අයෝධ්‍යා මුස්ලිම් පල්ලිය වැනසීම: සියළු හින්දු චුදිතයන් නිදහස්!

india,ayodhya

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය,

LK අද්වානි(වමේ) උමා භාර්ති (දකුණේ) වසර ගණනාවක් තම නිදහස වෙනුවෙන් නෛතික අරගලයක නිරතවෙමින් සිටියහ

අයෝධ්‍යා මුස්ලිම් පල්ලිය විනාශකර දැමීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි ඉන්දියාවේ පාලක භාරතීය ජනතා පක්ෂයේ ඉහලම මට්ටමේ නායකයන් එම නඩුව විභාගකළ විශේෂ අධිකරණය විසින් මුදාහරිනු ලැබුණි.

අයෝධ්‍යා නගරයේ පිහිටා තිබුණ 16 සියවසට අයත් 'බාබ්රි' (Babri mosque) මුස්ලිම් පල්ලිය 1992 වසරේ දී විනාශකර දමන ලද අතර, භාරතීය ජනතා පක්ෂයේ නායකයකු සහ හිටපු නියෝජ්‍ය අගමැතිවරයකු වන එල් කේ අද්වානි, එම් එම් ජෝෂි සහ උමා භාරතී ඇතුළු නායකයෝ හින්දු ප්‍රහාරක කණ්ඩායම් පල්ලිය වැනසීම සඳහා කුපිත කරන ලද බවට තමන්ට එරෙහිව එල්ලවෙන චෝදනාවලට තමන් නිවැරදිකරුවන් බව අධිකරණය ඉදිරියේ කියා සිටියහ.

එම හින්දු නායකයන් සහ වෙනත් හින්දු බැතිමතුන්ගේ විශ්වාසය වන්නේ 'බබ්රි'(Babri mosque) මුස්ලිම් පල්ලිය හින්දු පුදබිමක පිහිටා තිබුණ බවයි. පල්ලිය විනාශකරනු ලැබීමත් සමඟ පැතිරගිය ප්‍රචණ්ඩ ප්‍රහාර හේතුවෙන් දෙදහසක පමණ ජීවිත විනාශයක් වාර්තා විය.

අයෝධ්‍යා පල්ලිය වැනසීම ඉන්දියාවේ දක්ෂිණාංශික හින්දු ජාතිකවාදයේ නැගීම අතින් තීරණාත්මක සන්ධිස්ථානයක් විය

ඉන්දීය ආණ්ඩුවේ ෆෙඩරල් ආයතනයක් සහ ස්වාධීන කොමිෂන් සභාවක් විසින් සිදුකරන ලද පරීක්ෂණවල දී හිටපු අගමැති අතල් බිහාරි වජ්පායි ඇතුළු භාරතීය ජනතා පක්ෂයේ කලින් සිටි ඉහලම නායකයන් රාශියකගේ නම් අයෝධ්‍යා ප්‍රහාරය සමඟ ගෑවී ඇතිබව හෙළිදරව් විය. අතල් බිහාරි වජ්පායි 2018 වසරේ දී මරණයට පත්ව ඇත.

එම පරීක්ෂණවලින් අනතුරුව එකී අපරාධය සම්බන්ධයෙන් 49 දෙනකුට එරෙහිව 1993 දී නඩු පවරන ලදි. එල් කේ අද්වානි, එම් එම් ජෝෂි සහ උමා භාරති ඇතුළු නායකයන් රැසක් එම චුදිතයන් අතර වූහ. චුදිතයන් අතරින් දාහත්දෙනෙක් මේවනවිට ජීවතුන් අතර නොමැත.

දීර්ඝ කාලයක් දිග්ගැසෙමින් තිබුණ නඩු විභාගය අවසානයේ, මෙම සැප්තැම්බර් 30 බදාදා සිය තීන්දුව ප්‍රකාශයට පත්කළ විශේෂ අධිකරණයේ නිගමනය වුනේ සියළු චුදිතයන් ඔවුන්ට එරෙහි චෝදනාවලට නිවැරදිකරුවන් වන බවය.

භාරතීය ජනතා පක්ෂයේ චුදිත නායකයන් තිදෙනා අධිකරණ භූමියේ නොසිටි අතර ඔවුන් තීන්දුව ශ්‍රවනය කළේ වීඩියෝ තාක්ෂණය ඔස්සේය. මාධ්‍යවේදීන්ට ද අධිකරණ භූමියට පිවිසීමට අවසර නොලැබුණි.

එම නඩු තීන්දුව ඓතිහාසික එකක් මෙන්ම මතභේදයට තුඩු දෙන්නකි. කෝටි විස්සක් පමණ වූ ඉන්දීය මුස්ලිම් ප්‍රජාව අතර පවතින තමන් සමාජයෙන් කොන්කෙරෙන බවට ඇති අදහසට ඉහත කී තීන්දුව සම්බන්ධයෙන් මතුවෙන අසතුටුදායක හැඟීම් ද එක්වෙන හැඩක් පවතින බව දේශපාලන නිරීක්‍ෂකයෝ පවසති.

ඡායාරූප ශීර්ෂ වැකිය,

නඩු තීන්දුව ප්‍රකාශයට පත්කරන ලද 'ලක්නව්' නගරයේ අධිකරණ භූමිය අවට පැවතුනේ නිහඬ පරිසරයකි

මෙම නඩු තීන්දුව ප්‍රකාශයට පත්කෙරුනේ 'බබ්රි' මුස්ලිම් පල්ලිය පිහිටි භූමිය සම්බන්ධයෙන් මෙයින් වසරකට ආසන්න කාලයකට පෙර දෙනලද තවත් ඓතිහාසික නඩු තීන්දුවකින් පසුවය. ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙනලද එම නඩු තීන්දුව මගින් විවාදයට තුඩු දී පැවති එකී භූමිය හින්දූන් වෙත පවරනු ලැබුණි.

ඒ අතරම 'බබ්රි' මුස්ලිම් පල්ලිය වනසනු ලැබීම ''නීතියේ ආධිපත්‍යය බරපතල මට්ටමින් උල්ලංඝනය කරනු ලැබීමක්'' ලෙස විග්‍රහ කළ ශ්‍රේෂ්ඨාධිකරණය පල්ලියක් ඉදිකර ගැනීම සඳහා මුස්ලිම් ප්‍රජාවට වෙනත් බිම්කඩක් ලබාදෙන ලෙස නියෝග කළේය.

හින්දු ප්‍රහාරක කල්ලි 'බබ්රි' මුස්ලිම් පල්ලිය වනසන ලද්දේ එය පෞරාණික 'රාම දෙවියන්ගේ' කෝවිලේ නටබුන් මත ඉදිකරන ලද්දකැයි පවසමිනි. රාම දෙවියන් 'අයෝධ්‍යා' නගරයේ උපත ලදබව හින්දු ජනයාගේ විශ්වාසයයි.

මුස්ලිම් පල්ලිය බිඳ හෙලන ලද භූමිය මත හින්දු කෝවිලක් ඉදිකිරීම සඳහා අගමැති නරේන්ද්‍ර මෝදි අතින් පසුගිය අගෝස්තු මාසයේ මුල්ගල් තබනු ලැබුණි. එය භාරතීය ජනතා පක්ෂයේ ප්‍රධාන පොරොන්දුවක් ඉටුකිරීම සඳහා මුල පිරීමකි. එසේම එය එම පක්ෂයේ දැඩි හින්දු ජාතිකවාදී පදනම වෙනුවෙන් ගත් විශාල සංකේතාත්මක පියවරක් ද විය.

1992 දෙසැම්බර් 02 පල්ලිය වැනසූ හැටි

'බබ්රි' පල්ලිය පිහිටි භූමිය අවට කණ්ඩායම් රැස්වෙමින් සිටියේ එවකට විපක්ෂයේ වූ භාරතීය ජනතා පක්ෂය ද ඇතුළුව දක්ෂිනාංශික හින්දු කණ්ඩායම් තුනක් විසින් සංවිධානය කරන ලද ආගමික පෙරහැරක් අතරවාරයේය.

එම භූමිය මත හින්දු කෝවිලක් ඉදිකරන බවට එම පෙරහැර සංවිධායකයෝ ප්‍රතිඥා දුන්හ.

එහෙත් එය සංකේතාත්මක ආරම්භයක් වන අතර එහි ආගමික උත්සවයක් පැවැත්වෙන නමුත් මුස්ලිම් පල්ලියට හානියක් සිදු නොකරන බවටත් එම හින්දු පෙරහැර සංවිධායකයෝ ආණ්ඩුවට සහ අධිකරණයට ප්‍රතිඥාවක් දී තිබුණි.

1992 පල්ලිය විනාශ කෙරුන ආකාරය සම්බන්ධයෙන් ඇසින් දුටු සාක්ෂිකරුවකු වන බීබීසියේ මාර්ක් ටලි (Mark Tully) මෙසේ ලියයි.

"සමහරවිට 15,00ක් තරම් වියහැකි ජනකායක් එතැන රැස්ව සිටියා. ඔවුන් භාරතීය ජනතා පක්ෂයේ( BJP ) සහ දක්ෂිණාංශික 'විශ්ව හින්දු පරිෂද්' (VHP නායකයන්ගේ කතාවලට සවන් දෙමින් සිටියා."

එම රැස්වීමේ සිටි නායකයන් අතර එල් කේ අද්වානි සහ ජෝෂි දක්නට ලැබුණි. මේවනවිට 92 හැවිරිදි අද්වානි සහ 86 හැවිරිදි ජෝෂි පසුව භාරතීය ජනතා පක්ෂ ආණ්ඩුවේ ඉහලම තනතුරු දැරූහ.

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය,

ප්‍රචණ්ඩ කණ්ඩායමක් පල්ලිය මත නැග එය විනාශකරන ආකාරය

එම ජන හමුවේ එක් අවස්ථාවක දී ඉස්කෝප්ප, මිටි, අලවංගු සහ 'පිකප්' අලවංගු (pick axes) රැගත් දහස් ගණනක් තරුණයෝ පල්ලිය මුරකරමින් සිටි පොලිස් වළල්ල පසුකරමින් ගමන්කොට පල්ලිය මුදුනේ වූ ගෝලාකාර ශිඛරය විනාශ කළහ. බිත්ති කැබලිවලට කඩා බිම හෙලීමට පටන්ගත්හ.

පල්ලිය විනාශ කරමින් තිබුණ අවස්ථාවේ එහිසිටි ඡායාරූප ශිල්පියකු වන ප්‍රවීන් ජයින් (Praveen Jain) එම අවස්ථාව මෙසේ සිහිපත් කරයි.

"ප්‍රචණ්ඩ කල්ලි මාධ්‍යවේදීන්ට පහර දුන්නා. විනාශය ඇතුලත් ඡායාරූපමය සාක්ෂි වසං කරගන්න කැමරා විනාශ කළා."

එම ක්‍රියාවලියේ අවසානය ළකුණු කෙරුනේ පල්ලිය පොළොවට සමතලා කර දමනු ලැබීමෙනි.

එම පුවත පැතිරයත්ම ඉන්දියාවේ වෙනත් පළාත්වල හින්දු- මුස්ලිම් ගැටුම් ආරම්භ විය.දරුණුම ගැටුම් සිදුවූ 'මුම්බායි' නාරයෙන් පමණක් මරණ 900ක් පමණ වාර්තා විය.

අපරාධ මාලාව පිරික්සීමට හිටපු මහාධිකරණ විනිසුරු එම්.එස්.ලිබර්හන්ගේ (MS Liberhan) ප්‍රධානත්වයෙන් යුත් කොමිසමක් පත්කරන ලද අතර අවුරුදු දාහතක් ගත් පිටු 900කින් යුත් පරීක්ෂණ වාර්තාව 2009 දී ආණ්ඩුවට භාරදෙනු ලැබුණි.

එම වාර්තාව මගින් BJP ප්‍රධාන නායකයන් වන හිටපු අගමැති අතල් බිහාරි වජ්පායි සහ අද්වානි ඇතුළු නායකයන් රැසකට දෝශාරෝපනය කරනු ලැබ තිබුණි.

මුස්ලිම් පල්ලිය විනාශකර දමනු ලැබීම කිසිදු බියක් සැකක් නැතිව කල්තබා සූදානම් කරන ලද සැලැස්මක්ය යන්න කොමිසමේ නිගමනය විය.

භාරතීය ජනතා පක්ෂයේ නායකයන් ''ව්‍යාජ මධ්‍යස්ථ මතධාරීන්'' පිරිසක් හැටියට කොමිසම විසින් හඳුන්වා ඇතැයි ඉන්දියානු මාධ්‍ය වාර්තා කළේය.

''එම පල්ලිය වැනසීම නූතන ඉන්දියාවේ නීතිය පාගා දමමින් සිදුකරන ලද අතිශයින්ම මුග්ධ ක්‍රියාව'' යයි දේශපාලන විද්‍යාඥයකු වන ෂෝයා හසන් (Zoya Hasan) පවසයි.

නඩු විභාගය

නීතිවේදියකු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විෂයෙහි ප්‍රවීණයකු වන ඒ ජේ නූරානි (AG Noorani) විසින් ඔහුගේ 'Destruction of the Babri Masjid: A National Dishonour' නම් කෘතියේ සඳහන් කරන පරිදි ඉන්දියාවේ මධ්‍යම රහස් පරීක්ෂණ බියුරෝව (CBI) විසින් සාක්ෂිකරුවන් 850කට ආසන්න පිරිසකගෙන් කරුණු විමසා ඇති අතර, හත්දහසකට අධික ලියැකියවිලි සහ සියගණනක් වාර්තා, වාර්තාකරුවන් විසින් ඉදිරිපත් කරන ලද ඡායාරූප සහ වීඩියෝ පට පරීක්ෂා කර තිබුණි.

ෆෙඩරල් ආයතනය තුළ දිගටම පැවති අදහස වුනේ එය කල්තබා සූදානම් කරන ලද විනාශයක්ය යන්නය.

BJP නායකයන්ට, දැඩි මතධාරී හින්දු කණ්ඩායම්වලට, විනාශයට හවුල්වූ ''නාඳුනන'' පුද්ගලයන්ට සහ සාක්ෂි වසං කිරීම සඳහා මාධ්‍යවේදීන්ට පහරදුන් සිදුකරන ලද අයටඑරෙහිව පනහකට ආසන්න පොලිස් පැමිණිලි විය.

අවසානයෙහි 350ක් පමණ සාක්ෂිකරුවන් උසාවිය ඉදිරියේ සාක්ෂි දුන්හ.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය,

පසුගිය අගෝස්තු මාසයේ අයෝධ්‍යාහි හින්දු කෝවිලක් ගොඩ නැගීමට අගමැති මෝදි සහභාගී වූ අවස්ථාව

හින්දු-මුස්ලිම් ආගමික විරසකය උණුසුම් වීම

2014 දී නරේන්ද්‍ර මෝදි නායකත්වය දෙන භාරතීය ජනතා පක්ෂය බලයට පත්වීමෙන් අනතුරුව ඉන්දියානු සමාජය තුළ සමාජමය සහ ආගමික බෙදීම නරක අතට හැරෙමින් තිබුණි.

බොහෝ හින්දූන්ගේ පූජනීය සත්වයකු වන ගවයා මැරීම සහ එම මස් වෙළෙඳාම සම්බන්ධයෙන් තහංචි පනවනු ලැබුණි. එම ප්‍රශ්නය මුල්කර ගනිමින් මිනිසුන් මරා දමන ලද අවස්ථා වාර්තා වූ අතර එම ඉරණමට ගොදුරුවූවන්ගෙන් වැඩිදෙනා මුස්ලිමුන් වූහ.

එසේම ඉන්දියාව විසින් මතභේදයට තුඩුදුන් නව පුරවැසි නීතියක් ඉදිරිපත් කළ අතර එය මුස්ලිම් ජනයාට බලපෑම හේතුවෙන් ඊට එරෙහිව රටපුරාම මෙන් විරෝධතා ව්‍යාපාර දියත් වන්නට විය.

ඉන්දියානු ප්‍රජාව අතර ජීවත්වෙන මුස්ලිම් ජනයා අසල්වැසි රටවලින් ඉන්දියාවට "රිංගාගත්" ජන කොටසක් ලෙස හැඳින්වීමට අවසර ලැබෙන නව පුරවැසි නීතිය ප්‍රකාශයට පත්කරනු ලැබීමත් සමඟ බොහෝ මුස්ලිමුන් බියපත් වුනේ එම නීතිය නිසා තමන් ''රටක් නැති ජනකොටසක්'' බවට පත්වනු ඇත යන සැකයෙනි.

එහෙත් අගමැති මෝදි කියා තිබුනේ එම නව "නීතිය හින්දු,මුස්ලිම්, සික්, ජයින, කිතුනු සහ බෞද්ධ ඉන්දියානු පුරවැසියන්ට බල නොපාන" බවකි.

කියවන්න: