රුපියලක දඩයකට යටත් කෙරුණ 'ට්විටර්' පණිවුඩයක්: අධිකරණ තීන්දුව නිදහස් අදහස් ප්‍රකාශනයට වැට බැඳීමක් බවට චෝදනා

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ශ්‍රේෂ්ඨාධිකරණ විනිනිශ්චය මණ්ඩලය "ඔහුගේ ක්‍රියාව සම්බන්ධයෙන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටින ලෙස" දැනුම් දුන් නමුත් නීතිවේදියා එය ප්‍රතික්ෂේප කළේය
ඉන්දියාවේ සමාජ ක්‍රියාධරයකු සහ ප්‍රකට නීතිවේදියකු අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවන්ට වරදකරු කරන ලදුව ඊට සංකේතාත්මක දඬුවමක් වශයෙන් රුපියලක් ගෙවන ලෙස නියෝග කරනු ලැබුණි.
හැටතුන් හැවිරිදි (63) ප්‍රශාන්ත් භුෂාන් නම් එම නීතිවේදියා විසින් පළකරන ලද 'ට්විටර්' පණිවුඩ දෙකක් මගින් නොගැළපෙන ක්‍රියාවක් සිදුකරනු ලැබ ඇතැයි ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කරනු ලැබ ඇත.
එම 'ට්විටර්' පණිවුඩ සම්බන්ධයෙන් කොන්දේසි විරහිත සමාවක් ඉල්ලා සිටින ලෙස අධිකරණය නීතිවේදියාට දැනුම්දෙනු ලැබුනත් ඔහු එය ප්‍රතික්ෂේප කර තිබිණි. අධිකරණයේ එකී දැනුම්දීම බැහැරලමින් නීතිවේදියා කියාසිටියේ, "තමා විසින් නිකුත්කරන ලද ට්විටර් පණිවුඩයේ අන්තර්ගත අදහස් තමා විශ්වාස කරන බවය. එසේම නිදහස් අදහස් ප්‍රකාශනයට අධිකරණයේ සාමාජිකයන් විවේචනය කරනු ලැබීමේ අයිතියත් ඇතුළත් වෙන බව ඔහු අවධාරණය කළේය.
තීන්දුව ප්‍රකාර ප්‍රශාන්ත් භුෂාන් රුපියලේ දඩ මුදල සැප්තැම්බර් 15 දිනට පෙර නොගෙව්වොත් ඔහු මාස තුනක සිර දඬුවමකට යටත් කෙරෙන බවත් අධිකරණ තීන්දුවෙහි දැක්වෙයි.
එම දඩ මුදල "ගෞරවාන්විතව ගෙවන" බව නීතිවේදියා පවසයි.
එහෙත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, "එම නියෝගයට එරෙහිව අභියෝග කිරීමට සහ තවත් අධිකරණ විමර්ශනයක් ඉල්ලා සිටීමට තමාට අයිතියක් පවතින" බවය.
අධිකරණය නීතිවේදී භුෂාන්ට එරෙහි තීන්දුව ගෙන තිබුණේ, අගෝස්තු 14 වෙනි දිනයි. එහෙත් එල්ලවෙමින් පැවති අභියෝග හමුවේ තීන්දුව ප්‍රකාශයට පත්කරනු ලැබීම කල්තබනු ලැබ තිබුණි.
තුන් දහසකට ආසන්න විශ්‍රාමික විනිසකරුවන් සහ නීතිවේදීන් මෙන්ම ප්‍රකට පුරවැසියන් රැසක් ද අධිකරණය විසින් නීතිවේදී භුෂාන්ට දඬුවම් නියමකරනු ලැබීමේ තීන්දුව ප්‍රශ්න කොට ඇත. නීතිවේදියා අධිකරණයට අපහාස කළ බවට වරදකරු කිරීම, ඉහළ අධිකරණය ක්‍රියාත්මක වෙමින් පවතින ආකාරයට අදාළව මහජනයා විසින් පළකරනු ලබන විවේචනාත්මක අදහස් අකර්මන්‍ය කර දැමීමක් ලෙස ඉහත කී කණ්ඩායම් විසින් හඳුන්වා දෙනු ලැබ ඇත.
ප්‍රශාන්ත් භුෂාන් නීතිවේදියාට රුපියලක් දඩ ගැසීම සම්බන්ධයෙන් විවිධ මත පළවෙමින් පවතී. එම නඩුව සමාජ මාධ්‍යජාලය තුළ සහ ඉන් පිටස්තරව ඉන්දියානුවන් අතර ධ්රුවී කරණයට ලක් මාතෘකාවක් බවට පත්විය.
ඇතැමෙකුගේ මතය අනුව නීතිවේදියාට දඩ ගැසීම දිය යුතු සුදුසු දඬුවමකි. මේ අතර තවත් කොටසක මතය වුණේ, එය සිර දඬුවමකට මුහුණ දී සිටි නීතිවේදියා ලද සැබෑ ජයග්‍රහණයක් වූ බවය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ප්‍රශාන්ත් භුෂාන් (R) මහජන ප්‍රශ්න වෙනුවෙන් පෙනීසිටීම මගින් මහත් මහජන ගෞරවයක් දිනාගත් නීතිවේදියෙකි
ප්‍රශාන්ත් භුෂාන් කාගේ කවුද?
ප්‍රශාන්ත් භුෂාන් යනු මහජන ප්‍රශ්න වෙනුවෙන් පෙනීසිටීම මගින් මහත් මහජන ගෞරවයක් දිනාගත් නීතිවේදියෙකි. එසේම ඔහු නොවලහා අදහස් ප්‍රකාශකරන්නකු ලෙස ප්‍රකටය.
පසුගිය අවුරුදු තිහක කාලය තුළ ඔහු ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය මෙන්ම දිල්ලි මහාධිකරණය ඉදිරියේ නීතිවේදියකු ලෙස පෙනී සිට ඇත.
"අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ සහ ඒ තුළ ක්‍රියාත්මක වෙන ආයතනයන්හි පැවැත්ම සහ අපේ රටේ අධිකරණය ක්‍රියාත්මක වෙමින් පවතින ආකාරය මෙන්ම, විශේෂයෙන්ම එහි වගවීම පිළිබඳව මහජනයා තුළ පවතින මැසිවිලිවලට අදාළ බොහෝ කාරනා මම නිරන්තරයෙන්ම මතුකර තිබෙනවා," නීතිවේදියා මෑතදී ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ දිවුරුම් ප්‍රකාශයක් මගින් කියා සිටියේය.
ආණ්ඩුවේ දූෂණ, පරිසර ප්‍රශ්න, අධිකරණ කටයුතුවල විනිවිදභාවය සහ මානව හිමිකම්වලට අදාළ ප්‍රශ්න ඇතුළු කරුණු සමුදායක් සම්බන්ධයෙන් නීතිවේදී භුෂාන් වෙහෙස නොබලා කටයුතු කර ඇත.
භුෂාන් 'ට්විටර්' පණිවුඩවල තිබුණේ කුමක්ද?
නීතිවේදී භුෂාන් විසින් නිකුත්කරන ලද ට්විටර් පණිවුඩ දෙකෙන් එකක ඇතුළත් වුනේ අගවිනිසුරු ෂරාද් බොබ්දේ (Sharad Bobde) මිල අධික යතුරු පැදියක හිඳ සිටින ආකාරයයි. භුෂාන් ගේ දෙවැනි ට්විටර් පණිවුඩයෙහි අවුරුදු හයක කාලයක් තුළ කටයුතු කර ඇති කලින් සිටි අගවිනිසුරන් හතර දෙනකුගේ හැසිරීම ගැන සඳහන් කර තිබුණි.
එම 'ට්විටර්' පණිවුඩ දෙක "ශ්‍රේෂ්ඨාධිකරණයේ බල අධිකාරය සහ ගෞරවය යටපත්කර දැමීමට හේතුවෙන" බව පවසමින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය ජූලි මාසයේ භූෂාන්ට එරෙහිව අධිකරණමය ක්‍රියාවලියක් ආරම්භ කිරීමට යත්න දරා තිබුණි.
තීන්දුව කුමක්ද?
ඉහත කී කාරණය විභාගයට ගත් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලයක් භුෂාන් ගේ 'ට්විටර්' පණිවුඩ මගින් අධිකරණයේ බල අධිකාරියට හානි සිදුකෙරෙන බව පසුගිය අගෝස්තු 14 දින තීන්දු කර තිබුණි.
"එකී ට්විටර් පණිවුඩ අධිකරණයේ සම්පූර්ණ පදනමට එල්ල කෙරුණ ද්වේශ සහගත සහ අශ්ලීල සිතා මතාම එල්ල කරන ලද ප්‍රහාරයක්," වන බව පිටු 108 කින් යුත් අධිකරණ තීන්දුවේ සඳහන් වෙයි.
එබැවින් එය රටේ ප්‍රජාතන්ත්‍රවාදී පදනමට හානි සිදුකරන බවක් ද එහි දැක්වෙයි.
නීතිවේදී භුෂාන්ට දඬුවම් නියම කරනු ලැබීමට පෙර අගෝස්ති 20 දින ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලය ඔහුගේ ක්‍රියාව සම්බන්ධයෙන් "කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටින ලෙස" දැනුම් දුන් නමුත් නීතිවේදියා එය ප්‍රතික්ෂේප කළේය.
"මම අනුකම්පාවක් ඉල්ලා සිටින්නේ හෝ බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම මහාත්මභාවයක් පතන්නෙත් නැහැ. උසාවිය නියමකරන දඬුවමක් මම සතුටින් භාර ගන්නවා," භුෂාන් කියාසිටියේ මහාත්මා ගාන්ධි උපුටා දක්වමිනි.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
ඉන්දීය ශ්‍රේෂ්ටාධිකරණය ලෝකයේ බලවත් ආයතනවලින් එකකි
තීන්දුව පිළිබඳ ප්‍රතිචාරය
ඉන්දියාවේ ඉහළපෙලේ නීතිවේදීන්, විශ්‍රාමික විනිශ්චයකාරවරුන් ගණනාවක් සහ ප්‍රකට පුරවැසියන් රාශියක් ඉහත කී ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව විවේචනය කරමින් දැඩි විරෝධයක් පළකරනු ලැබ ඇත.
බොහෝ දෙනකු විසින් අධිකරණ තීන්දුව දෝෂ දර්ශනයට ලක්කරනු ලැබ තිබුණේ එය විවේචන යටපත් කර දැමීමේ ප්‍රයත්නයක් සහ කිසිදු ආයතනයකට එවැනි අයිතියක් නොමැති බව පෙන්වා දෙමිනි.
ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨ නීතිවේදියකු වන අර්වින්ද් ඩටාර් (Arvind Datar) ප්‍රකාශයක් කරමින්, එම නඩු තීන්දුව බරපතල පසුබෑමක් ලෙස විග්‍රහ කරමින් එය ආපසු කැඳවන ලෙස ඉල්ලීමක් කර තිබුණි.
නීතිවේදී භුෂාන්ට එරෙහි පෙත්සම භාරගනු ලැබීම පවා අධිකරණ ක්‍රියාදාමය උල්ලංඝනය කිරීමක්ය යන්න ජ්‍යෙෂ්ඨ නීතිවේදී අර්වින්ද් ඩටාර් ගේ විග්‍රහය වෙයි.
බීබීසියට ප්‍රකාශයක් කළ නීතිවේදී භූෂාන් තමාට එරෙහි පෙත්සම්කරුගේ පැමිණිල්ලේ මුල් පිටපතක්වත් තමා වෙත යොමු නොකළ බව කියා සිටියේය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
අරුන්දතී රෝයි (වමේ) නර්මදා වේල්ල ඉදිකිරීමෙන් ඇතිවිය හැකි හාණි පෙන්වා දුන්නාය
අරුන්දතී රෝයි
මෙවැනි අධිකරණ තීන්දු සම්බන්ධයෙන් ඉන්දියාවෙන් මෙයට පෙරත් වාර්තා වී ඇත. 'බුකර්' සම්මානලාභී ලේඛිකාවක වන අරුන්දතී රෝයි අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ 2002 වසරේ දී දවසක සංකේතාත්මක සිර දඬුවමකට සහ කුඩා දඩයකට යටත් කරනු ලැබුණි.
ඉන්දියාවේ මහා විවාදයකට තුඩු දී පැවති 'නර්මදා වේල්ල' ඉදිකරනු ලැබීම සඳහා අධිකරණය අවසර දීම සම්බන්ධයෙන් අරුන්දතී රෝයි විසින් පළකරන ලද විවේචනාත්මක අදහස් ඇයට එම දඬුවම් නියම කිරීමට හේතු විය.
කියවන්න:

ශ්‍රී ලංකාවේ 'අධිකරණයට අපහාස කිරීම' ගැන දැන සිටිය යුතු නීති පසුබිම
ශ්‍රී ලංකාවේ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධ නීති විධිවිධාන කෙබඳුද? මේ සම්බන්ධයෙන් නිශ්චිත අර්ථ නිරුපනයක් නැති බව නීති වෘත්තිකයෝ ද පවසති.