මියන්මාරය: ලේ වැකි ඉරිදාවකින් පසු තවත් ප්‍රදේශ කීපයකට යුද නීතිය; මන්ත්‍රීවරු 'විප්ලවයක්' ප්‍රකාශයට පත් කරති

හමුදා කුමන්ත්‍රණයට එරෙහිව නැගීසිටින විරෝධතාවාදීන් වැඩිම සංඛ්‍යාවක් මරාදමන ලද දිනය ඉරිදා (මාර්තු 14) විය

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය,

හමුදා කුමන්ත්‍රණයට එරෙහිව නැගී සිටින විරෝධතාවාදීන් වැඩිම සංඛ්‍යාවක් මරාදමන ලද දිනය ඉරිදා (මාර්තු 14) විය

කුමන්ත්‍රණයක් මගින් පසුගිය පෙබරවාරි මාසයේ මියන්මාරයේ බලය අල්ලාගත් යුද හමුදා ජුන්ටාව ඔවුන්ගේ පාලනයට එරෙහි විරෝධතා මර්දනය කෙරුණ මිනිස් ඝාතක දවසකින් පසු රට තුළ තවත් දිස්ත්‍රික්ක කීපයක යුද නීතිය ප්‍රකාශයට පත්කරනු ලැබ ඇත.

සඳුදා දිනය වනවිට අඩුතරමින් විරෝධතාවාදීන් පනස් දෙනකුවත් මරා දමනු ලැබ ඇතැයි වාර්තා වූ අතර ඉරිදා (මාර්තු 14) පොලිස් මර්දනයේ දී ප්‍රදේශ කීපයක විරෝධතාවාදීන් ඉලක්ක කරගනිමින් වෙඩි තැබීම් සිදුකරනු ලැබ තිබුණි. මරණවලින් වැඩි ප්‍රමාණය වාර්තාවන්නේ යැන්ගුන් (Yangon) ප්‍රදේශයෙනි.

මියන්මාරයේ තත්ත්වය දරුණු අතට හැරුණේ යුදහමුදා කුමන්ත්‍රණය මගින් බලයෙන් ඉවත්කරන ලද අවුන් සාං සූ චී අධිකරණය ඉදිරියට පැමිණවීමේ සැලසුමක් පැවති අතරවාරයේය. එහෙත් රටතුළ පවතින තත්ත්වය හේතුවෙන් එම අධිකරණ ක්‍රියාවලිය කල්තබනු ලැබ ඇත.

මියන්මාර ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයේ විරෝධතාවාදීන් කියාසිටින්නේ පසුගිය නොවැම්බර් මාසයේ පැවති මහ මැතිවරණයෙන් මහා ජයග්‍රහණයක් ලද මියන්මාර ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ලීගයේ (NLD ) නායිකා අවුන් සාං සූ චී නිදහස් කරන ලෙසය. පෙබරවාරි 01 යුදහමුදා කුමන්ත්‍රණයෙන් අනතුරුව ඇය සිරකර තබාසිටින ස්ථානයක් දැනගන්නට නැත.

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය,

පසුගිය නොවැම්බර් මහ මැතිවරණයෙන් අවුන් සාං සූ චී ගේ පක්ෂය විශිෂ්ට ජයක් ලද බව ඇයගේ ආධාරකරුවෝ කියාසිටිති

අවුන් සාං සූ චී ට එරෙහිව යුදහමුදා පාලනය නගන චෝදනා ගොතනලද ව්‍යාජ ඒවායයි ඇයගේ ආධාරකරුවෝ කියාසිටිති.

මැතිවරණ දූෂණ සිදුකරන ලද බවට චෝදනා කරමින් යුද හමුදා ජුන්ටාව විසින් මියන්මාර ප්‍රජාතන්ත්‍රවාදී ලීගයේ නායකයන් රැසක් සිරගත කරනු ලැබ ඇත. එහෙත් එම චෝදනා මෙතෙක් තහවුරු කරනු ලැබ නැත.

යුද හමුදා පාලනය ඉරිදා දිනයේ දී මුලින් යුදනීතිය ප්‍රකාශයට පත්කරන ලද්දේ රටේ විශාලතම නගරය වන 'යැන්ගුන්' හි කලාප දෙකකට බලපැවැත්වෙන පරිදිය. එම පියවර ගන්නා ලද්දේ චීන ව්‍යාපාරික ආයතනවලට එල්ල වූ ප්‍රහාරවලින් අනතුරුවය.

මේ අතර සඳුදා දිනයේ දී 'යැන්ගුන්' සහ 'මණ්ඩලේ' නගරවල තවත් කලාප කීපයකට බලපැවැත්වෙන පරිදි නැවතත් යුද නීතිය ප්‍රකාශයට පත්කරනු ලැබ ඇත. ඒ අනුව එම කලාපයන්හි විරෝධතාවාදීන්ට එරෙහිව යුද නීතිය යටතේ අධිකරණය ඉදිරියේ නඩු පැවරීමට හමුදා පාලනයට බලය ලැබෙයි.

චීනය මියන්මාර හමුදා පාලනයට සහයෝගය දෙන්නේය යන්න විරෝධතාවාදීන්ගේ විශ්වාසය වී ඇත. එහෙත් සති අන්තයේ චීන ව්‍යාපාරික ආයතනවලට එල්ල කෙරුණු ප්‍රහාරය කාගේ ක්‍රියාවක් ද යන්න තවමත් පැහැදිලි නැත.

හමුදා කුමන්ත්‍රණයට එරෙහිව නැගීසිටින විරෝධතාවාදීන් වැඩිම සංඛ්‍යාවක් මරාදමන ලද දිනය ඉරිදා (මාර්තු 14) විය.

මේ වනවිට මරාදමනු ලැබ ඇති විරෝධතාවාදීන් ගණන 120 ඉක්මවා ඇතැයි දේශපාලන සිරකරුවන්ට සහයෝගය දීමේ සංවිධානය (AAPP) විසින් ඇස්තමේන්තු කරනු ලැබ ඇත.

.සඳුදා (මාර්තු 14) 'මණ්ඩලේ' ඇතුළු තවත් ප්‍රදේශ ගණනාවක යළිත් විරෝධතා රැල්ලක් පැතිරයමින් තිබුණි. මියන්මාර මධ්‍යම කලාපයේ නගර දෙකක (Myingyan සහ Aunglan) ප්‍රජාතන්ත්‍රවාදී උද්ඝෝෂකයන්ට ආරක්ෂක හමුදා විසින් වෙඩිතබන ලද බව එම ප්‍රදේශයෙන් ලැබෙන වාර්තා මගින් කියැවෙයි.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය,

ආරක්ෂක හමුදා 'Hlaing Tharyar' හි විරෝධතාවාදීන්ට ජීවඋණ්ඩ මගිඋන් වෙඩිතබා තිබුණි

'විප්ලවයක්'

මේ අතර බලයෙන් පහ කෙරුණු මන්ත්‍රීවරුන් විසින් 'විප්ලවයක්' ප්‍රකාශයට පත්කරනු ලැබ ඇත.

ඇතැම් මන්ත්‍රීවරු හමුදා පාලනය පිළිගැනීම ප්‍රතික්ෂේප කරති. ඔවුන් මේවනවිට සැඟව සිටින අතර නව කණ්ඩායමක් ලෙස සංවිධානය වෙමින් සිටින බවත් වාර්තා වෙයි. එය නම්කරනු ලැබ තිබෙන්නේ 'සාංගමික පාර්ලිමේන්තුව නියෝජනය කරන කමිටුව(CRPH) යනුවෙනි.

එම සංවිධානයේ නායක මහ්න් වින් ඛයින් තාන් (Mahn Win KhaingThan) සති අන්තයේ විරෝධතාවාදීන් පළමුවරට අමතමින් හමුදා පාලනයට එරෙහි විරෝධතා ව්‍යාපාරයන්හිදී ස්වකීය ආරක්ෂාව සහතික කර ගන්නා ලෙස ඉල්ලා සිටිමින් එම විරෝධතා ව්‍යාපාරය ''විප්ලවයක්'' ලෙස හඳුන්වා දුන්නේය.

''මෙය අපේ ජාතියේ අඳුරුතම මොහොතයි.එසේම අලුත් ආලෝකයක උදාව අත ළඟට පැමිණ තිබෙනවා'' ඔහු සඳහන් කළේය.

'සාංගමික පාර්ලිමේන්තුව නියෝජනය කරන කමිටුව(CRPH) නීති විරෝධී සංවිධානයක් යයි පාලක මිලිටරි ජුන්ටාව පවසයි. එම සංවිධානයට හවුල්වෙන්නන්ට රාජද්‍රෝහී චෝදනාවන්ට මුහුණදීමට සිදුවනු ඇතැයි ද හමුදා පාලනය අනතුරු ඇඟවීමක් කරයි.

මියන්මාරය ගැන තවත් තොරතුරු;