ලෝකයම පරිහරණය කරන 'ඊමේල්' චීන වැසියන්ට එපා වුනේ ඇයි?

  • ලූ - හායි ලියෑන්ග්
  • BBC Worklife
Young Chinese woman typing on her laptop

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය,

චීනයේ අන්තර්ජාලය පාවිච්චි කරන්නන්ගේ දෛනික කාර්යයන්හිදී සන්නිවේදනය සඳහා ඊමේල් පාවිච්චි කරනු ලබන්නේ 25%කට අඩු සංඛ්‍යාවක් බව 2017 සමීක්‍ෂණයකින් හෙළිවිය

2008 වසරේ මැයි මාසයේ මම දකුණු චීනයට අයත් 'යැන්ග්ෂූ' නම් කුඩා නගරයේ පිහිටි ඉංග්‍රීසි පෞද්ගලික පාසලක ගුරුවරියක් වශයෙන් කටයුතු කළෙමි.

මගේ එම ඉංග්‍රීසි පාඩම්වලට සහභාගි වූ වැඩිහිටි සිසුන් පිරිස අනාගත සම්බන්ධතා පවත්වාගනු පිණිස චීනයේ නිර්මාණයක් වන 'QQ' නම් පරිගණක හෝ ලැප්ටොප්හි භාවිත කෙරෙන 'ඇප්' මෘදුකාංගය බාගත කරගන්නා ලෙස එම පාඨමාලාව නිමාවේ මගෙන් ඉල්ලීමක් කළහ.

එම 'QQ' ඇප් මෘදුකාංගය 'MSN' මෙසෙන්ජර් පණිවුඩ හුවමාරු ජාලයට සමානවූවකි.

එම අවස්ථාවේ මම එම සිසුන්ට උපදෙස් දුන්නේ Facebook ජාලයේ ලියාපදිංචි වන ලෙසය. එම අවධියෙහි චීනය තුළ Facebook අවහිරකිරීමක් නොවුනි. Facebook ගිණුමක් ආරම්භකොට මිතුරියක ලෙස ඊට මාත් ඇතුළත් කරගන්නා ලෙසත් එහි ඔවුන්ගේ ඊමේල් ලිපිනයන් ඇතුළත් කරන ලෙසත් මම මගේ එම චීන සිසුන්ට උපදෙස් දුන්නෙමි.

මවිසින් දෙනලද උපදෙස් අනුව සිසුන් කීපදෙනකු විසින් එම පියවර ගනු ලැබ තිබුනත්, ඔවුන් සඳහන් කර තිබුණ ඊමේල් ලිපිනයන් මතකයේ තබා ගැනීම ඉතා දුෂ්කර ආකාරයේ ඒවා විය. බොහෝ ඊමේල් ලිපිනයන් මෙවැනි ඒවා විය.zwpzjg59826@126.com.

එවැනි ඊමේල් ලිපින දකිනවිට මට ඇතිවූ හැඟීම වුනේ ඒවා තරමක් විකාර සහගතය යන අදහසකි. එහෙත් නැවත සිතනවිට ඒවා මට ආගන්තුක නොවුනේ එවැනි අමුතු ඊමේල් ලිපිනයන් එක්සත් රාජධානියේ පවා භාවිතයට ගනු ලබන හෙයිනි.

ඉන් වසර කීපයකට පසු මට නිදහස් මාධ්‍යවේදිනියක් සහ පිටපත් රචනා කරන්නියක් ලෙස නැවත වතාවක් බේජිං නගරයේ කටයුතු කිරීමට අවස්ථාවක් ලැබුණි. එහෙත් එම කාලය තුළ මට මගේ චීන ගනුදෙනුකරුවන් සමඟ වෘත්තීයමය ගනුදෙනු සඳහා ඊමේල් මගින් අදහස් හුවමාරු කර ගැනීමට නොහැකි විය.

Screen showing the WeChat logo

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය,

WeChatඇප් පණිවුඩ හුවමාරු මෘදුකාංගය චීනයේ බෙහෙවින් භාවිත කෙරෙයි

ඉහත කී කාලය තුළ මාවෙත යොමුකරන ලද පිටපත් රචනාවන් නිතරම මෙන් මගේ ස්මාර්ට් ජංගම දුරකතනයට යොමුකරන ලද්දේ චීනයේ අතිශයින් ජනප්‍රිය 'WeChat' ඇප් මෘදුකාංගය ඔස්සේය.

එවැනි පිටපත් රචනා නිමවා ඒවා අදාළ ස්ථානයන්ට යොමුකරනු ලැබීමෙන් අනතුරුව,මට අයත් ගෙවීම් සිදුකරන ලද්දේත් 'WeChat' ඇප් මෘදුකාංගය උපයෝගී කර ගනිමිනි.

එම සමස්ත ක්‍රියාදාමය විසින් ඇතිකරන ලද්දේ ආශ්චර්යජනක හැඟීමකි. එම ගනුදෙනු සියල්ල ඉතා කඩිනම් සහ සාර්ථක ලෙස සිදුවිය.

ඇප් මෘදුකාංග ආධිපත්‍යය

බොහෝ බටහිර සමාජයන්හි විශේෂයෙන් ම වෘත්තීය කාර්යන්හිදී ඊමේල් පණිවුඩ හුවමාරුව තවමත් ප්‍රධාන සන්නිවේදන මාර්ගය වී පවතී.

උදාහරණයක් ලෙස එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය ගත්විට, අන්තර්ජාල කටයුතුවලදී ඊමේල් ගනුදෙනුව ඉතා ජනප්‍රිය කාර්යය වී ඇත. අන්තර්ජාලය පරිහරණය කරන්නන් ගත්විට එක්සත් ජනපදයේ 90.9%ක්ද,එක්සත් රාජධානියේ 80%ක්ද ඊමේල් ගනුදෙනු කරති.

එසේම එම රටවල සමාජ මාධ්‍යජාල භාවිතය, හඬමය (audio) හෝ රූපමය (video) ඩිජිටල් නිර්මාණ පාවිච්චිය, අන්තර්ජාල බැංකු ගනුදෙනු සහ භාණ්ඩ සහ සේවාවන්ට අදාළ තොරතුරු ලබාගැනීම වැනි වෙනත් අන්තර්ජාල කාර්යයන්හිදී ඊමේල් ගනුදෙනු මුල්තැන ගනී.

එහෙත් චීනයෙහි දක්නට ලැබෙන්නේ වෙනත් චිත්‍රයකි.

A food stall in china with QR codes for users of WeChat to pay by scanning it with their devices

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය,

'WeChat' වැනි 'ඇප්ස්' සිල්ලර බඩු මිලට ගැනීම ඇතුළු බොහෝ ගනුදෙනු සඳහා පාවිච්චි කළ හැකිය

'Deloitte' ආයතනය විසින් 2018 වසරේ සිදුකරන ලද සමීක්ෂණය මගින් පෙන්නුම් කළ පරිදි, ලෝක මට්ටමින් ඊමේල් පරිහරණය කරන්නන් සමඟ බලනවිට චීන ජාතිකයන් ඔවුන්ගේ ඊමේල් පණිවුඩ පරීක්ෂා කරනු ලැබ තිබෙන්නේ 22% කටත් අඩුවෙනි.

චීනයේ ඊමේල් වෙනුවට ප්‍රධාන මෙවලම බවට පත්ව තිබෙන්නේ 'WeChat' ඇප් මෘදුකාංගයයි. ස්මාර්ට් ජංගම දුරකතන පාවිච්චි කරන්නන්ගෙන් 79.1% ක් පමණ නිරන්තරයෙන් භාවිත කර තිබෙන්නේ 'WeChat' ඇප් මෘදුකාංගයයි. චීනයේ පණිවුඩ හුවමාරු මෘදුකාංග උපයෝගී කරගනු ලබන පුද්ගලයන්ගෙන් 84.5%ක් එම 'WeChat' ඇප් මෘදුකාංගය යොදා ගනිති.

මෙය කාර්යාල භාවිතය තුළටද විහිද ගොසිනි.

'WeChat' ඇප් මෘදුකාංගය නිර්මාණය කරන ලද 'Tencent' ආයතනයේ පර්යේෂණ අංශයක් වන 'Penguin Intelligence' විසින් 2017 වසරේ දී 'WeChat' පාවිච්චි කරන්නන්ගේ හැසිරීම පිළිබඳව වාර්තාවක් සම්පාදනය කළ අතර, එම සමීක්ෂණයට ඇතුළත් කරගන්නා ලද 20000ක් දෙනාගෙන් 88%කට ආසන්න පිරිසක් සිය දෛනික සන්නිවේදන කාර්යයන්හි දී 'WeChat' පාවිච්චිකරන බව සොයාගෙන තිබුණි.

සමීක්ෂණයට සහභාගි වූවන්ගෙන් 59.5% ක් දුරකථන,SMS සහ ෆැක්ස් පාවිච්චිකරන්නෝ වූහ. ඔවුන්ගෙන් ඊමේල් පාවිච්චිකරනු ලබන සංඛ්‍යාව 22.6%ක් තරම් පහළ මට්ටමක විය.

ඊවා හ්සු (Eva Hsu) ඩිජිටල් නිෂ්පාදන ව්‍යාපාරයක් ගෙනයන තායිවාන් කාන්තාවකි. ඇයගේ තුරුණුවියෙන් එක්තරා කාල පරිච්ඡේදයක් ගෙවනු ලැබ තිබෙන්නේ එක්සත් ජනපදයේය. දැන් ඇය වසර හයක පමණ කාලයක් 'ෂැන්හයි' නගරයේ සිටිමින් කටයුතු කරන්නීය.

සිය විදේශීය ගැනුම්කරුවන් සමඟ ඊමේල් සහ 'Linkedln' මගින් පණිවුඩ හුවමාරු කරගන්නා නමුත් චීන ගණුදෙනුකරුවන් සමඟ ඇත්තේ වෙනත් කතාවක් යයි ඊවා පවසයි.

Chinese young man using a computer at a cybercafé

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය,

'සයිබර් කැෆේ' සංස්කෘතිය(Cybercafé culture) චීනයේ ක්‍ෂණික පණිවුඩ 'ඇප්ස්' මෘදුකාංගයන්හි ඉහල ජනප්‍රියත්වය සමඟ බැඳී ඇත

"චීනයේ ගනුදෙනුකරුවන් 'WeChat' ඇප් මෘදුකාංගය පාවිච්චි කරන්න කැමැතියි. සන්නිවේදනයේ ප්‍රධාන මාවත හැටියට ඔවුන් 'WeChat' මගින් ඔවුන්ගේ ලිපිගොණු යවනවා," ඊවා හ්සු(Eva Hsu) පවසන්නීය.

'සයිබර්කැෆේ' සංස්කෘතිය

චීනයේ බිලියනයකට (කෝටි සීයකට) අධික ජනතාව 'WeChat' පාවිච්චි කිරීමත් සමඟ එය සියළු ස්ථානයන්හි භාවිතයට ගනු ලබන සුපිරි ඇප් මෘදුකාංගයක් බවට පත්ව ඇත.

එහෙත් වැදගත්වන්නේ, චීනයේ ජනතාව සන්නිවේදන කාර්යය සඳහා මෙයින් අවුරුදු ගණනාවකට පෙර හඳුන්වා දෙන ලද 'WeChat' වැනි උපාංගයක් කෙරෙහි වැඩියෙන් ආකර්ශනයවීමට තුඩුදුන් කරුණු මොනවාද? යන්න විමසීමය.

අලුතින් ආරම්භ කරන ලද 'Tencent' නම් චීන තාක්ෂණික සමාගම විසින් 1999 වසරේ දී 'QQ' යනුවෙන් නම්කරන ලද නිර්මාණයක් නිකුත් කරන ලදි. ඊට පදනම් වූයේ AOL අයිතිය සහිත ICQ ක්‍ෂණික පණිවුඩ හුවමාරු ව්‍යාපෘතියයි.

ලෝක බැංකුව පවසන පරිදි එම අවධියේ චීනයේ ජනයාගෙන් සිය දෙනකු ගත්විට පරිගණක තිබුණේ 1.2ක් පමණි. එහෙත් එම අවධියේත් එක්සත් ජනපදයේ සෑම දෙදෙනකු සඳහා පරිගණකයක් විය.

එහෙත් වර්ෂ 2000 වනවිට ලද ප්‍රගතිය අනුව අන්තර්ජාල පහසුකම් සපයන ආයතයන (Internet cafes) චීනය පුරා පැතිර ගොස් තිබුණි. එසේම එරට තරුණ ප්‍රජාව සැනෙකින් අන්තර්ජාලය වැළඳගත්හ.

Upclose shot of the penguin logo of the QQ app

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය,

රට තුළ අන්තර්ජාල වෙබ් පිවිසුම් මාර්ග වැඩිවීමත් සමඟ චීනයේ අන්තර්ජාලය පාවිච්චි කරන්නන්ට ඊමේල්වලට වඩා QQ වැනි වැඩසටහන් වඩාත් ප්‍රායෝගික වී ඇත

චීනයේ අන්තර්ජාලය පාවිච්චි කරන්නන්ගේ දෛනික කාර්යයන්හිදී සන්නිවේදනය සඳහා ඊමේල් පාවිච්චි කරනු ලබන්නේ 25%කට අඩු සංඛ්‍යාවක් බව 2017 සමීක්‍ෂණයකින් හෙළිවිය.

මහජනයාට පහසුවෙන් කුඩා බ්ලොග් පළකළ හැකි ආරම්භක චීන සමාජ මාධ්‍යජාලයක් සහ සංගීතය, ක්‍රීඩා වැනි විනෝදජනක විශේෂාංග පහසුකම් සැපයීම හේතුවෙන් QQ අන්තර්ජාල කැෆේ ජනප්‍රියවීමට ප්‍රධාන සාධකයක් විය.

ඊමේල් සමඟ සංසන්දනාත්මකව බලනවිට QQ යනු ක්‍ෂණිකව පණිවුඩ යැවීමේ පහසුකම් සහ හැඩතල නිර්මාණය කිරීමේ හැකියාව සමඟ වැඩි අන්‍යෝන්‍ය බලපෑමක් සහිත මෙවලමකි.

රියැදුරු බලපතකට සමයි

QQ හෝ MSN ගිණුමක් නොමැති චීන ජාතිකයකු සොයාගැනීම ප්‍රායෝගිකව පහසු නොවන බව 2008 වසරේ පළකරන ලද 'Supertrends of Future China' නම් සිය කෘතියෙහි එහි කතුවරුන් වන ජේම්ස් යුආන්(James Yuann) සහ ජේසන් ඉන්ච් (Jason Inch) සඳහන් කරති.

"එය හරියට රියැදුරු බලපත්‍රයන් නොමැති පුද්ගලයකු ගැන බටහිර රටක වැසියන් සිතන ආකාරයට බොහෝදුරට සමාන තත්වයක්," යයි ජේම්ස් සහ ජේසන් ලියා ඇත.

ජ්‍යෙෂ්ට විධායක නිලධාරීන් තම වෘත්තීය කාඩ්පත්වල QQ ගිණුම් අංක සඳහන් කරන අතර, ව්‍යපාරික ආයතනත් ඔවුන්ගේම QQ ගිණුම් පවත්වා ගනී.

වසර 2012 වනවිට චීනයේ මාසිකව මිලියන 798ක් QQ පාවිච්චි කළහ.එය එම වසරේ සමස්ත චීන ජනගහනයෙන් අඩකටත් වැඩි සංඛ්‍යාවකි.

Ha Huatend, the founder of Tencent, at an event launch in China

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය,

WeChat නිර්මාණය කළ 'Tencent' තාක්ෂණික සමාගමේ නිර්මාතෘ මා හුආටෙන් (Ma Huateng)

එහෙත්, ඩෙස්ක්ටොප් පරිගණක අභිබවා 'ස්මාර්ට්පෝන්' චීනයේ ප්‍රධාන පරිගණක උපකරණය බවට පත්වීමත් සමඟ 'Tencent' ව්‍යාපාරය විසින් නිර්මාණය කරනු ලැබ 2011 වසරේ නිකුත්කරන ලද 'WeChat' පණිවුඩ හුවමාරු ඇප් මෘදුකාංගය චීනයේ වඩාත්ම ජනප්‍රිය සන්නිවේදනය මෙවලම බවට පත්වනු ඇත.

චීනයේ ඩිජිටල් නවෝත්පාදන ව්‍යාපෘතියක උපදේශකයකු හැටියට 2004 පටන් එරට කටයුතු කරන බ්‍රිතාන්‍ය ජාතිකයකු වන මැතිව් බ්‍රෙනන් (Matthew Brennan) පවසන්නේ, බොහෝ අන්තර්ජාල සේවාවන්හි ලියාපදිංචිවීමට අවශ්‍යකරන හෙයින් අනන්‍යතාවේ අංගයක් වශයෙන් බොහෝ රටවල ඊමේල් ලිපිනය පවත්වා ගනු ලබන බවය.

එහෙත් චීනයේ නිතරම මෙන් මුල්තැන ලබන්නේ ජංගම ඇප් මෘදුකාංගයකි. 'WeChat',එසේත් නැත්නම්, අන්තර්ජාල වෙළෙඳාමේ දැවැන්තයකු වන Alibaba ව්‍යාපාරය විසින් නිර්මාණය කරන ලද 'Alipay' වැනි බහුවිධ කාර්යයන් සඳහා යොදාගැනීමට වලංගු ඇප් මෘදුකාංගයකට පිවිස අන්තරජාලය ඔස්සේ සියළු ගනුදෙනු සිදුකළ හැකිය.

ඒ අනුව, එක් තනි ඇප් මෘදුකාංගයක් උපයෝගී කරගනිමින් කෙනෙකුට සිය මිතුරන්ට පණිවුඩ යැවීම, බඩු මිළට ගැනීම සහ හමුවීමේ අවස්ථා හෝ වෙනත් පුද්ගල සම්මුතීන් ඇතිකර ගැනීමට පහසුකම් ඇත.

ක්‍ෂණික පණිවුඩ

'Wechat' චීනයේ කම්කරු සංස්කෘතියට (Working Culture) ගැලපෙන බව ව්‍යාපාරික කටයුතු පිළිබඳ 'Cheung Kong' උපාධි ආයතනයේ ආර්ථික විද්‍යා අංශයේ සහාය මහාචාර්ය ෂෝන් ලිං (Zhong Ling) විශ්වාස කරයි.

"'WeChat' පණිවුඩ හුවමාරු උපාංගයක්. ඊමේල් පණිවුඩයකට වඩා අඩු කාලයක් පමණයි, 'WeChat' පණිවුඩයක් සඳහා වැයවන්නේ," සහාය මහාචාර්ය ෂෝන් ලිං ප්‍රකාශ කළාය.

"චීනයේ කම්කරු සහ ව්‍යාපාරික පරිසරයෙහි උද්ගතව ඇති ඉක්මන් ප්‍රතිචාර සඳහා ඇති ඉල්ලුම අනුව මහජනයා ක්‍ෂණිකව ප්‍රතිචාර දැක්වීමට වැඩි ඉඩකඩක් පවතින ආකාරයක් පෙනීයන බවත් මහාචාර්යවරිය පවසයි.

Chinese man lying near the waves with his suit and laptop

ඡායාරූප මූලාශ්‍රය, Gety

ඡායාරූප ශීර්ෂ වැකිය,

චීනයේ වෘත්තීය සහ පෞද්ගලික ජීවිතය අතර සීමාවන් පටුවෙමින් පවතී

චීනයේ මහජනයාගේ වැඩ සහ පෞද්ගලික ජීවිත අතර සීමාවන් පටුවෙමින් ඇති බව මහාචාර්ය ෂෝන් ලිං නිරීක්ෂණය කරයි.

"එහි ප්‍රතිපලයක් වශයෙන් හාම්පුතුන් සහ කළමනාකරුවන් විසින් සාමාන්‍ය වැඩ පැය ගණනට අයත්නොවන කටයුතු හෝ වැඩ විමසීම් යොමුකරනවා. ඉතා සුළු නොවැදගත් පිළිතුරක් සඳහා වුනත්, ඔවුන් ඊලඟ වැඩ දිනයතෙක් බලා ඉන්න සූදානම් නැහැ."

මහාචාර්යවරිය වැඩිදුරටත් සඳහන් කරන්නේ අන්‍යෝන්‍ය සබන්ධතා වට කීපයක් ඇතුළත් සාකච්ඡාවල දී ඊමේල් පණිවුඩවලට වඩා 'WeChat' ඉක්මන් බවය.

කෙසේවුවද, මෙයින් මතුවී ඇති තත්වය නම්, වෘත්තිකයන් හැම පැයකම ප්‍රතිචාර දැක්වීමේ පීඩනයකට ලක්ව සිටීමය.

''WeChat කෙටි එසේම ඉක්මන් ප්‍රතිචාර සඳහා සූදානම් නමුත්, ඊමේල් පණිවුඩ ක්‍රමයෙහි පවතින්නේ යල්පිනූ සංගතික මුහුණුවරක් යයි මැතිව් බ්‍රෙනන් (Matthew Brennan) පවසයි.

ක්‍ෂණික ප්‍රතිචාර අවශ්‍යතාව

මෙය අප සන්නිවේදනය පවත්වාගත යුත්තේ කෙසේද? යන්න කෙරෙහි බලපෑමක් ඇතිකෙරෙන වැඩ පිළිවෙලකි. එහෙත් එම සන්නිවේදනය ෆේස්බුක්,වට්ස්ඇප් සහ WeChat වැනි නිර්මාණ සමඟ බලනවිට දුරවබෝධභාවයක් ඇතත් එහි සැලකිය යුතු බලපෑමක් පවතී.

මැතිව් බ්‍රෙනන් පවසන්නේ ''පණිවුඩ යැවීමේ දී වඩාත් ඉක්මන් ප්‍රතිචාරයක් පිළිබඳ අපේක්‍ෂාවක් පැවතිය හැකි'' බවය.

A finger hovering over several app icons

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය,

ඊමේල්වලට වඩා ක්‍ෂණික පණිවුඩ හුවමාරු ඇප්ස් ඔස්සේ සංවාදය වඩාත් ඉක්මනින් ගලා යයි

"පුද්ගලයෙක් පණිවුඩයක් ලද්දේ සති අන්තයෙහි නමුත් ඔහු ඊට පිළිතුරු සැපයිය යුතුව ඇත."

එක්සත් රාජධානිය, එක්සත් ජනපදය, කැනඩාව, ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය වැනි එංගලන්තය කේන්ද්‍ර කරගත් රටවල ඊමේල් පණිවුඩ මෙම ''ඇනලොග් යුගයේ" (analogue age) චාරිත්‍රයක් මට්ටමින් පාවිච්චි කෙරෙමින් පවතී.

ලියුම් ලිවීමේ සම්ප්‍රදාය තුළ පැවති ''ආදරණීය X'' වශයෙන් කෙනකු ආමන්ත්‍රණය කරමින් එය අවසානයෙහි ''මගෙන් ශුභ පැතුම්!'' (Best Regards) හෝ වෙනත් එවැනි විධිමත් යෙදුමකින් ඊමේල් පණිවුඩ නිම කෙරෙයි.

එහෙත් ආසියානු රටවල ක්‍ෂණික සහ අවිධිමත් රටාවේ පණිවුඩ හුවමාරු ඇප් මෘදුකාංග ජනප්‍රිය බවක් දක්නට ලැබෙයි.

"බටහිර වෙළෙඳපොළට වඩා ආසියාවේ ඊමේල්වලට වැඩියෙන් 'චැට්' සංවාද ඇප් මෘදුකාංග භාවිත කෙරෙන බව තමාගේ මෙන්ම තම බහුජාතික කණ්ඩායමේ විශ්වාසය වී ඇතැයි," ආසියාව පුරා කාර්යාල පවත්වාගෙන යන 'Prophet' උපදේශන ව්‍යාපාරයේ කොටස්කරුවකු වන ඇලන් කැසි (Alan Casey) පවසයි.

"චීනය වැනි ගිනිකොන ආසියානු බොහෝ රටවල් පරිගණක යුගයේ පිම්මක් පැනල තියෙනව. එම රටවල් කෙලින්ම ජංගම සම්බන්ධතා අවධියට පිවිස සිටිනවා," ඇලන් කැසි පෙන්වා දෙයි.

Table showing the world's most used social platforms and highlighting WeChat in 5th place

Facebook, WeChat, Line, KakaoTalk, Zalo යනාදී සමාජ මාධ්‍ය සියල්ල පණිවුඩ හුවමාරු මාධ්‍ය අතර ඉදිරියෙන් සිටී

ව්‍යාපාරික අංශයේ පාවිච්චිය

චීනයෙහි 'WeChat' හැරුනවිට, විශාල සංස්ථාවන් හෝ එසේත් නැත්නම්, වැඩි කාර්යභාරයක් සහ නිෂ්පාදන ශක්‍යතාව ඉලක්ක කරගත් විශේෂාංග අවශ්‍ය කරන ආයතන වෙනුවෙන් ක්‍රියාත්මක වෙනත් ව්‍යාපාරික ඇප් මෘදුකාංග වෙති.

'Alibaba' ව්‍යාපාරයේ 'Ding Talk' සහ 'ByteDance' හි 'Lark' මෙන්ම 'WeChat'හි 'WeChat Work' වැනි 'ඇප්' මගින්, වාර්තා හුවමාරුකර ගැනීම, අන්තර්ජාලය ඔස්සේ සිදුකෙරෙන සංස්කරණ කටයුතු, සේවක වැටුප් සැකසීම, වැඩපොළෙහි පාලනය පවත්වා ගැනීම සහ පෞද්ගලිකත්වය ඉහල මට්ටමින් සුරැකීම ආදිය සඳහා විශේෂාංග පහසුකම් සපයති.

'Ding Talk' පරිහරණය කරන්නන්ට පුද්ගලයකු නිශ්චිත වේලාවක් ඇතුලත පණිවුඩයක් කියවා තිබේද? යන්න පිරික්සීමට සහ ඔහු එය කියවා නැත්නම් ඉක්මනින් එය කියවන ලෙස අදාළ තැනැත්තා යොමුකෙරෙන පණිවුඩයක් යැවීමේ පහසුකම් සපයයි.

බටහිර ලෝකයේ විසිරුන සේවාවන්

තිස් හැවිරිදි හේලන් ෂියා (Hailan Jia) චීනයේ මූල්‍ය හුවමාරු වාණිජ සමාගමක මහජන සම්බන්ධතා කලමනාකාරිනියක් ලෙස කටයුතු කළ අතර, 2018 වසරේ දී ඇය සිය සහකරු සමඟ එක්වීම සඳහා සිය ජන්මභූමිය හැරදමා නිරිතදිග එංගලන්තයේ 'ප්ලිමර්ත්' (Plymouth) නගරයට පැමිණියාය.

එක්සත් රාජධානියේ අන්තර්ජාල සේවාවන්බෙහෙවින් විසිරීගිය මට්ටමින් ක්‍රියාත්මක වෙනබව ඇයගේ අදහස වෙයි.

'Amazon' මගින් නිශ්චිත භාණ්ඩ මිලට ගැනීම, ඇප්ස් මගින් සිල්ලර බඩු මිලට ගැනීම සහ අන්තර්ජාල වෙබ් අඩවි මගින් හමුවක් වෙන්කර ගැනීම වැනි හැම අවස්ථාවකම ඊමේල් හෝ ෆේස්බුක් පහසුකම් අවශ්‍ය කරනවා. ඒත් චීනයේ එහෙම නැහැ. හැම දේකටම 'WeChat' ගිණුම ප්‍රමාණවත්'' හේලන් ෂියා(Hailan Jia) පවසයි.

නිරන්තරයෙන් ඊමේල් විපරම් කිරීම ඇයට නුහුරු කාර්යයකි.

Two Chinese girls dressed in traditional ceremonial clothes look at their phones in the city of Wuhan

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය,

චීනයේ බොහෝදෙනෙකුට ඊමේල් පහසුකම් තිබුනත් ඔවුන් බටහිර වැසියන් මෙන් නිරන්තරයෙන් ඒ කෙරෙහි ඇතුල් නොවෙති

''චීනයේ දී මම කවදාවත්ම ඊමේල් බැලුවේ නැහැ. මිනිස්සු ඊමේල් මගින් ප්‍රතිචාරය දක්වාවි කියල මට බලාපොරොත්තුවක් තිබුනෙත් නැහැ. මට ඊමේල් විනෝදාංශයක් වෙන්නෙත් නැහැ."

එහෙත් චීන ජනයා ඊමේල් කොහෙත්ම පරිහරණය කරන්නේ නැති බවක් මින් අදහස් නොකෙරෙයි.

බොහෝ චීන ජාතිකයෝ ඊමේල් භාවිතා කරති. එහෙත් ඇමෙරිකානු සහ යුරෝපීය ජනතාවගේ මට්ටමින් ඔවුහු ඒවා අඛණ්ඩව පරීක්ෂා කර කියවා නොබලති.

මැතිව් බ්‍රෙනන් පවසන පරිදි,බේජිං සහ ෂැන්හයි වැනි විශාල නගරවල ජාත්‍යන්තර ප්‍රමිතීන් සමඟ වැඩි අනුගතභාවයක් දක්නට ලැබෙයි.

"Yangshuo නගරයේ එමගේ පැරණි සිසුන් අතරින් සිය අධ්‍යයන කටයුතු නිමාවේ මට ඔවුන්ගේ ඊමේල් ලිපිනයන් දුන් කීපදෙනා අතර ලී වැන්ග් එක ශිෂ්‍යාවක්."

"මෙයින් වසර කීපයකට පෙර මම ඇය 'WeChat' මගින් හමුවුනා. අපි දැන් සතුටු සාමීචියේ යෙදෙන්නේ 'WeChat' ඔස්සේ," මැතිව් පවසයි.

Email icon

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය,

ඊමේල් අතීතයෙන් ශේෂ වූ පිළුන් වූ කුණුගොඩක්ද?

"කලින් අදහස් හුවමාරු කරගත් ඊමේල් ඇඩ්රස් තවමත් පාවිච්චි කරනවාදැයි මම ලී වැන්ගෙන් ඇසුවා."

"මොන ඇඩ්රස් එකද?" ඇය ඇසුවේ සිනාසෙමිනි.

"මට ගොඩාක් තියෙනව. 163, 126 සහ MSN" ලී වැන්ග් කියා සිටියේ විවිධ ඊමේල් පහසුකම් කීපයක් සඳහන් කරමිනි.

ලී වැන්ග් දැන් ඇයගේ ඊමේල් කියවන්නේ කලාතුරකිනි. ඇය අවසන්වරට ඊමේල් බැලුවේ කවදාද? යන්න සිහිපත් කිරීම පවා දුෂ්කරය.

"මම වැඩිවශයෙන් පරිහරණය කරන්නේ WeChat. මම නිතරම QQ පාවිච්චි කරන්නේ නැහැ. ඒත් ඉඳල හිටලා පාවිච්චි කරනවා," ලී වැන්ග් පවසන්නීය.

ලී වැන්ග් පමණක් නොව, වෙනත් බොහෝ චීන ජනයාට WeChat ඔවුන්ගේ දෛනික ජීවිතයත් සමඟ බැඳුන අංගයක් වී ඇත. ඒ සමඟ ඊමේල් ඔවුන් දකින්නේ අතීතයෙන් ශේෂ වූ පිළුන් වූ කුණුගොඩක් හැටියටය.

වැඩිදුර කියවන්න: