩිජිටල් විප්ලවය අතරේ දිවි රැකගත නොහැකි වූ සාම්ප්‍රදායක ජනමාධ්‍ය ආයතනවල මළකඳන් මත නව මාධ්‍ය දියුණු වෙමින් තිබේ.

කාර්යයන් තුනක්

මූල්‍ය අර්බුදය, සත්‍ය සොයා ගැනීමේ අපහසුතා, ඩිජිටල් සංස්කෘතිය සහ කර්තෘත්ව තීන්දු කිරීම සම්බන්ධයෙන් ඇතිවන බලපෑම් නිසා මෙම සතිය තුළ දී ලොව පුරා මාධ්‍යවේදීන්ට එරෙහි බිහිසුණු ප්‍රහාර දැක ගත හැකි විය.

ඇත්ත වශයෙන්ම මේ සඳහා පෙරමුණ ගනු ලැබුවේ ජනමාධ්‍යවේදීන් ජනතාවගේ සතුරා ලෙස හඳුන්වන එක්සත් ජනපද ජනාධිපතිවරයකු විසිනි. ඇමරිකාවේ සිට ඕස්ට්‍රේලියාව දක්වා සිදුවෙමින් පවතින දේ වාර්තා කිරීමට උත්සාහ කිරීම මත වාර්තාකරුවන්, නිෂ්පාදකයන් සහ කැමරාකරුවන් නිහඬ කිරීම් හෝ ඔවුන්ට පහර දීම් එල්ල වෙමින් පවතී. එමෙන්ම, මෙවැනි දේ සිදු වන්නේ දියුණු ප්‍රජාතන්ත්‍රවාදී යැයි හඳුන්වන රටවලය.

ඡායාරූප මූලාශ්‍රය, REX/Shutterstock

ඡායාරූප ශීර්ෂ වැකිය,

ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනයට එරෙහිව ලන්ඩනයේ පැවැති විරෝධතාවල දී පහර දීමකට ලක් වූ මාධ්‍යවේදියෙක්

ජනමාධ්‍යවේදයේ ප්‍රධාන කාර්යයන් තුනක් ඇත: පුරවැසියා දැනුවත් කිරීම, බලය සියුම් ලෙස නිරීක්ෂණය කිරීම සහ පුළුල් අර්ථයෙන් ගත් කළ, සමාජ සංස්කෘතිය අදහස් හා පරමාදර්ශ පැතිරීම මඟින් දැනුවත් කිරීමය. බොහෝ මාධ්‍යවේදීන් ධනවත් හෝ ප්‍රසිද්ධ අය නොවන අතර, විනීත, සමාජය සමග බැඳුණු ඔවුන්ට අවශ්‍ය වන්නේ සත්‍ය හෙළි කිරීම පමණි.

සමාජයේ යහපත් දේ පහසුවෙන් විනාශ කළ හැකි නමුත් පහසුවෙන් නිර්මාණය කළ නොහැකිය. නිරවද්‍ය, සාධාරණ මාධ්‍ය කලාව ද එවැනි එක් සමාජ යහපතකි.

නමුත් වර්තමානයේ දී ලොව පුරා සිටින මාධ්‍යවේදීන් 'නිර්දෝෂී බව ඔප්පු වන තුරු වැරදිකරුවන්' යැයි සැලකෙන සාමාන්‍ය පුද්ගල කාණ්ඩයකට මාරුවෙමින් සිටින බව පෙනේ.

කෙසේනමුත්, ජනමාධ්‍යවේදීන් අතුරුදහන් වුවහොත් අපට ඔවුන්ගේ අවශ්‍යතාව වඩා දැනෙනු ඇත. ඔවුන් නොමැති ජීවිතය කෙබඳු වේද යන්න පිළිබඳ පෙරදසුනක් ඔබට අවශ්‍ය නම්, උතුරු කොරියාවේ ජීවත් වීමට උත්සාහ දරන්න.

(බීබීසී ලෝක සේවයේ ගුවන් විදුලි ලුහුඩු සංග්‍රහයක් ලෙස විකාශය කෙරුණු මෙය මාධ්‍ය සංස්කාරක අමෝල් රාජන් විසින් සකස් කරන ලද්දකි.)

මේ තොරතුරු ද කියවන්න: