කොරෝනාවෛරස එන්නත: බෙදාහැරීම "විශාලතම ප්‍රවාහන අභියෝගයයි"

ගුවන් බඩු

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

කොරෝනාවෛරසය සඳහා එන්නතක් සොයාගත් පසු එය ලොව වටා බෙදා හැරීම "මෙතෙක් එල්ලවූ විශාලතම ප්‍රවාහන අභියෝගය" බව ගුවන්යානා කර්මාන්තයේ නියුතු වූවෝ පෙන්වා දෙති.

තවමත් කෝවිඩ්-19 සඳහා එන්නතක නොමැත. එසේවුවත්, ඒ සඳහා වූ ගෝලීය ප්‍රවාහන සැලසුමක් සම්බන්ධයෙන් ගුවන් සමාගම්, ගුවන් තොටුපොළ, ගෝලීය සෞඛ්‍ය අංශ හා ඖෂධ නිෂ්පාදන සමාගම් සමග දැටමත් එක්ව ක්‍රියා කිරීමට ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමය පියවර ගෙන තිබේ.

අදාළ බෙදාහැරීමේදී අනුමානයට ගෙන තිබෙන්නේ එක් පුද්ගලයෙකුට එක් මාත්‍රාවක් පමණක් අවශ්‍ය කෙරෙන තත්ත්වය ය.

"කෝවිඩ්-19 එන්නත් ආරක්ෂිතව ගෙන යාම, මේ සියවසේදී ගෝලීය ගුවන් බඩු ප්‍රවාහන කර්මාන්තයේ මෙහෙයුම වෙන්න පුළුවන්. නමුත්, සුපරීක්ෂාකාරී පූර්ව සැලසුමකින් තොරව එය කරන්න බැහැ." යැයි ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමයේ ප්‍රධාන විධායක නිලධාරී ඇලෙක්සොන්ඩ්‍රෙ ජුනියැක් පැවසීය.

මගී ගුවන් ගමන්වල පහළ යාම හමුවේ ගුවන් බඩු ප්‍රවාහනය කෙරෙහි අවධානය යොමු කිරීමට ගුවන් සමාගම් නැඹුරුවීම හේතුවෙන් එන්නත් ප්‍රවාහනය වඩා සංකීර්ණවීමට ඉඩ ඇත.

සියලු ගුවන් යානා එන්නත් ප්‍රවාහනය සඳහා සුදුසු නොවන්නේ ඒ සඳහා සෙල්සියස් අංශක 2 ත් 8 ත් අතර පරාසයක උෂ්ණත්වයක් අවශ්‍ය කෙරෙන බැවිනි. ඇතැම් එන්නත් සඳහා මිදෙන සුලු තරමේ උෂ්ණත්වයක් අවශ්‍ය කෙරෙන බැවින් වැඩි ගුවන් යානා ප්‍රමාණයක් ඊට සරිලන්නේ නැත.

"මේ සඳහා අවශ්‍ය කෙරෙන ක්‍රමාවලිය අප දන්නවා. අවශ්‍ය කරන්නේ උවමනා කෙරෙන තත්ත්වය දක්වා වර්ධනය කිරීමයි." ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමයේ ගුවන් බඩු අංශයේ ප්‍රධානී ග්ලින් හියුස් පැවසීය.

අග්නිදිග ආසියාව වැනි ලොවඇතැම් ප්‍රදේශවලට ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීම තීරණාත්මක වන්නේ එවැනි තැන්වල එන්නත් නිපැයුම් හැකියාව නැති හෙයින් බව ඔහු කීය.

ඡායාරූප මූලාශ්‍රය, AIRASIA

'හමුදාවල සුනම්‍යතාවක්'

ගුවන් බඩු ධාරිතාව, කලාපයේ විශාලත්වය හා දේශසීමා හරහා යාමේ ඇති සංකීර්ණතා වැනි කරුණු මත අප්‍රිකාව හරහා එන්නත බෙදාහැරීම දැනට "නොකළ හැකි" කාර්යයක් විය හැකි බව ද සංගමය කියා සිටී.

එවැනි ප්‍රවාහනයකට "හමුදාවල සුනම්‍යතාවක්" සේම එන්නත ගබඩා කෙරෙන ස්ථාන ජාලය පුරා ශීත කිරීමේ පහසුකම් අවශ්‍ය කෙරේ.

දැනට එන්නත් 140 ක් පමණ පෙර අවදියේ නිපැයුම් අවස්ථාවල පවතී. එයින් දුසිම් දෙකක් පමණ මේ වනවිට සායනික පරීක්ෂණවලදී මනුෂ්‍යයින්ට එන්නත් කර ඇත.

ඔක්ස්ෆර්ඩ් සරසවිය නිපදවන එන්නත දැනටමත් වර්ධනීය අවධියේ පරීක්ෂා කෙරෙමින් පවතී.

එන්නත් සඳහා අනුමැතිය ලද වහාම මෙන්ම ඒවා බෙදාහැරීමට සුදානම් අවස්ථාව වන විට ඒ සඳහා පූර්ණ සූදානමක සිටින ලෙස ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමය ආණ්ඩුවලින් ඉල්ලා සිටී.

පාලනයට යටත් කෙරුණු උෂ්ණත්වයක් යටතේ ප්‍රවාහනය හා මෙහෙයවීම ඊට අයත්වන අතර ආරක්ෂාවද අවධානයට ලක් කළ යුතු තවත් අංශයකි.

"එන්නත් යනු ඉතා වටිනා ද්‍රව්‍යයක්. උෂ්ණත්වයෙන් හා පැහැරගැනීමෙන් ආරක්ෂා කිරීම තහවුරු කිරීමට අවශ්‍ය පියවර ගත යුතුයි" යැයි ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමය පවසයි.

කියවන්න:

වීඩියෝ ශීර්ෂ වැකිය,

ලොව විශාලතම මගී ගුවන් යානය මූල්‍ය ව්‍යසනයකද?