ජේකබ් බ්ලේක්: විස්කොන්සින් හි තුන්වෙනි දින රාත්‍රියේ ගැටුම් අතර දෙදෙනෙකු මරුට

Flares go off in front of a Kenosha Country Sheriff Vehicle as demonstrators take part in a protest following the police shooting of Jacob Blake in Kenosha, Wisconsin, on 25 August 2020

ඡායාරූප මූලාශ්‍රය, Reuters

පොලිසිය විසින් කළු ජාතිකයෙකුට වෙඩි තැබීමෙන් අනතුරුව ඇමෙරිකා එක්සත් ජනපදයේ කෙනෝෂා නගරයේ තුන්වෙනි දින රාත්‍රියේත් හටගත් නොසන්සුන් වාතාවරණය අතරවාරයේ දෙදෙනෙකු මරුමුවට පත්ව තවත් පුද්ගලයෙකුට තුවාල සිදු වී තිබේ.

තිදෙනෙකුට වෙඩි තබා තිබෙන බව පොලිසිය පවසන නමුත් එයට සම්බන්ධ කවුරුන්ද යන්න පිළිබඳව වැඩි විස්තර හෙළි කොට නැත.

ඉන්ධන පිරවුම්හලක ආරක්ෂාවට යොදවා සිටි සන්නද්ධ කණ්ඩායමක් සහ, විරෝධතාකරුවන් අතර හටගත් ගැටුමක් ප්‍රචණ්ඩ ක්‍රියා දක්වා වර්ධනය වී ඇතැයි විශ්වාස කෙරෙන බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කළේය.

ගොඩනැගිලි සහ මෝටර් රථවලට ගිනි තබමින් උද්ඝෝෂකයින් දින ගණනාවක් විරෝධතාවල නිරතව සිටින්නේ ජේකබ් බ්ලේක් (Jacob Blake) නැමති 29 හැවිරිදි කළු ජාතිකයා පොලිස් වෙඩි ප්‍රහාර ගණනාවකට ලක් වී රෝහල්ගත කරනු ලැබීමෙන් අනතුරුවය.

වීඩියෝ ශීර්ෂ වැකිය,

ජේකබ් බ්ලේක් ගේ සොයුරිය

ජේකබ් බ්ලේක් කෙනෝෂා නගරයේදී සිය මෝටර් රථයට පිවිසීමට උත්සාහ කරන අවස්ථාවේ ඔහුගේ පිටුපසට වෙඩි ප්‍රහාර එල්ල වන ආකාරය අන්තර්ජාලයේ පළ වී ඇති වීඩියෝවක දක්නට ලැබේ. ඔහුට යළිත් වරක් ඇවිද යාමට හැකිවුවහොත් එය "ආශ්චර්යයක්" වනු ඇති බව ඔහුගේ නීතිවේදීහු පවසති.

වෙඩි තැබීමෙන් අනතුරුව හටගත් නොසන්සුන්කාරී තත්ත්වයත් සමග කෙනෝෂා නගරයේ රාත්‍රිය පුරා ඇඳිරි නීතිය පනවනු ලැබ තිබුන ද ඇතැම් උද්ඝෝෂකයෝ එය නොතකා වීදි බැස සිටියහ. ඇතැම් අවස්ථාවල එම උද්ඝෝෂණ ප්‍රචණ්ඩ ස්වභාවයක් ගත්තේය.

මෙලනියා ට්‍රම්ප් ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට

මේ අතර අඟහරුවාදා සන්ධ්‍යාවේ (අගෝස්තු 25) ධවල මන්දිරයේ සිට සජීවී මට්ටමින් රිපබ්ලිකන් පක්ෂ සමුළුව අමතා අදහස් දැක්වූ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බිරිඳ මෙලනියා ට්‍රම්ප්, ඇමෙරිකානු ජනවාර්ගික එකමුතුභාවයක් සඳහා ඉල්ලීමක් කළාය.

ඡායාරූප ශීර්ෂ වැකිය,

මෙලනි ට්‍රම්ප් ධවල මන්දිරයේ සිට සජීවී මට්ටමින් රිපබ්ලිකන් පක්ෂ සමුළුව අමතමින්

"කොල්ලකෑම් සහ ප්‍රචණ්ඩ ක්‍රියා නතර කරන්නැයි," එක්සත් ජනපද පළමු කාන්තාව (US First Lady) මෙලනියා ට්‍රම්ප් ඉල්ලා සිටියේ, විස්කොන්සින් ප්‍රාන්තයේ පොලිස් වෙඩිතැබීම මුල්කර ගනිමින් දිගටම ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවෙමින් පවතින අතරවාරයේ ය.

ඇමෙරිකානු ඉතිහාසය ආපසු හැරවීමට හේතුවන පරිදි වර්ගය පදනම් කරගත් අනුමානයන් මත කටයුතු නොකරන ලෙස ඇය ජනතාවගෙන් ඉල්ලා සිටියාය.

ඇමෙරිකානු ජනාධිපතිවරණය ලබන නොවැම්බර් මාසයේ පැවැත්වෙන අතර, මහජන මත විමසුම් අනුව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිටින්නේ සිය ප්‍රතිවාදී ජෝ බයිඩන්ට (Joe Biden) වඩා පිටුපසිනි.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රිපබ්ලිකන් පක්ෂ සමුළුවේ අවසන් රාත්‍රිය එළඹෙන බ්‍රහස්පතින්දා (අගෝස්තු 27) සිය පාක්ෂිකයන් ඉදිරියේ අදහස් දැක්වීමට නියමිතව ඇත.

මෙලනියා කියාසිටියේ කුමක්ද?

ඇමෙරිකානු සමාජය තුළ සිත්ගන්නා සුළු ආකර්ෂණයක් සහිත කාන්තාවක් වන මෙලනියා ට්‍රම්ප්, ධවල මන්දිරයේ 'රෝස් ගාඩ්න්'' සිට ඉහත අදහස් ඇතුළත් ප්‍රධාන දේශනය පවත්වන ලද්දේ සිය සැමියා ද ඇතුළත් කඩා කණ්ඩායමක් ඉදිරියේ සිටය.

"ඔබ සියලුදෙනා මෙන් මටත්, අපේ රටේ වාර්ගික නොසංසුන්භාවය සහ ප්‍රචණ්ඩ ක්‍රියාවන් බලපානවා," මෙලනියා ට්‍රම්ප් කියා සිටියාය.

"අපි අපේ රටේ ඉතිහාසයේ සාඩම්බර පංගුකාරයන් නොවීම ඉතා අමිහිරි යතාර්ථයක්. අතීතයෙන් පාඩම් ඉගෙන ගන්නා අතරවාරයේ අනාගතය කෙරෙහි අවධානය යොමුකරන මෙන් මම ඔබ දිරිමත් කරනවා," එක්සත් ජනපද පළමු කාන්තාව වැඩිදුරටත් සඳහන් කළාය.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය,

''ඔබ සියලුදෙනා මෙන් මටත්, අපේ රටේ වාර්ගික නොසංසුන්භාවය සහ ප්‍රචණ්ඩ ක්‍රියාවන් බලපානවා'' මෙලනියා ට්‍රම්ප් කියා සිටියාය.

අනතුරුව මෙලනියා ට්‍රම්ප් පළකරන ලද්දේ මෙවැනි අදහසකි.

"ප්‍රජාමය චර්යාවෙන් එකමුතුවෙන මෙන් මම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. අපට එපරිද්දෙන් කටයුතු කරන්න පුළුවන්. එමගින් අපට ඉහළ මට්ටමේ ඇමෙරිකානු පරමාදර්ශයන් ජීවමාන කිරීමට හැකිවෙනවා."

"ඒ වගේම යුක්තියේ නාමයෙන් සිදුකරනු ලබන ප්‍රචණ්ඩ ක්‍රියා සහ කොල්ලකෑම් නතර කරන ලෙසත් මම ඉල්ලා සිටිනවා. පුද්ගලයකුගේ සමෙහි වර්ණය මත පිහිටා කිසිදාක අනුමානවලට නොඑළඹෙන ලෙසත් ඉල්ලා සිටිනවා."

'ජනාධිපතිවරයා වර්ගවාදියෙක් නොවේ'

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝජනය කරන රිපබ්ලිකන් පක්ෂ සමුළුව අඟහරුවාදා ආරම්භ කෙරුණේ, පසුගිය ඉරිදා (අගෝස්තු 23) 'විස්කොන්සින්' ප්‍රාන්තයේ දී පොලිස් වෙඩිතැබීමකට ගොදුරු වූ කළුජාතික තරුණයකු වන ජේකබ් බ්ලේක්(Jacob Blake) වෙනුවෙන් යාඥා කිරීමක්ද සහිතවය.

එම වෙඩි තැබීමෙන් පසු ප්‍රචණ්ඩ ක්‍රියා පැතිරයමින් පවතින අතරවාරයේ ජනාධිපති ට්‍රම්ප් 'ට්විටර්' පණිවුඩයක් නිකුත් කරමින්, ජාතික ආරක්ෂක බලකාය (National Guard) කැඳවන ලෙස 'මිඩ්වෙස්ටන්' ආණ්ඩුකරුගෙන් ඉල්ලා සිටියේය.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය,

ඇය සිය සැමියා අගය කරන ලද්දේ '' තමා තුළ පවතින හැඟීම් රහසක් කොට තබා නොගන්නා චරිතයක්'' ලෙස ඔහු විග්‍රහ කරමිනි.

වර්ගවාදී නොරිස්සුම් සහගත හැඟීම් අවුස්සන බවට දේශපාලන ප්‍රතිවාදීන් ජනාධිපති ට්‍ර්ම්ප්ට චෝදනා කළත්, රිපබ්ලිකන් පක්ෂ සමුළුවේ සමාරම්භක රාත්‍රියේ එය අමතා කතාකළ කළුජාතික කථිකයන් අවධාරණයෙන් කියා සිටියේ 'ජනාධිපතිවරයා වර්ගවාදියකු නොවන' බවය.

පසුගිය මාස කීපය තුළ 178,000 කට අධික ඇමෙරිකානු වැසියන්ට මරණය කැඳවූ කොරෝනා වසංගතය සම්බන්ධයෙන් කණස්සල්ලට පත්ව සිටින ජනතාවට මෙලනියා ට්‍රම්ප් සිය කතාවේ දී දයාව පළකිරීමක් ද සිදු කළාය.

"බොහෝදෙනෙක් සිත්තැවුලින් සිතන බව මම දන්නවා. ඇතැමෙක් තුළ පවතින්නේ පිහිටක් නොමැත යන හැඟීම්. ඔබ තනිවී නැති බවට ඔබ දැනුවත් කිරීම මගේ උවමනාවයි," මෙලනියා සඳහන් කළාය.

ඇය සිය සැමියා අගය කරන ලද්දේ "තමා තුළ පවතින හැඟීම් රහසක් කොට තබා නොගන්නා චරිතයක්" ලෙස ඔහු විග්‍රහ කරමිනි.

"සමස්ත ගෞරවය වන්නේ පුරවැසියන් ලෙස අප අපේ ජනාධිපතිවරයාගෙන් ලැබීමට යෝග්‍ය දෙයයි. අප කැමැති හෝ අකැමැති වුනත් ඔහුගේ සිත අප දන්නවා."

ජනාධිපති බලතල පාවිච්චි කරමින් රිපබ්ලිකන් පක්ෂ සමුළුව ඇමතීමට මෙලනියා ට්‍රම්ප් ගත් තීරණය ඩිමොක්‍රටික් පාක්ෂිකයන් උරණවීමට හේතුවී ඇත. ඔවුන් කියා සිටින්නේ,දේශපාලන අරමුණු සඳහා ආණ්ඩුවේ සම්පත් පාවිච්චි කරනු ලැබීම නුසුදුසු බවය.

කියවන්න: