කාන්තාවක යතුරු පැදියේ ගැටගසා ගුරු පාරක් දිගේ ඇදගෙන ගිය පොලිස් නිලධාරියෙක්

The one-and-a-half minute clip has caused outrage on social media

ඡායාරූප මූලාශ්‍රය, @DCI_KENYA

කාන්තාවක යතුරු පැදියක ගැටගසා බිම දිගේ ඇදගෙන යන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් නිකුත් වීමෙන් අනතුරුව කෙන්යාවේ පොලිස් නිලධාරීන් තිදෙනෙකු අත්අඩංගුවට පත් වී තිබේ.

සොරකමකට සම්බන්ධ යැයි චෝදනා ලත් 21 හැවිරිදි එම කාන්තාවට තවත් පුද්ගලයෙකු විසින් කස පහර දෙනු ලබන ආකාරය ද එම වීඩියෝ පටයේ දැක්වේ.

එම පහර දීම නවතාලන ලෙසට එම කාන්තාව අයදින ආකාරය එම වීඩියෝ පටයේ දැකගත හැක.

අනතුරුව ප්‍රදේශවාසීන්ගේ මැදිහත්වීමෙන්, මෙම කාන්තාව රෝහල්ගත කර ඇති අතර ඇගේ සිරුරේ තුවාලවලට සහ බිඳී ගිය පාදයකට වෛද්‍ය ප්‍රතිකාර ලබා දී තිබේ.

"මම දන්නේ නැහැ මගේ ජීවිතේ බේරුනේ කොහොම ද කියලා," තමන් මුහුණ දුන් සිද්ධිය ගැන විස්තර කරමින් මර්සි චෙරෝනෝ, කෙන්යාවේ Standard පුවත්පතට ප්‍රකාශ කළාය.

එම පුවත්පත වාර්තා කරන පරිදි පසුගිය ඉරිදා එය සිදුවී ඇත්තේ කෙන්යාවේ නයිරෝබි අගනුවරට සැතපුම් 155 ක් පමණ ඈතින් පිහිටි නගරයකය.

මෙම කාන්තාව යතුරු පැදියේ ගැටගසා ගුරු පාරක් දිගේ ඇදගෙන යන අවස්ථාවේ ඇය ඇඳ සිටි කලිසම සහ යට ඇඳුම දණහිස දක්වා පහත් වී තිබෙන ආකාරය ඉහත කී වීඩියෝ පටයේ දැකගත හැකිය.

එම වීඩියෝ පටය අවසානයේ දැකගත හැක්කේ මෙම කාන්තාව විශාල පිරිසක් විසින් වටකර ගෙන සිටිනු ලබන ආකාරයයි.

විනාඩි එකහමාරක් පමණ දිගින් යුත් මෙම වීඩියෝ පටය සමාජ මාධ්‍ය ඔස්සේ විශාල පිරිසක් අතර සංසරණය විය.

ඡායාරූප මූලාශ්‍රය, frontline socialist party/ facebook-

ඡායාරූප ශීර්ෂ වැකිය,

කෲරත්වය, වධ බන්ධන පැනවීම සහ භාෂණයේ නිදහසට වැට බඳින බවට ශ්‍රී ලංකා පොලිසියටත් චෝදනා

"මට අනුකම්පා කරන්න කියලා මම ඉල්ලා සිටියත් ඒ පොලිස් නිලධාරියාට ඒ කිසිවක් ඇහුණෙ නැහැ," එම කාන්තාව රෝහලේ සිටියදී Standerd පුවත්පතට ප්‍රකාශ කළාය.

"මම තව ම දන්නෙ නැහැ මේ විදිහට දඬුවම් දෙන්න මම කරපු අපරාධය මොකක් ද කියලා," ප්‍රකාශ කළාය.

කෙන්යාවේ Citizen රූපවාහිනී නාලිකාව වාර්තා කළේ පොලිස් නිලධාරියකුගේ නිවසින් භාණ්ඩ කිහිපයක් සොරාගත්, තිදෙනෙකුගෙන් යුත් කල්ලියකට මෙම කාන්තාව සම්බන්ධ වී ඇතැයි චෝදනා ලබා ඇති බවය.

කෙන්යානු පොලිසිය මැර ක්‍රියාවල යෙදෙන බවට නිතර චෝදනා එල්ල වේ.

කොරෝනාවෛරසය පාලනය කිරීම සඳහා කෙන්යාව තුළ රාත්‍රී කාලයේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූ අතර එම කාලය තුළදී අවම වශයෙන් පහළොස් දෙනකු වත් පොලිසිය විසින් මරා දමනු ලැබ ඇති බව එරට ක්‍රියාධරයෝ පසුගිය සතියේ පැවසූහ.

එම මරණවලට වගකිවයුතු පොලිස් නිලධාරින් අත්අඩංගුවට ගෙන නීත්‍යනුකූලව කටයුතු කරන ලෙස ඉල්ලීම් කර තිබුණ ද මේ දක්වා ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නොමැත.

එසේ මරණයට පත් වූවන් අතර දහතුන් හැවිරිදි පිරිමි ළමයකු ද විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය,

ඇමෙරිකාවේ සුදු ජාතිකයන්ට වඩා කළු ජාතිකයන් මරණයට පත් වීම තුන් ගුණයකට ආසන්න බව දත්ත පෙන්වා දෙයි

කෙන්යාවේ පොලිස් ප්‍රකාශක චාල්ස් ඔවිනෝ බීබීසීයට කියා සිටියේ පිරිසක් විසුරුවා හැරීම සඳහා අහසට වෙඩි තැබීමේදී, එය අත්වැරදීමකින් සිදු වූ අනතුරක් බවය.

කෙන්යානු පොලිසිය විසින් කරනු ලැබූ, පහරදීම්, ජීව පතුරම් සහ කඳුළුගෑස් යොදාගනිමින් වෙඩි තැබීම්, දේපළ හානි සහ ලිංගික ප්‍රචණ්ඩක්‍රියා පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිසම නිකුත් කළ වාර්තාවක ද සඳහන් වේ.

කාන්තාවක යතුරු පැදිය ගැටගසා ඇදගෙන යන ආකාරය දැක්වෙන වීඩියෝ පටය පිළිබඳව අදහස් දක්වමින් Nakuru ප්‍රදේශයේ ආණ්ඩුකාරවරයා කියා සිටියේ එවැනි හැසිරීම් කිසිසේත් නොඉවසන බවය.

එම සිද්ධිය සම්බන්ධයෙන් දැනට අත්අඩංගුවට ගෙන සිටින පොලිස් නිලධාරීන් තිදෙනා අදාළ පරීක්ෂණ සඳහා සහයෝගය දක්වන බව කෙන්යාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

කෙන්යාවෙන් මෙම සිදුවීම වාර්තා වන්නේ වධ බන්ධන පැනවීම්, කෲරත්වය සහ බරපතළ මානව හිමිකම් උල්ලංඝණයන් පිළිබඳව ඇමෙරිකා එක්සත් ජනපදය, ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවක පොලිසිවලට චෝදනා එල්ල වෙමින් තිබෙන අතරවාරයේදීය.

කියවන්න: