සිය ඇඳුම් පැළඳුම් පාලනය කෙරෙන නීතියකට කාම්බෝජ කාන්තාවන්ගේ විරෝධය

Cambodian models pose in shorts and t-shirts.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඇඟ නිරාවරණය වන ඇඳුම් ඇඟලන කාන්තාවන්ට දඩ පැනවිය හැකි නීතියක් කාම්බෝජ ආණ්ඩුව විසින් කෙටුම්පත් කරනු ලැබ ඇතැයි දැනගැනීමත් සමග දැඩි කණස්සල්ලට පත් දහඅට හැවිරිදි මොලිකා ටෑන් ඊට එරෙහිව අන්තර්ජාල පෙත්සමක් (Online petition) ආරම්භ කළාය.

යෝජිත නීතිය මගින් "ඉතා කොට සහ වැඩියෙන් ඇඟ පෙනෙන" ඇඳුම් ඇඟලීම කාම්බෝජ කාන්තාවන්ට තහනම් වනු ඇති අතර පුරුෂයින්ට උඩුකය නිරාවරණව සිටීම ද තහනම් වනු ඇත.

සංස්කෘතිකමය සම්ප්‍රදායන් සහ සමාජීය ගරුත්වය ආරක්ෂා කර ගැනීමේ උත්සාහයක් වශයෙන් එරට ආණ්ඩුව විසින් අදාළ පනත කෙටුම්පත් කරනු ලැබ තිබෙන නමුත් එකී නීති විවේචනයට ද ලක්ව තිබේ.

මොලිකා එය දකින්නේ කාන්තාවන් වෙත එල්ල කෙරුණු ප්‍රහාරයක් ලෙසය.

ඡායාරූප මූලාශ්‍රය, Molika Tan

ඡායාරූප ශීර්ෂ වැකිය,

'මම අඳින ඇඳුමට දඩ ගෙවිය යුත්තේ ඇයි?' මොලිකා ප්‍රශ්න කරයි

"තරුණ වයසේ කාම්බෝජ වැසියෙක් වශයෙන් ආරක්ෂාවක් දැනෙන ආකාරයට සහ මට පහසු ඇඳුමකින් නිවසින් පිටව යන්න මට ඕන කරනවා. ඇඳුම් මගින් ප්‍රකාශනයක් කිරීමට හැකියාව තිබිය යුතුයි. ආණ්ඩුව පනවන සීමාවන්ට ලක් වෙන්න මට අවශ්‍ය නැහැ,"

"කාන්තාවන් කොට ගවුම් ඇඳීම නවත්වන නීති හදනවට වැඩිය, සංස්කෘතිකමය සම්ප්‍රදායන් එලෙසම තබා ගන්න වෙනත් ක්‍රම ඇතැයි කියා මා විශ්වාස කරනවා."

ඇය විසින් පසුගිය මස ආරම්භ කරන ලද අන්තර්ජාල පෙත්සම සඳහා මේ වන විට අත්සන් 21,000 කට අධික සංඛ්‍යාවක් ලැබී ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Sopheary OU

ඡායාරූප ශීර්ෂ වැකිය,

සමාජය දැනුවත් කිරීමේ අරමුණින් කාම්බෝජයේ බොහෝ කතුන් නාන ඇඳුම් හෝ කොට කලිසමින් සැරසී සිය ඡායාරූප සමාජ මාධ්‍ය තුළ පළ කර තිබේ

ඇගේ අදහසට එකඟ සෙසු කාන්තාවන්, "මේකට මට දඩ ගහනවද?" යන ප්‍රශ්නය ද නගමින් '#mybodymychoice' (මගේ ඇඟ, මගේ කැමැත්ත) හෑෂ් ටෑගය සඳහන් කරමින් සිය ඡායාරූප සමාජ ජාල තුළ පළ කරනු ලබයි.

"පිරිමින්ට යටත්ව සිටිය යුතු බව සෑම විටම අපෙන් බලාපොරොත්තු වෙනවා." යනුවෙන් මොලිකා පවසන්නීය.

කාන්තාවන් යටහත් පහත්ව, නිහඬව සහ ලැජ්ජාශීලීව සිටිය යුතු බව කියන සම්ප්‍රදායික ආචාර ධර්ම පද්ධතියක් මගින් එවැනි ආකල්පයක් ගොඩනැගී ඇති බව ඇයගේ විශ්වාසයයි.

කාන්තාවන් ශරීරය නිරාවරණය වන ඇඳුම් ඇඟලීම නතර කිරීමට කාම්බෝජ ආණ්ඩුව විසින් මෑත වසරවලදී දැඩි ක්‍රියාමාර්ග ගනු ලැබීය. නුසුදුසු යයි සැලකෙන ඇඳුම්වලින් සැරසුණු ගායිකාවන් සහ රංගන ශිල්පිනියන්ට වේදිකාව තහනම් කිරීම ද ඊට ඇතුළත්ය.

පසුගිය අප්‍රේල් මස, සමාජ ජාල ඔස්සේ ඇඳුම් අලෙවි කරන අතරේ "හැඟීම් අවුස්සන සුළු" යයි කී ඇඳුම්වලින් සැරසී සිටි කාන්තාවක් අසභ්‍ය දර්ශන සහ අවිනීතව ප්‍රසිද්ධියේ හැසිරීම යන චෝදනා යටතේ හය මසක කාලයකට සිරගත කරනු ලැබිණි.

කාන්තාවන් සමාජ ජාල ඔස්සේ සජීවී ලෙස පළකරන එවැනි වීඩියෝ "අපගේ සංස්කෘතිය සහ සම්ප්‍රදාය උල්ලංඝනය කරන්නක්" යැයි අගමැති හුන් සෙන් එවක පැවසීය. එවැනි හැසිරීම්, ලිංගික අපයෝජන සහ කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයට රුකුල් දෙන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

දහඅට හැවිරිදි අයිලින් ලිම්, යෝජිත නීතියට එරෙහි සටනට එක්ව සිටින තවත් තරුණියකි. කාම්බෝජයේ වින්දිතයාටම වරද පැටවීමේ (Victim-blaming) සංස්කෘතිය ඉස්මතු කිරීමට ඇයට අවශ්‍යව ඇත.

"නීතිය සම්මත වුවහොත්, ලිංගික හිංසනවල යෙදෙන අපරාධකරුවන්ට ඉන් ගැලවී යාමට හැකියාව පවතිනවා වගේම එය ඔවුන්ගේ වරදක් නොවන බවට වන අදහස තවත් ශක්තිමත් වීමක් පමණයි සිදු වන්නේ,"

ඡායාරූප මූලාශ්‍රය, Aylin Lim

ඡායාරූප ශීර්ෂ වැකිය,

අන්තර්ජාල පෙත්සම දැකීමෙන් පසු සමාජ ජාල ඔස්සේ හඬ නැගීමට පෙළඹවුණු බව අයිලින් ලිම් පවසයි

"කාම්බෝජයේ හැදී වැඩුණු මට රෑ අට වෙනකොට ගෙදර ආ යුතු බව සහ ඇඟ වැඩිපුර නොපෙන්වන ලෙස නිතර කිව්වා." යනුවෙන් ඇය වැඩිදුරටත් සඳහන් කරයි.

ඇඳුම් පැළඳුම් සම්බන්ධයෙන් පවතින නීති කෙරෙහි සමාජ ජාල ඔස්සේ වැඩි අවධානයක් යොමු වෙද්දී පනත් කෙටුම්පතේ සෙසු අංශ වෙත ද සිවිල් ක්‍රියාකාරීන්ගේ අවධානය යොමුව තිබේ.

"මානසික ආබාධ" සහිත පුද්ගලයන් "පොදු ස්ථානවල නිදහසේ" ඇවිද යාම, "සියලුම ආකාරයේ සිඟමන් යැදීම්" තහනම් කිරීම ද යෝජිත නීතියට ඇතුළත්ය. සාමකාමී එක්රැස්වීම් සඳහා "පොදු ස්ථාන යොදා ගැනීමට" පෙර ඒ සඳහා බලධාරීන්ගෙන් අවසර ලබා ගැනීමත් ඒ අතර වේ.

කාම්බෝජයේ මානව අයිතීන් පිළිබඳ මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂිකා චැක් සොප්හීප් වැනි ක්‍රියාකාරීන් පවසන පරිදී අදාළ පනත සම්මත වුවහොත් ඉන් වඩාත් බලපෑමට ලක් වනු ඇත්තේ සමාජයේ වඩාත් දුගී පුද්ගලයන්ය.

ඡායාරූප මූලාශ්‍රය, Chak Sopheap

ඡායාරූප ශීර්ෂ වැකිය,

'ඇඳුමේ ස්වභාවය සම්බන්ධයෙන් සීමා පැනවීම මගින් තමා පිළිබඳ තමාට තීරණ ගැනීමේ හැකියාව යටපත් වන බව' චැක් සොප්හීප් පෙන්වා දෙයි

දුගීභාවය සහ සැලසුම් සහගත සමාජීය විෂමතා තවදුරටත් එලෙසම පැවතීමට එය බලපෑ හැකි බව ඇය කියා සිටී.

අදාළ නීතිය ලබන වසරේදී බලාත්මක වන්නේ ඊට ආණ්ඩුවේ අමාත්‍යංශ සහ ජාතික මන්ත්‍රණ සභාවේ අනුමැතිය හිමි වුවහොත් පමණි.

ඒ සම්බන්ධයෙන් සම්මුඛ සාකච්ඡාවක් ලබා දීම ප්‍රතික්ෂේප කළ අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශයේ රාජ්‍ය ලේකම් ඔඋක් කිම්ලෙක් කියා සිටියේ එය මූලික කෙටුම්පතක් බවය.

නමුත් සමාජය තුළින් පීඩනයක් එල්ල නොවුණහොත් සුපරීක්ෂාවකින් තොරව එය සම්මත විය හැකි බවට කාම්බෝජයේ මානව අයිතීන් පිළිබඳ මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂිකා චැක් සොප්හීප් බිය පළ කරයි.

"කාම්බෝජයේ නීති සම්මත කර ගැනීමේදී බොහෝ විට වෙනත් පාර්ශව වෙතින් අදහස් විමසීමක් නොකර ඒවායේ සම්පාදන ක්‍රියාවලිය හදිසියේ සිදු වෙනවා." යනුවෙන් ඇය පැවසීය.

සිය අන්තර්ජාල පෙත්සම මගින් ආණ්ඩුවේ යෝජනා වෙනස් කිරීමට ප්‍රමාණවත් අවධානයක් ලැබෙනු ඇතැයි යන ශුභවාදී අදහසේ මොලිකා තවමත් පසුවෙයි.

"මේ ගැටලුව සම්බන්ධයෙන් ඇති හැඟීමේ ශක්තිය පෙන්වන්න මට අවශ්‍යයි," යනුවෙන් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

(බීබීසී ලෝක සේවයේ ලාරා ඔවන් විසින් සකසන ලද වාර්තාවක් ඇසුරෙනි)

මේ ගැනත් කියවන්න: