ඉන්දීය ජනරජ දිනයේ ගොවීහු දිල්ලි අගනුවරට කඩා වදිති - ඉන්දීය ගොවීන් කැරලි ගසන්නේ ඇයි?

india .farmers

ඡායාරූප මූලාශ්‍රය, PTI

ඡායාරූප ශීර්ෂ වැකිය,

ඉන්දීය පොලිසිය ගොවීන්ගේ පෙළපාලියට කඳුළුගෑස් එල්ල කළ අවස්ථාව

ඉන්දියානු ආණ්ඩුවේ කෘෂිකාර්මික ප්‍රතිසංස්කරණ යෝජනාවන්ට එරෙහිව සටන්වැදී සිටින ගොවි ජනතාව, එරට ජනරජ සැමරුම් ආරම්භ වෙද්දී ට්‍රැක්ටර් පෙළපාලියකින් දිල්ලි අගනුවරට ඇතුල්වීමට උත්සාහ කිරීමත් සමඟ පොලිසිය සහ ගොවීන් අතර ගැටුමක් ඇතිවිය..

ගොවීන්ගේ ප්‍රයත්නය වූයේමාර්ග බාධක බිඳහෙලමින් අගනුවරට ඇතුළුවීමය. එහෙත් එම අවස්ථාවේ පොලිසිය විසින් ගොවීන් ඉලක්ක කර කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරනු ලැබිණි.

ජනරජ දිනය උදාවෙත්ම ගොවීන් විශාල පිරිසක් ට්‍රැක්ටර්වලින් ගමන්ගනිමින් සිටියදී තවත් ගොවීහු පාගමනින් පෙළපාලියෙන් දිල්ලිය බලා ගමන් ගනිමින් සිටියහ.

මාර්ග බාධක නිසා බොහෝ ගොවීන් කලින් සැලසුම් කරන ලද මාවත්වලින් ඉවත්ව වෙනත් මාර්ග ඔස්සේ ගමන් ගනිමින් සිටියදී පොලිසිය සමඟ ගැටුම් ආරම්භ වී ඇත.

නව ප්‍රතිසංස්කරණ යෝජනා ඉදිරිපත් කිරීමේ අරමුණ කෘෂිකර්මාන්තය 'ලිබරල්කරණය' යයි ආණ්ඩුව ප්‍රකාශ කළත් එමගින් සිය අදායම් අහිමිවනු ඇතැයි ගොවීහු කියා සිටිති.

ආණ්ඩුවේ ප්‍රතිසංස්කරණ යෝජනාවලට විරෝධය පළකරන ගොවි නියෝජිතයන දස දහස් ගණනක් පසුගිය වසරේ නොවැම්බර් මාසයේ පටන් දිල්ලි අගනුවර සීමාවේ වර්ජන ව්‍යාපාරයක නිරතවෙමින් සිටියහ. ඔවුන්ගේ ඉල්ලීම වී තිබුණේ ආණ්ඩුවේ ප්‍රතිසංස්කරණ යෝජනා හකුලාගන්නා ලෙසය. එම යෝජනා තාවකාලිකව නතරකිරීම සඳහා ඉන්දීය ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් ද ගොවීන් විසින් ප්‍රතික්ෂේප කරන ලද බවක් වාර්තා විය.

ඡායාරූප මූලාශ්‍රය, PTI

ඡායාරූප ශීර්ෂ වැකිය,

තමන් පාර්ලිමේන්තුව දෙසට ගමන් ගනිමින් සිටි බව ගොවීහු පවසති

අඟහරුවාදාට (ජනවාරි 26) යෙදුණු ඉන්දීය ජනරජ දිනයෙහි, ගොවීන් විසින් යෝජනා කරන ලද විරෝධතා රැළියට අවසරදීමට සාකච්ඡා වට කීපයකින් අනතුරුව පොලිසිය එකඟව තිබුණි. එම අවසරය දී තිබුණේ දිල්ලි අගනුවර මධ්‍යයේ පැවැත්වෙන වාර්ෂික ජනරජ සමරු උත්සවයට බාධා නොකිරීමේ පොරොන්දුව අනුවය.

පොලිසිය ගොවීන් සඳහා මාර්ග කීපයක් වෙන්කර තිබූ අතර ඒවා වැඩි ප්‍රමාණය අගනුවර සීමාවේ මහාමාර්ග විය.

ගොවීන් පිවිසුම් මාර්ග කීපයක දී පොලිසිය විසින් පනවන ලද රෙගුලාසි අනුව කටයුතු කරන ලද බවක් පෙනීගියත්, අගනුවර පිවිසුම් කලාප හයෙන් තුනක් වන ඝාෂිපූර්,සින්ඝු,සහ ටික්රි යන ස්ථානයන්හි දී ගොවි උද්ඝෝෂකයෝ පොලිස් බාධක බිඳ හෙලූහ.

ඝාෂිපූර් පිවිසුම් දොරටුවෙන් ඇතුල්වූ ගොවි පෙළපාලිය පාර්ලිමේන්තුව පිහිටි අගනුවර මධ්‍ය කලාපය දෙසට ගමන් ගනිමින් සිටියහ,

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

''මෝඩි මහත්මයාට මේ කළු යෝජනා හකුලාගන්න වෙන එක සහතිකයි!'' බීබීසී සමග අදහස් දැක්වූ එක ගොවි විරෝධතාවාදියෙක් කියා සිටියේය.

ගොවීන් මධ්‍යම දිල්ලිය කරා යන අතරවාරයේ ITO මෙට්‍රෝ දුම්රිය මංසන්ධියේ දී පොලිසිය සමඟ ගැටෙන ආකාරය සහ ඔවුන්ට කඳුළුගෑස් සහ බැටන් ප්‍රහාර එල්ල කෙරෙන ආකාරය පින්තූර මගින් පෙන්නුම් කෙරෙයි.

ට්‍රැක්ටර් රථවල නැගුණු ගොවීන් පොලිස් භටයන් සිතාමතාම යටකරමින් පෙරට යාමට උත්සාහ කරන අතරවාරයේ දෙපාර්ශ්වයටම තුවාල සිදුව ඇති බව ඉන්දීය මාධ්‍ය මගින් වාර්තාකරනු ලැබුණි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය,

සිය ගණනක් කාන්තාවන් ද ගොවි පෙළපාලිවලට එක්වී සිටියහ

මෝඩි ගේ යෝජනා මොනවාද?

ඉන්දීය ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන ලද ප්‍රතිසංස්කරණ යෝජනා මගින් සිදු කෙරෙන්නේ කෘෂිකර්මාන්තය තුළට ''නිදහස් වෙළෙඳපොළ ආර්ථිකය'' හඳුන්වා දීමකි. එමගින් සිය නිෂ්පාදන වෙළෙඳාම,මිල නියමකිරීම සහ ගබඩාකිරීම සඳහා මෙතෙක් ගොවීන් සඳහා පැවැති නීතියේ ලිහිල්වීමක් සිදුවෙයි. ඒ සමඟ නිදහස් වෙළෙඳ ආර්ථිකයට හසු නොවීම සඳහා ගොවීන් සතු රැකවරණය අහිමිවනු ඇත.

නව යෝජනා මගින් සිදුකෙරෙන තවත් විශාල වෙනසක් වන්නේ,ගොවීන්ට ඔවුන්ගේ නිෂ්පාදන වෙළෙඳපොළේ මිල ගණන් අනුව පෞද්ගලික වෙළෙඳුන්ට, කෘෂිකාර්මික ව්‍යාපාරිකයන්ට සහ සුපිරි වෙළෙඳපොළ ජාලයන්ට විකිණීමට සිදුවීමය.

දැනට ඉන්දියාවේ 90%කට අධික ගොවි ජනයා සිය නිෂ්පාදන පොදු වෙළෙඳපොළවල විකුණා ගනිති. ආණ්ඩුවේ සහතික මිලට සිය නිෂ්පාදන අලෙවිකර ගත හැකිවන්නේ ඔවුන්ගෙන් 6%කට පමණි.

එවැනි වාණිජ ක්‍රියාවලියක් මගින් අවසානයේදී තමන්ට ආණ්ඩුව විසින් නිර්දේශ කරනු ලබන තොග මිල ගණන්වලට සිය නිෂ්පාදන විකිණීමට සිදුවිය හැකි අතර තමන්ට වෙනත් විකල්ප තෝරාගැනීමක් ඉතිරි නොවිය හැකි බවට ගොවීහු මැසිවිලි පළකරති..

නව යෝජනා නීතිගත කරනු ලැබුවහොත්, පෞද්ගලික ගැනුම්කරුවකු විසින් ඉදිරිපත් කරනු ලබන මිලගණන්වලට එකඟ නොවන ගොවියකුට නැවත පොදු වෙළෙඳපොළ කරා යාමට හැකියාවක් නැත. එසේම සාකච්ඡා අතරමැද හෙට්ටු කිරීමටත් අවස්ථාවක් නැත.

මාස කීපයක කාලයක් උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරතවෙමින් සිටින ගොවීන්ගෙන් වැඩිදෙනා පංජාබ් සහ හර්යානා ප්‍රාන්තවලට අයත් ගොවීහු වෙති. ඒවා ප්‍රධාන වශයෙන් වී සහ වීට් ගොවිතැන සිදුකෙරෙන ප්‍රධාන ඉන්දීය ප්‍රාන්ත දෙකයි. එම ගොවීන් සිය නිෂ්පාදන පොදු වෙළෙඳපොළේ සහතික මිලකට සිය නිෂ්පාදන අලෙවිකර ගනිති.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය,

දැන් පවතින තත්ත්වය වන්නේ ගොවීන් පොදු වෙළෙඳපොළේ දී සහතික මිලකට සිය නිෂ්පාදන අලෙවිකර ගැනීමය

යෝජිත නීති අවශ්‍ය ද?

ඉන්දියාවේ කෘෂිකර්මාන්තය ප්‍රතිසංස්කරණය විය යුතුය යන්න සම්බන්ධයෙන් බොහෝ ආර්ථික විද්‍යාඥයන්ගේ සහ විශේෂඥයන්ගේ එකඟතාවක් ඇත.

එහෙත් ආණ්ඩුව විවේචනය කරන්නන් පෙන්වා දෙන්නේ උපදේශාත්මක ක්‍රියාදාමය අනුගමනය කිරීමට බලධාරීන් අපොහොසත්ව ඇත. නීතිය අනුමත කරගැනීමට පෙර වෘත්තීය සමිතිවල විශ්වාසය දිනාගැනීමට අසමත් වූ එක් කරුණක් නම්, පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ කඩිනමින් ඉදිරිපත් කරමින් ඡන්දයකට ඉදිරිපත් කිරීමත් පාර්ලිමේන්තු විවාදය සඳහා ප්‍රමාණවත් කාලයක් නොදීමෙන් විපක්ෂය කෝපයට පත් කිරීමය. ප්‍රාන්ත ආණ්ඩුවලටත් අවස්ථාවක් නොලැබුණි.

කෘෂිකර්මාන්තය ඉන්දීය ආර්ථිකයේ ප්‍රධාන දහරාවක් වන බව සැලකිල්ලට ගැනීමට ප්‍රතිසංස්කරණ යෝජනාකරුවන් අසමත්ව ඇත යන්න විශේෂඥයන් විසින් පෙන්වා දෙනු ලබන තවත් කරුණකි.

ඉන්දියානු ප්‍රජාවෙන් හරි අඩකට වඩා කෘෂි ගොවිපලවල වැඩ කරන නමුත් එමගින් ලබන ඵලය රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් හයෙන් එකක් පමණ වෙතැයි ඇස්තමේන්තු කෙරෙයි.

එම කෘෂි නිෂ්පාදන ඵලදායීතාව පහත වැටෙමින් පවතින අතර නවීකරණයේ ඌනතාව හේතුවෙන් කෘෂිකාර්මික ආදායම දශක ගණනාවක් තිස්සේ හැකිලෙමින් ඇත.

මෙම තත්ත්වය යටතේ ඉන්දීය ගොවීන්ගේ බෝග නිෂ්පාදන විසිතුනකට අවම මිලක් නියමකරනු ලැබ ඇති අතර, සහන දීමනා, අයබදුවලින් නිදහස් කරනු ලැබීම සහ බෝගවලට රක්‍ෂණයක් ලබාදීම ආදිය දැනට සිදුකෙරෙයි.

''එම මාවතින් අප ඉවත්කෙරෙන අතර මහා ව්‍යාපාරිකයන් සමඟ ගනුදෙනු කරන ලෙස ආණ්ඩුව අපට කියනවා. නමුත් පළමු පියවරේදීම, කොහෙත්ම අපි එවැන්නක් ඉල්ලා සිටියේ නැහැ. ඇයි ,ආණ්ඩුව අපට මේ විධියට සලකන්නේ?'' ඉන්දීය ගොවියකු වන රකේෂ් ව්‍යාස් පසුගිය දිනක බීබීසී සමග අදහස් දක්වමින් ප්‍රශ්න කළේය.

දශක ගණනාවක් දෙමින් තිබුණ සහන ඉවත්කරනු ලැබීම ගොවීන් සමඟ සිදුකරනු ලබන සංවාදයක් තුළින් සිදුවියයුතු බවත්,එසේ නැත්නම්, බිය සහ සැකය හේතුවෙන් අදාළ ක්‍රියාවලිය නියමිත මාවතින් පිටපැනීමට ඉඩකඩ ඇතිබවත් විශේෂඥයෝ පෙන්වා දෙති.

ඡායාරූප මූලාශ්‍රය, PTI

ඡායාරූප ශීර්ෂ වැකිය,

පසුගිය විරෝධතා ව්‍යාපාරයට හවුල්ව සිටි ගොවියකුට පොලිස් භටයකු පහරදෙන මෙම පින්තූරය අන්තර්ජාලයෙහි විශාල වශයෙන් හුවමාරුවෙමින් තිබුණි

කියවන්න;

.