ඇමරිකාව: පෘථිවියේ මෙතෙක් වාර්තා වූ වැඩිම උෂ්ණත්වය කැලිෆෝනියාවෙන්

ඩේත් වැලි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

පෘථිවියේ මෙතෙක් වාර්තා වූ ඉහළම උෂ්ණත්වය පසුගිය ඉරිදා (අගෝ. 16) ඇමෙරිකාවේ කැලිෆෝනියාවේ පිහිටි 'ඩෙත් වැලි' (Death Valley - මරණයේ නිම්නය) ජාතික උද්‍යානය ප්‍රදේශයෙන් වාර්තා විය.

එය සෙල්සියස් අංශක 54.4Cක් ලෙස සටහන් වී තිබිණි.

එක්සත් ජනපද ජාතික කාලගුණ සේවය විසින් මෙම වාර්තා තහවුරු කරනු ලැබ ඇත.

මෙම ඉහළ උෂ්ණත්වය වාර්තා වුයේ එක්සත් ජනපදයේ බටහිර වෙරළ තීරයට තාප තරංගයක බලපෑම එල්ලවී තිබියදීය. එම වෙරළ තීරයේ උෂ්ණත්වය මෙම සතිය තුළ තවදුරටත් ඉහළ යනු ඇති බවට කාලගුණ අනාවැකි පළවී තිබිණි.

මෙම තත්ත්වය මත සෙනසුරාදා දින (අගෝස්තු 15) විදුලි බලාගාරයක් අක්‍රීය වීම හේතුවෙන් කැලිෆෝනියාවේ දින දෙකක් පුරා විදුලි බලය ඇනහිට තිබිණි.

'ඩෙත් වැලි' ජාතික වනෝද්‍යානයේ සේවය කරන බ්‍රැන්ඩි ස්ටුවර්ට් බීබීසී වෙත පැවසුවේ, "එය පීඩාකාරී උණුසුමක්. එය කෙලින්ම ඔබේ මුහුණට දැනෙනවා," යනුවෙනි.

බ්‍රැන්ඩි ස්ටුවර්ට් කඩින් කඩ වසර පහක් පුරා ජාතික වනෝද්‍යාන තුළ පදිංචි වී සේවය කරන තැනැත්තියකි. පිටත පවතින දරා ගැනීමට අපහසු උෂ්ණත්වය නිසා අගෝස්තු මාසයේ වැඩි කාලයක් ඇය නිවසට වී ගතකරයි .

"රත් වූ කොණ්ඩය වේලන උපකරණ පොකුරකින් මුහුණට පහරක් ගහනවා වගෙයි පිටතට ඇවිද යන විට දැනෙන්නේ. ඔබට උණුසුම දැනෙන්න ගන්නවා. එය උඳුනක් ඇතුළට ඇවිදීම හා සමානයි. උණුසුම ඔබ වට කරගන්නවා," ඇය පැවසුවාය.

පෙර වාර්තා මොනවාද?

මෙම ඉහළම උෂ්ණත්වය ඉරිදා (අගෝස්තු 16) දින වාර්තා වූයේ ඩෙත් වැලි හි ෆර්නස් ක්‍රීක් ප්‍රදේශයෙනි.

මීට පෙර, පෘථිවියේ වාර්තා වූ ඉහළම උෂ්ණත්වය වන සෙල්සියස් අංශක 54 වාර්තා වූයේ ද ඩෙත් වැලි ප්‍රදේශයෙනි. ඒ, 2013 වසරේදීය.

ශතවර්ෂයකට පෙර මෙම ප්‍රදේශයෙන් ම සෙල්සියස් අංශක 56.6 වාර්තා වීම විවාදයට තුඩු දී ඇත. ඇතැම් නූතන නව කාලගුණ විශේෂඥයන් විශ්වාස කරන්නේ මෙය වැරදි ආකාරයෙන් සටහන් වූවක් බවය. එකල ගිම්හානයේදී තවත් එවැනිම දැඩි උෂ්ණත්ව කිහිපයක් වාර්තා වී තිබිණි.

කාලගුණ ඉතිහාසඥ ක්‍රිස්ටෝපර් බර්ට් 2016 දී කළ විශ්ලේෂණයකට අනුව, 1913 දී කලාපය තුළ වාර්තා වූ අනෙකුත් උෂ්ණත්ව ඩෙත් වැලි හි සටහන් සනාථ නොකරයි.

සෙල්සියක් අංශක 55ක් වූ පෘථිවියේ තවත් වාර්තාගත උෂ්ණත්වයක් 1931 දී ටියුනීසියාවේ සටහන් වූ නමුත් ක්‍රිස්ටෝපර් බර්ට් පැවසුවේ එය මෙන්ම යටත් විජිත සමයේ අප්‍රිකාවෙන් නිකුත් කළ අනෙක් කාලගුණ වාර්තා ද "විශ්වසනීයත්වය පිළිබඳ බරපතල ගැටලු" ඇති කරන බවය.

තාප තරංගය ගැන කුමක් කිව හැකිද?

වර්තමානයේ පවතින තාප තරංගය ඇමෙරිකාවේ නිරිතදිග පිහිටි ඇරිසෝනා ප්‍රාන්තයේ සිට වයඹ දිග පිහිටි වොෂිංටන් ප්‍රාන්තය දක්වා විහිදී තිබේ.

සතියේ අග භාගයේ උෂ්ණත්වය පහත වැටීමට පෙර එය සඳුදා (අගෝ. 17) සහ අඟහරුවාදා (අගෝ. 18) උපරිමයට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරිණි. කෙසේවෙතත්, දැරිය නොහැකි උෂ්ණත්වය අවම වශයෙන් තවත් දින දහයක්වත් පවතිනු ඇත.

කැලිෆෝනියාවේ උෂ්ණත්වය ඉහළ යත්ම, සෙනසුරාදා (අගෝ. 15) ලාසන් ප්‍රදේශයෙන් විශාල 'ගිනි සුළියක්' (firenado) නිරීක්ෂණය විය.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය,

සෙනසුරාදා 'ගිනි සුළියක්' දිස්විණි

කැලිෆෝනියා ප්‍රාන්ත විදුලි බලය කළමනාකරණයේ නියුතු CISO (Independent System Operator) ආයතනය මේ වන විට තෙවෙනි අදියරේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. එහි අර්ථය නම් "සැපයුමට වඩා වැඩි වේගයකින් ඉල්ලුම ඉහළ යාමට පටන්ගන්නා" තත්ත්වයකි.

කලාපයේ බලශක්තිය සැපයීම සූර්ය සහ සුළං බලශක්තිය මත රඳා පවතින නිසාත්, මිනිසුන් තම විදුලිය වායුසමනය සඳහා භාවිත කරන නිසාත්, තාප තරංගයක් පවතින විට දී විදුලිබල ජාලය අඩපණ වන අතර ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන්ම අක්‍රමවත් වීමේ අවදානමක් ඇත.

විදුලිය සඳහා වන ඉල්ලුම කළමනාකරණය කිරීම සහ සම්පූර්ණ බිඳ වැටීමක් වැළැක්වීම සඳහා, බලශක්තිය පාලනය කිරීම සහ සංරක්ෂණය කිරීමට නිලධාරීහු නියමිත කාලසටහනකට අනුව විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කරති.

අධික තාපයේ බලපෑම් මොනවාද?

සෙල්සියස් අංශක 32ට වැඩි උෂ්ණත්වයක් සමග අධික තාපය හා ආර්ද්‍රතාව දින දෙක තුනක කාලයක් පැවතීම දැඩි උණුසුම් පරිච්ඡේදයක් ලෙස නිලධාරීහු හඳුන්වති.

එක්සත් ජනපදයේ මහජන සෞඛ්‍ය ආයතනය වන රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථාන පවසන්නේ රටේ වෙනත් දරුණු කාලගුණික විපර්යාසයන්වලදී වූවාට වඩා තාප තරංග හේතුවෙන් වැඩි පිරිසක් මියගොස් ඇති බවය.

උෂ්ණත්වය නිසා ශරීරයේ හටගන්නා කැක්කුම, විජලනය සහ මාරාන්තික විය හැකි ආඝාතය වැනි රෝග ද තාප තරංගවල ක්ෂණික බලපෑම් නිසා ඇති විය හැකිය.

කෙසේ වෙතත්, අධික උෂ්ණත්වය මගින් ශ්වසන රෝග, හෘද රෝග සහ වකුගඩු ආබාධ වැනි පූර්ව සෞඛ්‍ය තත්ත්ව උග්‍ර කළ හැකි බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

මෙම තත්ත්වය යටිතල පහසුකම් කෙරෙහි ද බලපායි. විදුලිබල ජාල බිඳ වැටීම, ඇන හිටීම මෙන්ම අධික තාපය නිසා ගුවන් යානා පියාසර කිරීමෙන් වැළකීම, පාරවල් දියවීම හා මෝටර් රථවල ඇතුළත භයානක මට්ටමක් දක්වා අධික ලෙස රත්වීමට ද ඉඩ ඇත.

තාප තරංග හේතුවෙන් කෘෂිකර්මාන්තයට ද දැඩි බලපෑම් එල්ල විය හැකිය. එළවළු මැලවී මියයෑම හෝ ශාක රෝග පැතිරීම මෙමගින් සිදුවේ.