කොරෝනා වෛරසය: දකුණු කොරියාවේ සෝල් අගනුවර පාසල් වැසේ, සිව් මසකට පසු දෙවෙනි වරටත් වැළඳුණු රෝගියෙක්

ඡායාරූප මූලාශ්‍රය, EPA
කොරෝනා වෛරස් රෝගීන් සංඛ්‍යාව ඉහළ යාමත් සමඟ සෝල් අගනුවර සියලුම පාසල් සහ පෙර පාසල් වසා දැමීමට දකුණු කොරියාවේ බලධාරීහු නියෝග කළහ.
පසුගිය සති දෙක තුළ සෝල් නගර කලාපයේ පාසල් කාර්යමණ්ඩල සහ සිසුන් දෙසීයකට පමණ වෛරසය ආසාදනය වී තිබේ.
එරට අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ, සැප්තැම්බර් 11 වෙනිදා දක්වා නිවෙස්වල සිට අන්තර්ජාලය ඔස්සේ ඉගැන්වීම් කටයුතු සිදු කෙරෙනු ඇති බවය.
දකුණු කොරියාව, කොරෝනාවෛරසය යළි පැතිර යාම ආසන්නයේ සිටින බවට එරට බලධාරීන් අනතුරු අඟවා තිබේ.
ඒ අනුව මේ වසරේ දෙසැම්බරයේ විශ්වවිද්‍යාල ප්‍රවේශයට පෙනී සිටින, පාසලේ අවසාන වසරේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් හැරුණු කොට සෝල් අගනුවර වෙසෙන සියලු පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු මෙවක් පටන් සිදුවන්නේ අන්තර්ජාලය ඔස්සේය.
අධ්‍යාපන අමාත්‍යංශයේ චක්‍රලේඛය පිළිපදින්නේ ද, නැද්ද යන්න තීරණය කිරීමට දරුවන් 60 කට අඩුවෙන් ඉගෙනුම ලබන පාසල් සහ විශේෂ අධ්‍යාපන ආයතනවලට අවසර තිබෙන බව Korea Times පුවත්පත පවසයි.
මිලියන 25 ක ජනගහනයක් සෝල් අගනුවර වාසය කරති.
රටේ කොරෝනාවෛරස ආසාදිතයින් ප්‍රමාණය පහළ යමින් තිබෙන බවක් දක්නට ලැබීමෙන් අනතුරුව දකුණු කොරියාවේ බොහෝ පාසල් මැයි 20 සහ ජුනි පළමුවෙනිදා අතර කාලය තුළ යළි විවෘත කෙරිණ
දෙවෙනි වරටත් කෝවිඩ්19 වැළඳුණු රෝගියෙක්
මේ අතර, වයස අවුරුදු තිස් ගණන්වල පසුවෙන සෞඛ්‍ය සම්පන්න පුද්ගලයෙකුට මාස හතර හමාරකට පසු යළි කොරෝනා වෛරසය ආසාදනය වීමේ සිදුවීමක් හොංකොං හි විද්‍යාඥයෝ වාර්තා කරති.
ඡායාරූප මූලාශ්‍රය, Getty Images
පළමු සහ දෙවන අවස්ථාවේදී වෛරසයේ ජාන සැකැස්මේ වෙනස්කම් පෙන්වා ඇති අතර, කොරෝනා වෛරසය දෙවතාවක් ආසාදනය වී ඇතැයි තහවුරු වන පළමු අවස්ථාව මෙයයි.
මේ අතර එක් රෝගියෙකු මත පදනම්ව නිගමනයකට නොපැමිණීමේ වැදගත්කම ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී තිබුණි.
විශේෂඥයන් පවසන්නේ, යළි ආසාදනය වීම් දුලභ විය හැකි අතර එය සෑම විටම බරපතල නොවන බවය.
මේ වන විට ලොව පුරා කොරෝනා වෛරස් ආසාදිත සංඛ්‍යාව මිලියන විසි තුන ඉක්මවා තිබේ.
කියවන්න: