ජූඩි හියුමන්: දෙපා වාරු නැති කත ආබාධ සහිත ජනයා වෙනුවෙන් කළ අරගලය

Judy Heumann close up

ඡායාරූප මූලාශ්‍රය, Judy Heumann

වයස මාස දහඅටේදී ජූඩි හියුමන් පෝලියෝ රෝගයට ගොදුරු වූවාය. ඒ හේතුවෙන් ඇයගේ දෙපා අකර්මන්‍ය විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඇයට සිය ජීවිත කාලය පුරා රෝද පුටුවක පිහිට පැතීමට සිදු විය.

එසේ වුවත් සමාජීය ආකල්ප සහ නීතිමය බාධා හමුවේ මුලු ගැන්වීම ඇය ප්‍රතික්ෂේප කළාය. එතකින් නොනැවතුණු ඇය ඇමරිකා එක්සත් ජනපදයේ අබාධ සහිත වූවන්ගේ අයිතීන් දිනා ගැනීමේ සටනේ පුරෝගාමියෙකු බවට පත් විය.

ගුරු වෘත්තීය ඔස්සේ ඉදිරියට යාමට සිහින මැවූ ඇය වරෙක ඒ සඳහා නිව්යෝර්ක් අධ්‍යාපන මණ්ඩලයට එරෙහිව නඩු මගට පිවිසියාය. උපස්ථායකයෙකු නොමැතිව තනිව ගමන් කිරීමට අවස්ථාව නොදුන් ගුවන් සමාගමකට එරෙහිව ඇය නැගී සිටියාය. සිය අයිතීන් නීතිගත කිරීමේ සුවිශේෂී කටයුත්ත වෙනුවෙන් ඇය මධ්‍යම ආණ්ඩුවට අයත් ගොඩනැගිල්ලක් අල්ලා ගනු ලැබීමට සැලසුම් සකස් කළාය. ආණ්ඩුවේ ගොඩනැගිල්ලක් අල්ලා ගනිමින් යෙදුනු දීර්ඝතම විරෝධය ලෙස එය ඇමරිකානු ඉතිහාසයට එක් විය.

අවසානයේ ඇය එක් ජනාධිපතිවරයෙකු නොව ඇමරිකානු ජනාධිපතිවරුන් දෙදෙනෙකුගේම උපදේශිකාවක් වශයෙන් ඇය කටයුතු කළාය.

මේ වසරේදී 'ටයිම්' සඟරාව සිය කවරයේ කතාව ලෝකය හැඩ ගැන්වූ දිරිය කාන්තාවන් සිය දෙනෙකු වෙනුවෙන් පුද කළේය. මිෂෙල් ඔබාමා සහ ග්‍රේටා තුන්බර්ග් සමග ජූඩි ද ඒ අතර විය.

දැඩි උද්වේගකාරී සිතුවිල්ලක් සැබෑ වෙනසක් බවට පරිවර්තනය කර ගැනීමට ජූඩි සතු හැකියාව නිසා ඇයට සුරතල් නමක් පට බැඳිණි. "චින්ගෝනා": ඇයගේ සැමියා ඈ අමතන්නේ මෙක්සිකෝ ස්පාඤ්ඤ ග්‍රාම්‍ය වචනයක් වූ එනමිනි.

"එහි මූලික අරුත යමක් කිරීමට ගට තිබීම, ශක්තිමත් බව," එසේ පවසන ඇය, නොනැමෙන දැඩි කාන්තාවක් ලෙස තමා දිනා ඇති කීර්තිය දෙස බලා සිනහ නගන්නීය.

පළමු සංග්‍රාම

ඡායාරූප මූලාශ්‍රය, Judy Heumann

ඡායාරූප ශීර්ෂ වැකිය,

වැඩ කරන පන්තියට අයත් ජූඩිගේ දෙමව්පියන් ඇයට වෙනස් ලෙස නොසැලකූ නමුත් නිවසින් පිට පූර්ව විනිශ්චයන්ගෙන් සිය දියණිය ආරක්ෂා කර ගැනීමට ඔවුන්ට නොහැකි විය.

BBC ගුවන් විදුලි වැඩසටහනක් වූ 'Outlook' සමග මෑත පැවති සාකච්ඡාවක් අතරතුර ජූඩි හියුමන් පැවසූ පරිදි ඇයගේ ජීවිතය මල් යහනාවක් නොවීය.

ඇයගේ දෙමව්පියන් ජර්මානු යුදෙව් ජාතිකයන්ය. ඔවුන් සිය දෙමව්පියන් අහිමිව ඇමරිකාවට පලා ආ යුද අනාථයන්ය. පශ්චාත් යුද සමයේ නිව්යෝර්ක් නගරයේ හැදී වැඩුණු දරුවෙකු වශයෙන් ජූඩි යුදෙව් පාසලකට ඇතුළු කිරීමට යාමේදී ඇය තරමක දැඩි අභියෝගයන්ට මුහුණ දුන්නාය. ඒ වන විට ඇය පස් වෙනි වියේ පසු විය.

"මා ප්‍රමාණවත් තරම් හීබෘ බස දන්නේ නැතැයි පාසලේ විදුහල්පතිවරයා කිව්වා", ඇය අතීතය සිහිපත් කරයි.

ඇයගේ මව සිය දියණියගේ භාෂා දැනුම වර්ධනය කිරීම සඳහා උපකාරක පංති ගුරුවරයෙකුගේ සහාය පැතීමට යුහුසුළු විය. නමුත් කුඩා ජූඩි ඇතුළත් කර ගැනීමේ උවමනාවක් පාසල් බලධාරීන්ට නොතිබුණු බව ඕ දැන නොසිටියාය.

මව විසින් ජූඩි රජයේ පාසලකට ඇතුළත් කරනු ලැබීමට පෙර ඇයට සිව් වසරක් නිවසේ සිට අකුරු කිරීමට සිදු විය. එතැනින් නොනැවතී ආබාධ සහිත දරුවන් වෙනුවෙන් විශේෂයෙන් සකසන ලද පංතියකට සහභාගී වීමටත් ඇයට සිදු විය.

"ආබාධ නැති ළමයි එක්ක අපි කන්න ගියේ නැහැ. සතියකට වරක් ඔවුන් රැස්වීම යයි හඳුන්වපු තැනට පමණයි අපි ගියේ. අපව සම්පූර්ණයෙන්ම වෙන්කර තැබුවා,"

වෙනස් ලෙස සැලකීම

ඡායාරූප මූලාශ්‍රය, Judy Heumann

ඡායාරූප ශීර්ෂ වැකිය,

සිය උසස් අධ්‍යාපනය අතරතුර ආබාධ නොමැති වූවන් තමාව දුටු ආකාරය පිළිබඳ ජූඩිට පූර්ණ අවබෝධයක් තිබිණි

හැත්තෑ වෙනි වියේදී පවා, සිත දුකට පත් කරවන ඇතැම් සිදුවීම් ඇයගේ මතකයට නැගෙයි.

"මම යාළුවෙක් සමග ගෙදරින් පිටව කඩේට ගියා. ළමයෙක් ඇවිත් මගෙන් ඇහුවා මට ලෙඩක් ද කියල. මම හිතන්නේ, මිනිස්සු මාව වෙනස් අයෙකු වශයෙන් දකින බව මා පළමු වරට තේරුම් ගත්තේ එදා කියලයි,"

ඇයට මහා දුකක් දැනිණි.

"මට ලෙඩක් තිබුණේ නැහැ. මට ඒ දවස ඉතා පැහැදිලිව නිසැක වශයෙන්ම මතකයි. එය පෞද්ගලිකව මට විශාල බලපෑමක් ගෙන දුන්නා,"

දීප්තිමත් ශිෂ්‍යාවක වූ ජූඩිට ගුරු වෘත්තීය ඔස්සේ ඉදිරියට යාමට අවශ්‍ය විය. නමුත් යම් වෘත්තීන් සඳහා ආබාධ සහිත වූවන් වෙත මූල්‍යාධාර ලැබීමට ඇති ඉඩ අල්පය. එබැවින් ඇය කථන චිකිත්සාව (speech therapy) පිළිබඳ අධ්‍යයනය කර, ක්‍රමයෙන් ගුරු වෘත්තීය සඳහා අවශ්‍ය සුදුසුකම් ගොඩ නගා ගත්තාය.

උසස් අධ්‍යාපනය අතරතුර ද ඇයට දුෂ්කර අත්දැකීම්වලට මුහුණ දීමට සිදු විය.

"එදා සිකුරාදා සවස් කාලයක්. යමෙක් මගේ දොරට තට්ටු කළා,"

තරුණයන් තිදෙනෙක් සහ තරුණියන් දෙදෙනෙක් එහි වූහ. ජෝඩු වශයෙන් බැහැර ගොස් විනෝද වීම සඳහා තවත් එක් තරුණියක් තම කණ්ඩායම සමග එක් වීමට නියමිතව තිබූ බව කී එහි සිටි එක් තරුණයෙක්, ඇයට එහි පැමිණීමට නොහැකිව ඇති බැවින් ඒ තැන ගත හැකි වෙනත් තරුණියක් ගැන දන්නේ දැයි ජූඩිගෙන් විමසුවේය.

එදා ඒ හිස් තැන පිරවිය හැකි අනෙක් තරුණිය ජූඩි විය නොහැකි දැයි යන්න පිළිබඳ එකී තරුණයාට සිතුවිල්ලක් හෝ නොවුණු බව ඇයට පසක් විය.

"මම ඇඩුවේ නැහැ. මම කෑ ගැසුවේ නැහැ,"

"නැහැ.... එමණයි මම ඔවුන්ට කිව්වේ," ඇය අතීතය සිහිපත් කරයි.

"ලිංගික ආකර්ශනයක් සහිත අයෙකු හෝ කොල්ලෙකුට කැමැත්තක් ඇති විය හැකි අයෙකු ලෙස නොපෙනීම.... වැඩිහිටියෙකු වශයෙන් පවා මෙවැනි ඇතැම් දේ ගැන සිතීම දැඩි වේදනාවක්," ජූඩි පවසයි.

වෛද්‍ය පරීක්ෂණ

ඡායාරූප මූලාශ්‍රය, Judy Heumann

ඡායාරූප ශීර්ෂ වැකිය,

ඇතැම් පුද්ගලයන් හැසිරුණු ආකාරය නිසා ළමා කාලයේදීම තමන් වෙනස් අයෙකු ලෙසට ඒත්තු ගැන්වීමට බල කෙරුණු බව ජූඩි පවසයි

උසස් අධ්‍යාපනය නිම කිරීමෙන් පසු 1970 වසරේදී ගුරු වෘත්තියට අදාළ බලපත්‍රය ලබා ගැනීම සඳහා ඇයට වෛද්‍ය පරීක්ෂණයකට මුහුණ දීමට සිදු විය.

"වෛද්‍යවරියට ආබාධ සහිත වූවන් සම්බන්ධයෙන් අවුලක් තිබුණා. වැසිකිලිය වෙත යන්නේ කොහොමද කියා මට පෙන්වනවද?, වැනි ප්‍රශ්න ඇය මගෙන් ඇහුවා,"

බලපත්‍රයක් ලබා ගැනීම සඳහා ඇය කළ ඉල්ලීම පළමුව ප්‍රතික්ෂේප විය. ආබාධ සහිත සෙසු මිතුරු මිතුරියන්ගේ ද සහාය ඇතිව එම තීන්දුවට එරෙහිව සටන් කිරීමට ඇය ඉටා ගත්තාය. ඇයගේ කතාව 'ද නොව්යෝර්ක් ටයිම්ස්' පුවත්පතේ පළ වූ අතර ඉතා ඉක්මණින් ම ඇයට ඒ සඳහා මහජන සහාය ද ලැබිණි.

"සිවිල් අයිතීන් වෙනුවෙන් කතා කරන නීතීඥයකුගෙන් මට දුරකතන ඇමතුමක් ලැබුණා. මා වෙනුවෙන් ඉදිරිපත් වෙනවාදැයි මා ඔහුගෙන් ඇසුවා. ඔහු හා කිව්වා. ඊළඟ දවසේ අපේ තාත්තගේ කඩෙන් බඩු ගන්න පාරිභෝගිකයෙක් ඇවිත් කිව්වා ඔහුට මා වෙනුවෙන් පෙනී සිටිය හැකි බව. ඉතින් නොමිලේම සිය සේවය සපයන නීතිඥ කණ්ඩායමක්ම මට ලැබුණා,"

ඒ, ඉහළ මට්ටමේ සමාජ ක්‍රියාකාරීත්වය පිළිබඳ ඇයගේ කුළුඳුල් අත්දැකීමයි - එය ජයග්‍රහණයකින් අවසන් විය.

'නොව්යෝර්ක් සිටි' කලාපයේ පාසලකට රෝද පුටුවකින් පැමිණි පළමු ගුරුවරයා ලෙස ජූඩි හියුමන් ඉතිහාස ගත වන්නීය. එවිට ඇයගේ වයස අවුරුදු 22 කි.

ගුවන් යානයකදී අත්අඩංගුවට

තව තවත් සටන් සහ ජයග්‍රහණ ඇය ලුහුබැඳ එනු ඇත.

ඒ 1975 වසරයි. ජූඩි වොෂිංටන් ඩීසී හිදී ගුවන් යානයකට ගොඩ විය. තනිව ගුවන් ගමනක යෙදිය නොහැකි බව එහිදී ඈ වෙත දන්වන ලදී.

ඡායාරූප මූලාශ්‍රය, Judy Heumann

ඡායාරූප ශීර්ෂ වැකිය,

ජූඩිගේ සැමියා ජෝර්ජ් ඇය සතු ධෛර්යය සෑම විටම අගය කරයි

"සහායට කිසිවකුත් නැතිව මට ගුවන් යානයේ යා නොහැකි බව කපිතාන්වරයා දැන්වූ බව ගුවන් සේවිකාවක් මා වෙත පැමිණ කියා සිටියා."

එවැනි නියාමනයක් නොමැති බව ඇය ගුවන් සේවිකාව වෙත පෙරලා පැවසීය.

සංවාදය දුර දිග යාමත් සමග පොලිසිය එහි පැමිණියේය. බලහත්කාරයෙන්ම ගුවන් යානයෙන් පිටතට රැගෙන යන ලද ඇය අත්අඩංගුවට ගනු ලැබිණි. තමා නිව් ජර්සි හි සෙනෙට් මන්ත්‍රීවරයා යටතේ සේවය කරන බව ඔප්පු කෙරෙන ලේඛන ඇය එහිදී ඉදිරිපත් කළාය. පොලිසිය ඇයට එරෙහිව චෝදනා ගොනු කිරීමෙන් වැළකී සිටියේය.

"මම නඩු පැවරුවා. දැඩි කෝපයට පත් වූ නිසා මට එය අතහැර දැමීමට පුළුවන් වුණේ නැහැ,"

ඉතිහාසය වෙනස් කළ සටනක්

ඡායාරූප මූලාශ්‍රය, Judy Heumann

ඡායාරූප ශීර්ෂ වැකිය,

ආබාධ සහිත බොහෝ දෙනෙක් ඇයගේ විරෝධය පිළිබඳ ආඩම්බර වූහ

වෙනස් ලෙස සැලකීමට (Discrimination) එරෙහි සටන ඇය උරදුන් ප්‍රමුඛ සටන් ව්‍යාපාර අතරින් එකකි.

එය සිදු වූයේ 1964 සිවිල් අයිතිවාසිකම් පිළිබඳ පනත හඳුන්වා දී වසර කිහිපයකට පසුවය. එම පනත මගින් ප්‍රසිද්ධ ස්ථාන තුළ දී අප්‍රිකානු ඇමරිකානුවන් වෙන් කර තැබීමේ ක්‍රමවේදයට නිල වශයෙන් තිත තැබුණු අතර එමගින් වාර්ගිකත්වය, සමේ වර්ණය, ආගම, ස්ත්‍රී පුරුෂ භාවය හෝ සම්භවය මුල් කර ගනිමින් රැකියා ලබා දීමේදී වෙනස් ලෙස සැලකීම තහනම් කෙරිණි. ඒ හා සමගාමීව අයිතීන් මුල් කරගත් සෙසු ව්‍යාපාර ද වෙනසක් ඉල්ලමින් ඉහළට මතු විය.

වසර කිහිපයකට පසු ජූඩි විසින් 'Disabled in Action' නමින් සංවිධානයක් පිහිටුවා ගන්නා ලදී. 1973 පුනරුත්ථාපන පනතේ 504 වෙනි වගන්තිය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් එම සංවිධානය හඬ නැගීය. එම වගන්තියට අනුව මධ්‍යම ආණ්ඩුවේ මූල්‍ය ප්‍රතිපාදන ලබන ඕනෑම වැඩසටහනක් හෝ ක්‍රියාකාරකමකදී ආබාධ සහිත වූවන්ට වෙනස් ලෙස සැලකීම නීතිවිරෝධී ක්‍රියාවක් විය. එය එක්සත් ජනපදයේ ආබාධ සහිත වූවන්ගේ සිවිල් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පළමු ෆෙඩරල් නීතිය ලෙස සැලකේ.

සිව් වසරක් පුරා ප්‍රමාද කෙරුණු පනත් කෙටුම්පත නීතිගත කරන මෙන් එම සංවිධානය ඉල්ලා සිටියේය.

1977 අප්‍රේල් 05 වෙනිදා ජූඩි සහ තවත් උද්ඝෝෂකයන් සිය ගණනක් සැන් ෆ්‍රැන්සිස්කෝ හි සෞඛ්‍ය, අධ්‍යාපන සහ සුබ සාධන දෙපාර්තමේන්තු ගොඩනැගිල්ල ඉදිරිපිට රැස්වූහ. එය රජයේ ගොඩනැගිල්ලක් දීර්ඝතම කාලයක් අල්ලා ගනු ලැබ සිටීමේ ඓතිහාසික කටයුත්තේ ආරම්භය විණි.

ක්‍රියාකාරීන් 150 දෙනෙක් පමණ ගොඩනැගිල්ල ඇතුළත කඳවුරු බැඳ ගත්හ. දින ගත වෙත්ම, පිටත සමග කෙරෙන සියලුම සන්නිවේදන නැවැත්වීමේ අරමුණින් බලධාරීහු දුරකථන සබඳතා විසන්ධි කළහ. ගොඩනැගිල්ල ඇතුළත ස්නානය කිරීමට පහසුකම් හෝ නිදා ගැනීමට ඇඳන් නොතිබිණි.

"සෑම දිනකම අපට ආහාර ලැබුණා. යමෙක් රෝගාතුර වුණි නම්, වෙනත් ස්වේච්ඡා සංවිධානවලින් පැමිණි ප්‍රතිකාර ලබා දිය හැකි පුද්ගලයන් අපට සිටියා. එය ආශ්චර්යමත් අත්දැකීමක්," යනුවෙන් ජූඩි පවසන්නීය.

"වඩාත් වැදගත් දේ, අපි කරන දේ ගැන අබාධ සහිත පුද්ගලයන් ඉතාමත් ආඩම්බරයට පත් වීම,"

ඡායාරූප මූලාශ්‍රය, Tari Hartman Squire

ඡායාරූප ශීර්ෂ වැකිය,

1964 සිවිල් අයිතිවාසිකම් පිළිබඳ පනතෙන් පසු නීති වෙනස් කරන ලෙස ඉල්ලා විවිධ කණ්ඩායම් උද්ඝෝෂණ පැවැත්වූහ

ජූඩි බිම නිදා ගත් අතර රෝද පුටුවෙන් පහළට බැසීමටත් ඊට ගොඩ වීමටත් ඇයට මිතුරෙකුගේ උදව් ලැබිණි. එකිනෙකා කෙරෙහි විශ්වාසය තබා කටයුතු කිරීමට ඔවුන්ට සිදු විය. එම විරෝධය "දෑස් නොපෙනෙන, ශ්‍රවනාබාධ සහිත සහ ශාරීරික අබාධ සහිත වූවන් එකට එක් කළ බව" ජූඩි පවසයි.

අවසානයේදී කොංග්‍රස් සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් ගොඩනැගිල්ල තුළදී විශේෂ හමුවක් කැඳවන ලදී. එහිදී ජූඩි හැඟීම්බර දේශනයක් කළාය.

"මගේ හඬ වෙව්ලන්නේ නැතිව තබා ගන්න බැරි වුණා. සෑම වචනයකම මතකයන් ගැබ්ව තිබුණා. මගේ ආලින්දයේ තනිව සිටීම, මගේ යාළුවෝ සියල්ල පාසලේ සිටියදී මම ජනේලයෙන් එළිය බලා සිටීම...බෲක්ලින් උසස් පාසලේදී මගේ තාත්තා, අඬමින් සිටි මා උස්සගෙන විත් වේදිකාවෙන් තැබීමත් ඒ අතර වුණා. නේවාසිකාගාරයේ දොරට තට්ටු කිරීම, වැසිකිලිය වෙත යන්න උදව් සෙවීම...ගුවන් යානයෙන් මාව එළියට දාන්න හදපු ගුවන් සේවිකාව, මා දිහා බලා සිටි අනෙක් සියලුම මගීන්..."

ගොඩනැගිල්ල තවදුරටත් අල්ලාගෙන සිටියදීම නියෝජිතයන් පිරිසක් ඉක්මණින් වොෂිංටන් ඩීසී වෙත පිටත් කර යැවිණි.

වොෂිංටන් හි බීමහලක් තුළ මීළඟ පියවර පිළිබඳ සැලසුම් කරමින් සිටි ජූඩි සහ විරෝධතාවට එක් වූ තවත් සගයෙකු වෙත පැමිණි වාර්තාකරුවෙකු ඔවුන්ට කියා සිටියේ එක්සත් ජනපද ආණ්ඩුව 504 වෙනි වගන්තියට අත්සන් තැබූ බවය. එය උද්ඝෝෂණය ආරම්භ කර දින 24 ක් ගෙවුණු අප්‍රේල් 28 බ්‍රහස්පතින්දා දිනයකි.

පසුදින උද්ඝෝෂකයෝ ගොඩනැගිල්ලෙන් ඉවත් වූහ. අද දක්වා එක්සත් ජනපද මධ්‍යම ආණ්ඩුවට අයත් ගොඩනැගිල්ලක පවත්වන ලද දීර්ඝතම අවිහිංසාවාදී විරෝධතාව එය විණි.

504 වෙනි වගන්තියට අදාළ නීතිය, පොදු ජීවිතයේ සියලුම අංශ තුළ වෙනස් ලෙස සැලකීම (Discrimination) තහනම් කෙරුණු, 1990 අබාධ සහිත වූවන් සඳහා වන පනතට මග හෙළි කළේය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය,

මෑත කාලය තුළ ජූඩි එක්සත් ජනපද ජනාධිපතිවරුන් දෙදෙනෙකුගේම උපදේශිකාවක් ලෙස කටයුතු කළාය

ඉන් අනතුරුව 1993 සිට 2001දක්වා කාලයේ අධ්‍යාපනයට අදාළ උපදේශිකාවක් වශයෙන් කටයුතු කිරීම සඳහා ජූඩිට ක්ලින්ටන් පරිපාලනයෙන් ඇරයුමක් ලැබිණි. 2010 වසරේදී ඇය ජාත්‍යන්තර ආබාධ සහිත වූවන්ගේ අයිතීන් පිළිබඳ විශේෂ උපදේශිකාවක් බවට පත් විය. ඒ එවක ජනපති බැරක් ඔබාමා කළ පත්වීමකට අනුවය.

'සුදු නොවන' අබාධ සහිත වූවන්

වෙහෙස නොබලා ඇය කළ මෙහෙවර දහස් ගණනකගේ ජීවිත වෙනස් කිරීමට හේතු විය. සුදු නොවන (Non-white) අබාධ සහිත වූවන්ට උපකාර කිරීමට දැන් ඇයට අවශ්‍යව ඇත.

"අපට තිබෙන බොහෝ නීතිවලින් සුදු සමක් හිමි අබාධ සහිත වූවන් හා සමානව කළු, දුඹුරු සහ ආදිවාසී ප්‍රජාවන්ට අයත් අබාධ සහිත පුද්ගලයන්ට ප්‍රතිලාභ ලැබී නැහැ,"

ඡායාරූප මූලාශ්‍රය, Judy Heumann

ඡායාරූප ශීර්ෂ වැකිය,

ජූඩි විසින් රචිත 'Being Heumann: An Unrepentant Memoir of a Disability Rights Activist' ග්‍රන්ථය ප්‍රවර්ධනය කිරීමේ අවස්ථාවක් (සිය සගයෙකු වූ තවත් සමාජ ක්‍රියාකාරියෙකු සමග)

සමාජය අබාධ සහිත වූවන් දෙස බලන ආකාරය වෙනස් වන්නේ ඉතා මන්දගාමීව බව ජූඩි පවසයි.

"බොහෝ දෙනෙක් අප වෙනස් ලෙස සැලකීම ලෙස අත්දකින දේ දකින්නේවත් නැහැ. මොකද අප මුහුණ දෙන බාධක පිළිබඳ ඔවුන් දන්නේ ඉතා අල්පයයි,"

මේ වන විට ඇය, නොවැම්බර් මස පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ ජෝ බයිඩන්ගේ ප්‍රචාරණ ව්‍යාපාරයට සක්‍රිය දායකත්වය ලබා දී තිබේ. ආබාධ සහිත වූවන් සම්බන්ධයෙන් දැනට පවතින නීති වඩාත් ප්‍රයෝජනවත් ලෙස යොදා ගැනීම සඳහා ජනාධිපති අපේක්ෂකයන් විසින් ඒ පිළිබඳ යළි විමර්ශන කරනු දැකීම ඇයට අවශ්‍ය කර තිබේ. මීළඟ ජනාධිපතිවරයා විසින් ප්‍රධාන දේශපාලන නිලතල සඳහා දැනට වඩා වැඩියෙන් ආබාධ සහිත වූවන් පත් කරනු දැකීමටත් ඇයට අවශ්‍ය කර තිබේ.

"සක්‍රියව අබාධ සහිත වූවන් රැකියා සඳහා බඳවා ගැනීමට ජනාධිපති කැප විය යුතුයි. එමගින් අපේ වටිනාකම සමාජය ඉදිරියේ පෙන්වීමට අපට ඉඩ ලැබෙනවා,"

දෛවයට අභියෝග කළ ශ්‍රී ලාංකිකයන් ගැන පුවත්: