බෙලරුසියානු ජනාධිපති අලෙක්සන්දර් ලුකාශෙන්කෝට එරෙහිව මහා විරෝධතා

Belarusia protests

ඡායාරූප මූලාශ්‍රය, Reuters

බෙලරුසියානු ජනාධිපති අලෙක්සන්දර් ලුකාශෙන්කෝ කර්මාන්ත ශාලාවක් නැරඹීම සදහා ගිය අවස්ථාවේ දී එහි සිටි කම්කරුවන් වෙතින් දැඩි විරෝධතාවක් පළවිය.

ජනාධිපතිවරයාගේ නැවත තේරී පත්වීම ගැන රට පුරා දැඩි විරෝධතා පැවැත්වෙමින් තිබේ.

සෝවියට් රුසියාවට අයත්ව තිබූ මෙම රාජ්‍යයේ දීර්ඝ කාලයක් බලයේ රැදී සිටින නායකයාට බැන වදිමින් "ඉවත්වෙන්න" යැයි කම්කරුවෝ හඬ නඟා සිටියහ.

ඡන්දය වංචා කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට දැඩි චෝදනා එල්ල වුවත්, නව ඡන්ද විමසීමකට ඉඩ නොදෙන බව ඔහු තරයේ කියා සිටියේය.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය,

ජනාධිපති අලෙක්සන්දර් ලුකාශෙන්කෝ

රට පුරා පවතින වැඩ වර්ජන ක්‍රියාමාර්ග රාජ්‍ය රූපවාහිනිය තුළට ද පැතිර ගිය අතර එහි කාර්ය මණ්ඩලය අද දින (අගෝස්තු 17) සේවයෙන් ඉවත්ව සිටියහ.

මේ අතර විපක්ෂ නායිකා ස්වෙත්ලානා තිකනොව්ස්කයා යෝජනා කර ඇත්තේ ඇයට අතුරු නායකයෙකු ලෙස කටයුතු කළ හැකි බවය.

විපක්ෂ ආධාරකරුවන්ට එරෙහිව පොලිස් ප්‍රචණ්ඩත්වය යෙදීම මෙන්ම අගෝස්තු 9 දා පැවති ඡන්ද දූෂණ සිදුවූ බව කියැවේ.

ඉරිදා (අගෝස්තු 16) බෙලරුසියාවේ අගනුවර වන මින්ස්ක්හි විශාල විරෝධතා රැලියක් පැවැත්විණි.

අලෙක්සන්දර් ලුකාශෙන්කෝ 1994 වසරේ සිට බෙලරුසියාවට නායකත්වය දුන් අතර එරටට විශාල වශයෙන් බලශක්තිය සපයන අසල්වැසි රුසියාව සමඟ සමීප සබඳතා පවත්වයි.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

අලෙක්සන්දර් ලුකාශෙන්කෝට ඇති පීඩනය කෙතරම් විශාලද?

දේශීය, ස්වාධීන ප්‍රවෘත්ති වෙබ් අඩවියක් වන Tut.by අනුව, ඉරිදා දින මින්ස්ක් හි පැවති රැලිය "ස්වාධීන බෙලරුසියානු ඉතිහාසයේ විශාලතම රැලිය" විය.

පසුගිය මැතිවරණයේ දී අලෙක්සන්දර් ලුකාශෙන්කෝ 80.1% ක ඡන්ද ප්‍රතිශතයක් ද, විපක්ෂ නායිකා ස්වෙත්ලානා තිකනොව්ස්කයා 10.12% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ඇති බව මධ්‍යම මැතිවරණ කොමිසම පැවසූ තැන් සිට ජනතාව අතර දැඩි විරෝධයක් පැන නැඟී ඇත.

මැතිවරණයට ආසන්නයේදී පුද්ගලයින් 6,700 ක් පමණ අත්අඩංගුවට ගත් අතර බොහෝ දෙනෙක් ආරක්ෂක සේවාවලින් සිදු වූ වධහිංසා ගැන කතා කළහ.

සඳුදා (අගෝස්තු 17) මින්ස්ක් නගරයේ ට්‍රැක්ටර් කම්හල නැරඹීමට ගිය අලෙක්සන්දර් ලුකාශෙන්කෝ තම මතභේදාත්මක ජයග්‍රහණය ආරක්ෂා කර ගැනීමේ උත්සාහයක නිරත වෙමින් කම්කරුවන්ට මෙසේ පැවසීය: "අපි මැතිවරණය පැවැත්වුවා. ඔබ මාව මරා දමන තුරු වෙනත් මැතිවරණයක් පැවැත්වෙන්නේ නැහැ."

නමුත් ඔහු කතා කරන විට කම්කරුවෝ ඔහුට බැන වදිමින් "ඉවත්වෙන්න" යනුවෙන් හඬ නැගූහ.

ඡායාරූප මූලාශ්‍රය, EPA

පසුගිය සතියේ රජයේ කර්මාන්තශාලාවල කම්කරුවන් ද විරෝධතාකරුවන්ට සහයෝගය දක්වමින් සේවයෙන් ඉවත් වූ අතර, අලෙක්සන්දර් ලුකාශෙන්කෝට පීඩනය වැඩි කරමින් මෙම සතියේ තවත් වැඩ වර්ජන සැලසුම් කර ඇති බව බීබීසී වාර්තාකරු ජෝනා ෆිෂර් පවසයි.

වාරණයට සහ මැතිවරණ ප්‍රතිඵලවලට විරෝධය පළ කරමින් රාජ්‍ය රූපවාහිනියේ කාර්ය මණ්ඩලය ද සේවයෙන් ඉවත්ව සිටියහ.

මැතිවරණ ප්‍රතිඵල ප්‍රසිද්ධියේ හෙලාදැකීමෙන් පසු ලිතුවේනියාව බලා පිටත්ව ගිය විපක්ෂ නායිකා ස්වෙත්ලානා තිකනොව්ස්කයා කියා සිටින්නේ ඡන්ද නිසි ලෙස ගණන් කළහොත් ඇය 60% සිට 70% දක්වා සහයෝගයක් දිනා ඇති බවය.

සඳුදා (අගෝස්තු 17) නිකුත් කළ වීඩියෝ පණිවුඩයක ඇය කියා සිටියේ රට සන්සුන් හා සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමටත්, දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට මෙන්ම නව මැතිවරණක් සඳහා සූදානම් වීම සඳහාත් ඇය "ජාතික නායිකාවක්" වීමට සූදානම් බවය.

ඉරිදා රැලිය පැවැත්වූයේ කෙසේද?

අගනුවර තුළ ප්‍රතිවාදී රැලි පැවැත්වුණු අතර, විපක්ෂයේ රැලියට වැඩි ජන සංඛ්‍යාවක් ආකර්ෂණය වූ බව දක්නට ලැබිණි.

නිල වාර්තාවකට අනුව ජනාධිපතිට සහය දැක්වූ රැලියට 65,000 ක් දෙනා සහභාගී වී ඇති නමුත් නිල නොවන ඇස්තමේන්තුවට අනුව එය 10,000 ක් තරම් අඩු ප්‍රමාණයකි. නිල නොවන ඇස්තමේන්තුවට අනුව විපක්ෂ රැස්වීම සඳහා 100,000 ත් 220,000 ත් අතර පුද්ගලයන් සංඛ්‍යාවක් සහභාගී වී සිටියහ.

අලෙක්සන්දර් ලුකාශෙන්කෝගේ රැලියට සහභාගී වන ලෙස රාජ්‍ය අංශයේ සේවකයන්ට බල කර ඇතැයි වාර්තා වූ අතර, එසේ නොවුණහොත් රැකියා අහිමි විය හැකි බවට තර්ජනය කර ඇතැයි ද කියැවේ.

ජනාධිපතිවරයා සිය කතාව පවත්වමින් සිටින අතරතුර ඔහුට විරෝධය දක්වමින් විරෝධතාකරුවෝ මින්ස්ක් නගර මධ්‍යයේ පිහිටි යුද ස්මාරකයක් අසල සාමකාමී රැළියක් සඳහා රැස් වූහ.

නිලධාරීන් කිහිපදෙනෙකු මෙන්ම වත්මන් හා හිටපු පොලිස් නිලධාරීන් ද මේ වන විට ඉල්ලා අස්වී තිබේ.

ස්ලෝවැකියාවේ බෙලාරුසියානු තානාපති ඊගෝර් ලෙෂ්චෙන්යා විරෝධතාකරුවන් වෙත සිය සහයෝගීතාව පළ කළ අතර ඔහු බීබීසී වෙත පැවසුවේ ආණ්ඩුව ඔවුන්ට සවන්දීමට සූදානම නැති සෙයක් පෙනෙන බවය.

මේ තොරතුරුද කියවන්න: