අවුං සාන් සූ චී: මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදයේ සළකුණක ශෝභාවෙන් ගිලිහුණේ කෙසේද?

Cutout of Myanmar's Aung San Suu Kyi against a backdrop of soldiers standing guard on a blockaded road to Myanmar's parliament in Naypyidaw on February 1, 2021

ඡායාරූප මූලාශ්‍රය, Getty Images/BBC

ඡායාරූප ශීර්ෂ වැකිය,

පාර්ලිමේන්තු රැස්වීමට පැය කිහිපයකට පෙර අවුං සාන් සූ චී හා තවත් දේශපානඥයින් හමුදාවේ අත්අඩංගුවට පත්වූහ

පෙබරවාරි 1 වෙනිදා අලුයම් කාලයේදී, මියන්මාරයේ හමුදාව විසින් රටේ පාලනය සියතට ගැනීමට පෙර එරට නිල නොලත් නායිකාව වූ අවුං සාන් සූ චී සහ තවත් දේශපාලනඥයින් ගණනාවක් රඳවා ගනු ලැබූහ.

පසුගිය මැතිවරණය සම්බන්ධයෙන් හටගත් මතභේදයෙන් පසු සූ චී ගේ සිවිල් ආණ්ඩුව හා හමුදාව අතර ඇතිවූ උණුසුම් තත්ත්වයෙන් අනතුරුව මෙම කුමන්ත්‍රණය මතුවිය.

පසුගිය නොවැම්බරයේ පැවති මැතිවරණයේදී, අවුං සාන් සූ චී ගේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගය (NLD) ආණ්ඩුවක් පිහිටුවීමට තරම් ප්‍රමාණවත් ආසන සංඛ්‍යාවක් දිනාගත්තේය.

මැතිවරණයෙන් අනතුරුව සඳුදා (පෙබ. 01) පළමු පාර්ලිමේන්තු සැසිය පැවැත්වීමට ආසන්නයේදී හමුදාව කියා සිටියේ සිදුවූ "මැතිවරණ වංචා" හේතුවෙන්, සේනාධිනායක මින් අවුං හ්ලෙයින්ග් වෙත බලය පවරන බවකි.

වසරක කාලයක් සඳහා හදිසි තත්ත්වය ප්‍රකාශයට පත් කළ බව කී හමුදා රූපවාහිනිය, බලය මාරු කර ඇති බවද සඳහන් කළේය. "මෙය පිළිගන්න එපා" යැයි සිය ආධාරකරුවන්ට දන්වා සිටි අවුං සාන් සූ චී, "කුමන්ත්‍රණයට එරෙහිව විරෝධය පාන්න" යැයි ද ඉල්ලා සිටියාය.

2011 වසරේදී ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ඇරඹෙන තෙක් ම, බුරුමය ලෙස ද හඳුන්වන ලද මියන්මාරය පාලනය කළේ හමුදාව ය.

දශක ගණනාවකට පසු 2015 වසරේදී පළමුවරට විවෘත මැතිවරණයක් පැවැත්වුණු අතර එහිදී අවුං සාන් සූ චී හට විශාල ජයග්‍රහණයක් හිමිවිණි.

සිය රටේ බෞද්ධ බහුතර ජනතාව අතර ඇය අතිශය ජනප්‍රියත්වයට පත්ව සිටින්නීය.

නමුත් බොහෝ දෙනා බලාපොරොත්තු නොවූ පරිදි, රෝහින්ග්‍යා අර්බුදයට දැක්වූ ප්‍රතිචාරය හමුවේ ඇය ජාත්‍යන්තර වශයෙන් කඩා වැටීමකට ලක් වූවාය.

බලය තෙක් ආ ගමන

1989 සහ 2010 අතර අවුං සාන් සූ චී වසර 15 ට ආසන්න කාලයක් රඳවා තබනු ලැබිණි.

නිවාස අඩස්සියේ සිටින අතරේදී ම 1991 දී ඇය නොබෙල් සාම ත්‍යාගයෙන් පුදනු ලැබූ අතර "බලය නැත්තන්ගේ බලය ගැන විශිෂ්ට උදාහරණයක්" ලෙස ද ඇය උත්කර්ෂයට නංවනු ලැබිණි.

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය,

ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ඇති කිරීමට ප්‍රතිචාර ලෙස, මියන්මාරයට එරෙහි සම්බාධක ඉවත්කිරීමට ඔබාමා පාලනය පියවර ගත්තේය

එවක හමුදා පාලනය යටතේ වූ මියන්මාරයට ප්‍රජාතන්ත්‍රවාදය ගෙන ඒම සඳහා ගෙනගිය පුද්ගලික අරගලය හේතුවෙන් පීඩනය අභිමුව සාමකාමී ප්‍රතිරෝධය පිළිබඳ ජාත්‍යන්තර සංකේතයක් බවට ඇය පත්කරනු ලැබිණි.

වසර 25 ක් තුළ පළමුවරට පැවති විවෘත මැතිවරණ තරගයේදී ප්‍රජාතන්ත්‍රවාය සඳහා වූ ජාතික ලීගයට (NLD) නායකත්වය දෙමින් 2015 නොවැම්බර් මාසයේදී එය දැවැන්ත ජයග්‍රහණයක් කරා ගෙන යාමට අවුං සාන් සූ චී ට හැකිවූවාය.

සිය දරුවන් විදේශ රටක පුරවැසියන් වන බැවින් අවුං සාන් සූ චී මියන්මාරයේ ජනාධිපති ධුරය දැරීම එරට ව්‍යවස්ථාව විසින් අහුරාලනු ලැබිණි. එනමුත් දැනට 75 වෙනි වියේ පසුවන සූ චී ප්‍රකටව පෙනුනේ මියන්මාරයේ නිල නොලත් නායිකාව ලෙසිනි.

රාජ්‍ය අනුශාසක යන නිල නාමය ඇයට හිමි වූ අතර ජනාධිපති වින් ම්යින්ට් ඇගේ සමීප සහයකයෙකු විය.

"මට උදාසීනව ඉන්න බැරිවුණා"

සූ චී, මියන්මාරයට නිදහස ගෙනෙන්නට ක්‍රියා කළ වීරයකු වූ ජෙනරල් අවුං සාන් ගේ දියණිය ය.

ඇය දෙහැවිරිදි ව සිටියදී ජෙනරල් අවුං සාන් ඝාතනයට ලක්වූයේ, 1948 දී බ්‍රිතාන්‍ය යටත්විජිත පාලනයෙන් මියන්මාරය නිදහස ලැබීමට ආසන්නයේ සිටියදී ය.

මියන්මාරයේ තානාපතිනිය ලෙස පත්කෙරුණු සිය මව සමග 1960 දී අවුං සාන් සූ චී ඉන්දියාව බලා පිටත්ව ගියාය.

වසර හතරක ඇවෑමෙන් එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය බලා ගොස් දර්ශනය, දේශපාලනය හා ආර්ථික විද්‍යාව උගත් ඇයට එහිදී ම සිය අනාගත සැමියා වන මයිකල් ඒරිස් මුණගැසිණ.

ජපානයේ හා භූතානයේ රැකියාවේ යෙදෙමින් දිවිගෙවූ ඇය පසුව සිය දරු දෙදෙනා, ඇලෙක්සැන්ඩර් හා කිම් උස්මහත් කිරීම වෙනුවෙන් එක්සත් රාජධානියේ නතර වූවාය.

ඡායාරූප මූලාශ්‍රය, Aris Family Collection/Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය,

සැමියා මයිකල් ඒරිස්, පුතු ඇලෙක්සැන්ඩර් සමගින් අවුං සාන් සූ චී 1973 වසරේ ලන්ඩනයේදී

අසාධ්‍යව හුන් සිය මව රැක බලා ගැනීම සඳහා 1988 දී ඇය රැන්ගුන් (දැන් හැඳින්වෙන්නේ යැන්ගොන් නමිනි) වෙත පැමිණෙන විට මියන්මාරය පැවතියේ විශාල දේශපාලන කැළඹීමක් මැද ය.

ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ඉල්ලමින් දහස් ගණන් ශිෂ්‍යයින්, කාර්යාල සේවකයින් මෙන්ම භික්ෂූහු ද වීථි බැස සිටියහ.

"මේ සියල්ල වෙමින් තිබෙද්දී මගේ පියාගේ දියණිය වශයෙන් මට උදාසීනව ඉන්න පුළුවන් වුණේ නැහැ," යි 1988 අගෝස්තු 26 වෙනිදා රැන්ගුන් හි කළ කතාවකදී සූ චී සඳහන් කළාය. එවක හමුදා ඒකාධිපති ජෙනරල් නේ වින් ට එරෙහි කැරැල්ලට ඇය නායකත්වය දුන්නාය.

නිවාස අඩස්සිය

ඉන්දියාවේ මහත්මා ගාන්ධි මෙන්ම ඇමෙරිකාවේ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ නායක මාර්ටින් ලූතර් කිං ගෙනගිය අවිහිංසාවාදී වැඩපිළිවෙලින් උත්තේජනය ලද අවුං සාන් සූ චී රටපුරා සංචාරය කරමින් රැළි සංවිධානය කළ අතර සාමකාමී ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ මෙන්ම නිදහස් මැතිවරණ වෙනුවෙන් හඬ නැගුවාය.

එහෙත්, 1988 සැප්තැම්බර් 18 වෙනිදා කුමන්ත්‍රණයකින් බලය අල්ලා ගත් හමුදාව, එම උද්ඝෝෂණ කෲර ලෙස මැඩපැවැත්වූ අතර ඊට පසු වසරේදී සූ චී නිවාස අඩස්සියට පත් කළේය.

හමුදා ආණ්ඩුව 1990 දී ජාතික මැතිවරණයක් කැඳවුවද, ඉන් ජයග්‍රහණය කළ සූ චී ගේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ලීගයට පාලනය පැවරීම මිලිටරි ජුන්ටාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබිණි.

සය වසරක කාලයක් රැන්ගුන් හි නිවාස අඩස්සියේ රඳවනු ලැබූ සූ චී 1995 දී නිදහස් කෙරිණි.

එහෙත්, ඇයට පනවා තිබූ සංචරණ තහනම නොතකමින් මණ්ඩලේ නගරය කරා යාමට දරන ලද උත්සාහය හේතුවෙන් 2000 වසරේ සැප්තැම්බර් මාසයේදී අවුං සාන් සූ චී යළිත් නිවාස අඩස්සියට පත් කරනු ලැබීය.

2002 වසරේදී කොන්දේසි විරහිතව ඇය නිදහස් කරනු ලැබුව ද, ඉන් යන්තමින් වසරක් පමණ ඉකුත්ව යද්දී යළිත් සිරගත කෙරුණේ ඇගේ ආධාරකරුවන් හා ආණ්ඩුවේ සහය ලද කලහකාරීන් අතර ගැටුමක් හටගැනීමෙන් අනතුරුව ය.

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය,

2010 වසරේදී නිවාස අඩස්සියෙන් නිදහස් වූ අවුං සාන් සූ චී හට සුබ පැතීමට විශාල පිරිසක් රොක්වූහ

පසුව නිවස වෙත යාමට ඉඩ දුන්න ද නැවතත් නිවාස අඩස්සියට පත් කෙරිණි.

එම කාලය තුළ සිය එන්එල්ඩී පක්ෂ නිලධාරීන් මෙන්ම තෝරාගත් රාජ්‍ය තාන්ත්‍රිකයින් මුණගැසීමට ඇයට ඉඩ ලැබුණද මුල් වසර ගණනාව තුළ ඇය බොහෝ විට පසුවූයේ හුදකලා සිරගත කිරීමක ය. පිළිකාවක් හේතුවෙන් සූ චී ගේ සැමියා 1999 මාර්තු මාසයේ මිය ගිය අතර ඊට පෙර ඔහු හෝ පුතුන් දෙදෙනා දැකීමට යාමට ඇයට ඉඩ නොදිණි.

ඉතා අසාධ්‍යව සිටියදී සැමියා දැකීම සඳහා යාමට සූ චී හට ඉඩ සැලසීමට හමුදා බලධාරීන් විසින් ඉඩ සලසනු ලැබුවද ඇය එම අවස්ථාව ප්‍රතික්ෂේප කළේ යළි සිය රට පැමිණීමට තමන්ට ඉඩ නොදෙනු ඇතැයි මතුවූ බිය හේතුවෙනි.

යළි දේශපාලනයට පිවිසීම

දශක දෙකකින් අනතුරුව පළමුවරට 2010 නොවැම්බර් 7 වෙනිදා පැවති මියන්මාරයේ පළමු මැතිවරණයෙන් සූ චී වෙන්කොට තැබුණ ද දින හයකට පසු ඇය නිවාස අඩස්සියෙන් මුදා හැරීය.

අලුත් ආණ්ඩුව ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමයකට පිවිසෙද්දී සූ චී හා ඔහුගේ පක්ෂය යළි දේශපාලනයට පිවිසුණහ.

2012 වසරේ අප්‍රේල් මස පැවති අතුරු මැතිවරණයේදී තරග කළ ආසන 45න් 43 ක ජයග්‍රහණය දිනාගත්තේ ඔවුන් වෙත පළවූ සහය පිළිබඳ ප්‍රබල ප්‍රකාශනයක් ලෙසිනි. එවර පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස දිවුරුම් දුන් සූ චී විපක්ෂ නායිකාව ද වූවාය.

ඉන් පසු එළඹී මැයි මාසයේදී, වසර 24 ට පසු ඇය මියන්මාරයෙන් පිටත් වූයේ එරට නව නායකයින් තමන්ට යළි පැමිණීමට ඉඩ දෙතැයි පෙනෙන්නට වූ විශ්වාසය පිළිබඳ ලකුණක් ලෙසිනි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය,

2015 දී එන්එල්ඩී පක්ෂය ජයග්‍රහණය දිනාගත්තේය

රෝහින්ග්‍යා අර්බුදය

මියන්මාරයේ රාජ්‍ය අනුශාසක බවට පත්වූ තැන් සිට, රටේ සුළුතර මුස්ලිම් රෝහින්ග්‍යා ජනතාව සම්බන්ධයෙන් ගත් පියවර තුළින් ඇයගේ නායකත්වය අර්ථ නිරුපණය කෙරෙන්නට විය.

රඛායින් ප්‍රාන්තයේ පොලිස් ස්ථානවලට දරුණු ප්‍රහාර එල්ලවීමෙන් පසු ක්‍රියාත්මක කෙරුණු හමුදා මෙහෙයුම් මධ්‍යයේ සිය දහස් ගණනක රෝහින්ග්‍යාවරුන් 2017 දී අසල්වැසි බංග්ලාදේශයට පලාගියහ.

ජනසංහාරයක් සම්බන්ධයෙන් යුක්තිය පිළිබඳ ජාත්‍යන්තර අධිකරණය හමුවේ ඇති නඩු හබයකට මේ වනවිට මියන්මාරය මුහුණ දී සිටින අතර මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ විමර්ශනයකට ද ලක්ව සිටී.

තවමත් බලසම්පන්න හමුදාව හෙළාදැකීම ප්‍රතික්ෂේප කරමින් ස්ත්‍රීන්ට එරෙහි ලිංගික හිංසනය හා ජනසංහාරයක් විය හැකි ඝාතන නැවැත්වීමට කිසිවක් නොකිරීම සම්බන්ධයෙන් සූ චී ඇයගේ ජාත්‍යන්තර ආධාරකරුවන්ගේ චෝදනාවට ලක්ව සිටින්නීය.

ඇය, සංකීර්ණ ඉතිහාසයක් සහිත බහු වාර්ගික රටක් පාලනයට උත්සාහ දරන ප්‍රායෝගික දේශපාලනඥයකු ලෙස මුලදී සුළු පිරිසක් තර්ක කළහ.

නමුත් හමුදාවේ ක්‍රියා සම්බන්ධයෙන්, පසුගිය වසරේදී හේග් නුවර පිහිටි යුක්තිය පිළිබඳ ජාත්‍යන්තර අධිකරණය හමුවේ සිය ආරක්ෂාව පතා ඇය ගත් පියවර, ජාත්‍යන්තර වශයෙන් ඉතිරිව තිබූ සුළු කීර්තිය මකා දමන සුළු අලුත් හැරවුම් ලක්ෂ්‍යයක් සේ පෙනෙන්නට විය.

කෙසේවෙතත්, සිය රට තුළ, රෝහින්ග්‍යාවරුන් පිළිබඳ සානුකම්පිත නොවූ බෞද්ධ බහුතරය අතර ජනප්‍රියත්වය රඳවාගෙන සිටින සූ චී "ආර්යාව" ලෙස හැඳින්වේ.

ඇනහිටි ප්‍රතිසංස්කරණ

සූ චී මෙන්ම ඇගේ එන්එල්ඩී ආණ්ඩුව බලයට පැමිණි තැන් සිට යටත්විජිත සමයේ නීති භාවිත කරමින් ජනමාධ්‍යවේදීන් මෙන්ම ක්‍රියාකාරීන් මර්දනය කිරීම හේතුවෙන් දැඩි විවේචනයකට ලක්ව සිටියහ.

ඇතැම් ක්ෂේත්‍රවල ප්‍රගතියක් දක්නට ලැබුණ ද පාර්ලිමේන්තු ආසනවලින් හතරෙන් එකක හිමිකාරීත්වය මෙන්ම ආරක්ෂක, ස්වදේශ කටයුතු මෙන්ම දේශසීමා කටයුතු ඇතුළු ප්‍රධාන අමාත්‍යංශවල පාලනය තවදුරටත් හමුදාව සතුකරගෙන සිටී.

සිය කැබිනට් මණ්ඩලයේ සිටින ජෙනරල්වරුන් "සිත්ගන්නා සුලු" බව 2018 අගෝස්තු මාසයේදී සූ චී පැවසුවාය.

විශ්ලේෂකයින් පෙන්වාදෙන ආකාරයට, මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී සංක්‍රාන්තිය ඇනහිට ඇති සෙයකි.

"අලුත් ම හමුදා ක්‍රියාමාර්ගයේ නොසැලකිලිමත් බවක් පෙනෙනවා. ඒ වගේම එය මියන්මාරය උපද්‍රව සහිත මාවතකට යොමු කරනවා," යැයි බීබීසී පුවත් හි අග්නිදිග ආසියාවේ වාර්තාකරු ජොනතන් හෙඩ් පවසයි.

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය,

හමුදා සෙබළු අගනුවර මාර්ග අවහිර කළහ

මියන්මාරය මේවන විට අග්නිදිග ආසියාවේ කෝවිඩ්-19 වසංගතයේ දරුණු ම පැතිරීමකට මුහුණ දී සිටින්නේ රට අගුලු ලෑමේ පියවර හමුවේ ජීවිකාවන් කඩා වැටීමකට ලක්ව ඇති අතරේ දැනටමත් දුර්වල අඩියකට වැටී ඇති සෞඛ්‍ය සේවා පද්ධතිය මත අලුත් පීඩනයක් එල්ල කරමිනි.

නමුත් සූ චී තවමත් ජනප්‍රියය. නිරීක්ෂණ සංවිධානයක් වන විශ්වාසදායී මැතිවරණ සඳහා වූ ජනතා සන්ධානය විසින් 2020 වසරේ කරන ලද සමීක්ෂණයකට අනුව 79% ක පිරිසක් ඇය වෙත විශ්වාසය තබා සිටිති. එය පසුගිය වසරට වඩා 9% ක ඉහළ යාමකි.

බීබීසී සමග කතා කළ හිටපු ඇමෙරිකානු තානාපති ඩෙරෙක් මිචෙල් මෙසේ කීය. "අවුං සාන් සූ චී ගේ කතාව ඇගේ මෙන්ම අපගේ ද කතාවයි. සමහරවිට ඇය වෙනස්වෙලා නැතිව ඇති. ඇය තවමත් ඒ වගේම වෙන්නට පුළුවන්. ඇය කවුද යන්නට අදාළ සම්පූර්ණ පැටලිලි සහිත බව ගැන අප දැන සිටියේ නැහැ."

"මනුෂ්‍යයා ඉක්මවා යන සංකේත සේයාවක් පුද්ගලයින්ට දායාද නොකිරීමට තරම් අප කල්පනාකාරී විය යුතුයි"