කොරෝනා වසංගතය: ඉන්දියාව කොරෝනා රෝගීන් පනස් ලක්ෂය ඉක්මවයි - මරණ අතින් ලෝකයේ තුන්වෙනි ස්ථානයේ

india

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය,

සෞඛ්‍ය නිලධාරීන් ඉන්දියාව පුරා මහජනයාගේ සිරුරේ ඔක්සිජන් මට්ටම මැන බලති

ඉන්දියාවේ කොරෝනාවෛරස ආසාදිතයන්ගේ සංඛ්‍යාව පනස් ලක්ෂය ඉක්මවා ගිය බව නිල වශයෙන් නිවේදනය කරනු ලැබ ඇත. කොරෝනා ආසාදිත ජන සංඛ්‍යාව අතින් ඉන්දියාව ලෝකයේ දෙවැනි ස්ථානයේ පසුවෙයි. එහි පළමු තැන සිටින්නේ ඇමෙරිකා එක්සත් ජනපදයයි.

පසුගිය අඟහරුවාදා තෙක් වූ දවස් පහක කාල පරාසයකදී එක දවසකට නව ආසාදිතයන් 90,000 ඉක්මවා වාර්තාවීමත් සමඟ, ඉන්දියාව ලෝකයේ සෙසු රටවලට වඩා වේගයෙන් වෛරසය පැතිරයමින් පවතින රට බවට පත්ව ඇති බව පෙනී යයි.

ඒ අතරම,ආසාදිත රෝගීන්ට දැඩිසත්කාර ඇඳ පහසුකම් සහ ඔක්සිජන් සැපයුම අතින් හිඟයක් පවතින අතර, මේවනවිට ඉන්දියාවෙන් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 80,000 ඉක්මවා ගොස් ඇත. එහෙත් සමස්ත මරණ සංඛ්‍යාවන් අතින් බොහෝ රටවලින් වැඩි මරණ වාර්තාවෙමින් පවතින පරිසරයක, සාපේක්ෂ මට්ටමින් ගත්විට ඉන්දියාවෙන් වාර්තාවෙන කොරෝනා මරණ අනුපාතය පහළ මට්ටමක පවතී.

'Covid 19' වෛරසය පැතිරයාම ඉහත කී පරිදි වැඩිවෙමින් පවතින්නේ රටපුරා බලපැවැත්වූ කොරෝනා තහංචි ඉවත්කිරීමට ඉන්දීය ආණ්ඩුව දිගටම පියවර ගනිමින් සිටින අතරය. පසුගිය මාර්තු මාසයේ කොරෝනා වසංගතයත් සමඟ රට අගුලු දැමීම නිසා දශලක්ෂ ගණනක් ඉන්දියානුවන්ට රැකියා අහිමිවූ අතර ආණ්ඩුව එම තහංචි ඉවත්කරමින් සිටින්නේ රටේ ආර්ථිකය නංවාලීමේ පියවරක් වශයෙනි.

ඉන්දියාවේ පාසල්, උසස් විදුහල් සහ සිනමාශාලා තවදුරටත් වසා තබා ඇති අතර, ක්‍රීඩාගාර යළි විවෘත කිරීමට පියවර ගනිමින් ඇත. එසේම,බොහෝ වැඩපොලවල් සහ පොදු වෙළෙඳසල් විවෘතකර ඇති අතර ඒවා සාමාන්‍ය කාලයක මෙන් ක්‍රියාත්මක වෙයි. බොහෝ නගරවල ආපනශාලා සහ බීමශාලාවන්ට (bars) මත්පැන් අලෙවියට අවසර ලැබී ඇති අතර එවැනි ස්ථානයන්ට රැස්වෙන ජනතාව වැඩිවෙමින් පවතින ආකාරයක් දක්නට ලැබෙයි.

Covid-19, ආරම්භක අදියරේ දී ඉන්දියාව රට අගුලු දමමින් වසංගතය සෑහෙනතරම් හොඳින් පාලනය කරගත් තත්ත්වයක් තිබුණද, ඊළඟ අදියරේ දී වෛරසය දිල්ලි අගනුවර සහ මුම්බායි වැනි මහා නගරවලින් මතු වූ අතර පසුව එය කුඩා නගරවලට පමණක් නොව ග්‍රාමීය පළාත්වලට ද පැතිරගියේය.

එපරිද්දෙන් වෛරසය සමාජය ආක්‍රමණය කරමින් තිබියදී ඉන්දීය ආණ්ඩුව කොරෝනා තහංචි ලිහිල්කරන ලද්දේ පසුගිය මාර්තු සහ ජුනි අතර රට වසාදමන ලද කාර්තුව තුළ ඇතිවූ දරුණු ආර්ථික බලපෑමෙන් ගොඩ ඒමේ පියවරක් වශයෙනි.

තහංචි ලිහිල්කරනු ලැබ මහජනයා රැකියාවන්ට යළි වාර්තා කිරීමත් සමඟ Covid-19 රෝගීන්ගේ සංඛ්‍යාව වේගයෙන් ඉහළ ගිය අතර පසුගිය සතිය තුළ පමණක් හයලක්ෂයක් පමණ රෝගීන් වාර්තා වී තිබුණි.

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය,

වෛරසය සමාජය ආක්‍රමණය කරමින් තිබියදී ඉන්දීය ආණ්ඩුව කොරෝනා තහංචි ලිහිල්කරන ලද්දේ පසුගිය මාර්තු සහ ජූනි අතර රට වසාදමන ලද කාර්තුව තුළ ඇතිවූ දරුණු ආර්ථික බලපෑමෙන් ගොඩ ඒමේ පියවරක් වශයෙනි.

අන්දමන් දූපත් ද ඇතුළුව රටේ සැම කොන කරාම වෛරසය මේවනවිට පැතිරගොස් ඇතත්, රෝගීන්ගේ අතිබහුතරය වාර්තාවන්නේ ප්‍රාන්ත පහකිනි.

එම ප්‍රාන්ත පහ ඉන්දියාවේ වැඩිම ජනගහනය සහිත ප්‍රාන්ත වන ආන්ද්‍රා ප්‍රදේශ්,මහාරාෂ්ට්‍රා,කර්ණාටක, උත්තර්ප්‍රදේශ් සහ තමිල්නාඩුවයි. දැනට වාර්තා වී ඇති කොරෝනා රෝගීන්ගෙන් 60%කට අධික ප්‍රමාණයක් වාර්තාවන්නේ එම ප්‍රාන්ත පහෙනි.

ඔක්සිජන් හිඟය

'සමස්ත ඉන්දීය කාර්මික ගෑස් නිෂ්පාදන සම්මේලනයේ' තොරතුරුවලට අනුව,ඉන්දියානු රෝහල්වල සහ රෝගීන් සහ වැඩිහිටියන් බලාගන්නා මධ්‍යස්ථානවල (care centres) මෙම සැප්තැම්බර් මාසයේ දිනක ඔක්සිජන් පරිභෝජනය ටොන් 2700 කටත් වඩා වැඩිවිය.එහෙත් අප්‍රියෙල් මාසයේ භාවිත කරනු ලැබ ඇති ඔක්සිජන් ප්‍රමාණය ටොන් 750 ක් පමණි.

ඔක්සිජන් නිෂ්පාදනය කරන සමාගම් පවසන පරිදි,කාර්මික ඔක්සිජන් සඳහා පවතින ඉල්ලුම වේගයෙන් වැඩිවීමට තවත් හේතුවක් වී තිබෙන්නේ වසාදමා තිබූ බොහෝ කම්හල් යළි වැඩ ආරම්භ කරනු ලැබීමය.

කෙසේවුවද, මේවනවිට ඉන්දියාව පොරබදමින් සිටින්නේ ජීවිතවලට එරෙහිව ජීවිකාවෘත්තීන් ( lives-versus-livelihoods) යන ප්‍රශ්නය සමඟ යයි බීබීසී ඉන්දීය වාර්තාකරු සව්තික් බිස්වාස් (Soutik Biswas) පවසයි. කර්මාන්ත සහ රෝගීන් සඳහා ඔක්සිජන් නිෂ්පාදන ධාරිතාව වැඩිකිරීමේ උවමනාවක් උද්ගතව ඇතැයි, බීබීසී ඉන්දීය වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කරයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය,

ඉන්දියාවේ ප්‍රධාන රෝහල් පවා ඔක්සිජන් සැපයුම සිදුකරන්නේ නැවත පිරවිය හැකි සිලින්ඩර උපයෝගීකර ගෙනය

ඉන්දියාවේ ඔක්සිජන් නිපදවන කම්හල්වලින් වැඩිකොටස පිහිටා තිබෙන්නේ උපනගර සහ මහානගර ආශ්‍රිතවයි.

එබැවින් කොරෝනා රෝගීන්ගෙන් රෝහල් පිරීගොස් ඇති ඈත ප්‍රත්‍යන්ත දිස්ත්‍රික්කවල රෝහල්වලට අවශ්‍ය ඔක්සිජන් පුරවාගෙන ඒම සඳහා ඒ සඳහාම නිපදවා ඇති විශේෂ ලොරි එම කම්හල් කරා යැවිය යුතුව ඇත. ඔක්සිජන් ගබඩා කිරීමට සුදුසු ලෙස උෂ්ණත්වය පාලනය කෙරෙන මට්ටමින් නිමවා ඇති එවැනි ලොරිරථ ඉන්දියාවට ඇත්තේ 1500ක් පමණි.

උදාහරණයක් ලෙස, දිල්ලි අගනුවර ද ඇතුළු බොහෝ ප්‍රදේශවලට එක් ඔක්සිජන් කම්හලක් හෝ නැත. එවැනි ස්ථානවලට අවශ්‍ය ඔක්සිජන් වෙනත් පළාත්වලින් ගෙන්වාගත යුතුව ඇත.

මරණ අනුපාතය අඩුමට්ටමක ඇයි?

බදාදා (සැප්තැම්බර් 16) වෙනිදා වනවිට ඉන්දියාව නිලවශයෙන් ප්‍රකාශයට පත්කරනු ලැබ තිබූ Covid-19 මරණ සංඛ්‍යාව 82,066කි. ඒ අතරම,මෑත සතිවල Covid-19 මරණ දවසකට දහසක් පමණ වාර්තා වී තිබුණි.

ඉන්දියාවෙන් වාර්තාවන Covid-19 මරණ අනුපාතය රටේ ජනගහනයෙන් සෑම දශ ලක්ෂයකට හැටක් පමණ වෙයි. Covid-19 ආසාදිත රෝගීන්ගේ මරණ අනුපාතය අනුව එය 1.6%ක් පමණි. එහෙත් ඇමෙරිකා එක්සත් ජනපදයේ එකී මරණ අනුපාතය 3%ක් පමණ වන අතර, එක්සත් රාජධානියේ එය 11% පමණ වේ.

වසංගත පාලනය පිළිබඳ බොහෝ විද්‍යාඥයන් ඉන්දියාවේ එවැනි තත්ත්වයක් පැවැත්මට හේතුව ලෙස දකින්නේ රටේ තරුණ ජනගහණයයි. දකුණු ආසියාවේ වෙනත් රටවලින් ද තරුණ ප්‍රජාව අතරින් වාර්තාවන්නේ අඩු කොරෝනා මරණ අනුපාතයන්ය. ඉන් ඇතැම් රටවල තරුණ කොරෝනා මරණ අනුපාතය ඉන්දියාවටත් වඩා අඩු මට්ටමක පවතී.

මේඅතර,ඇතැම් ඉන්දීය ප්‍රාන්තයන්හි මරණ සංඛ්‍යාවන් අඩුවෙන් ගණනය කෙරෙන බවට ඇතැම් විශේෂඥයන් අතර විශවාසයක් පවතී. එපණක් නොව, ප්‍රාන්ත අතලොස්සක් Covid-19 මරණ දරුණු වෙනත් අසනීපවලින් පෙලෙන රෝගීන් හෝ රෝගාබාධ කීපයකින් පෙළුන රෝගීන් ගණයට ඇතුළත් කරන බව එම විශේෂඥයෝ පෙන්වා දෙති.

එහෙත් විශ්වාසය තැබිය හැකි රෝග ඉතිහාසමය තොරතුරු සහ අතිරේක මරණ පිළිබඳ ගණන් බැලීම්වලින් තොරව අඩුවෙන් වාර්තා කෙරෙන Covid-19 මරණ ප්‍රමාණය තක්සේරු කිරීම දුෂ්කර කාර්යයක් බවත් ඔවුහු සඳහන් කරති.

කියවන්න;