මියන්මාර හමුදා කුමන්ත්‍රණය: දිවි පරදුවට තබන සටනක කතාව

Medical students hold up the three finger salute at the funeral of Khant Nyar Hein in Yangon, Myanmar on March 16, 2021

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය,

වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළු සියලුම ආකාරවල ජනතාව විරෝධතාවන්ට සහභාගී වෙති

මියන්මාරයේ හමුදා පාලනයට එරෙහිව පෙළ ගැසී සිටින්නේ එරට සාමාන්‍ය වැසියන්ය.

ඔවුන්ගේ දැවැන්ත විරෝධතාවන්ට එරෙහිව හමුදා පාලනය දක්වන්නා වූ මර්දනකාරී ප්‍රතිචාර දිනෙන් දින ඉහළ යමින් පවතින අතරේ එරට සාමාන්‍ය වැසියන්ට දුෂ්කර වූ තීන්දු තීරණ ගැනීමට සිදුව ඇත.

පසුගිය වසරේ පැවති මැතිවරණයේදී විශාල වශයෙන් වංචා සිදුව ඇතැයි චෝදනා කරන මියන්මාර හමුදාව, එරට පාලන බලය අල්ලා ගත්තේ පසුගිය පෙබරවාරි 01 වෙනිදාය.

එහෙත් ප්‍රජාතන්ත්‍රවාදීව මහජන ඡන්දයෙන් තෝරා පත් කර ගන්නා ලද සිය ආණ්ඩුව, හමුදා පාලනයට එරෙහි විරෝධතාකරුවන්ගේ තේරීම වී ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන පරිදි පෙබරවාරි 01 වෙනිදා සිට, විරෝධතා අතරතුර මරණයට පත් පිරිස අවම වශයෙන් 149 කි. එහෙත් එම සංඛ්‍යාව ඊට වඩා බෙහෙවින් වැඩි වෙතැයි විශ්වාස කෙරේ.

පහත දැක්වෙන්නේ නොනැවතී, විරෝධතාවන්ට සහභාගී වන ජනයා තමාගේම වචනයෙන් විස්තර කළ අත්දැකීම්ය.

සිය දියණියගේ හෙට දවස වෙනුවෙන් සටන් වදින මවක්

නව්, ජාතීන්ගෙන් සැදුම්ලත් මහා වර්ජන කමිටුවේ නායිකාව ලෙස කටයුතු කරන්නීය. වඩාත් හොඳ අනාගතයක් උරුම කර දෙනුවස්, දොලොස් මස් වියැති සිය දියණියගේ නාමයෙන් වර්ජනයන්ට සහභාගී වන බව ඇය කියා සිටී.

මම 'කරෙන්' (මියන්මාරයේ සුළුතර වාර්ගික කණ්ඩායමක්) සාමාජිකාවක්, ඉතින් විරෝධතා කියන දේ මට අලුත් දෙයක් නොවෙයි.

රාජ්‍ය අනුශාසක අවුං සාන් සූ චී සහ ජනාධිපති වින් ම්යින්ට් නිදහස් කරන ලෙසත් 2020 ඡන්ද ප්‍රතිඵල, යළි සොයා බලා සහතික කරන ලෙසත් විරෝධතාකරුවන් ඉල්ලා සිටිනවා.

එහෙත් සුළුතර වාර්ගික ජන කණ්ඩායමක් වශයෙන් අපිට බලවත් ඉල්ලීම් තිබෙනවා. මියන්මාරයට අයත් සියලුම ජාතීන්ගේ එකතුවෙන් සැදුම්ලත් ප්‍රජාතන්ත්‍රවාදී ඒකාබද්ධ සංගමයක් ස්ථාපනය කිරීම අපේ ඉදිරි දැක්මයි.

හමුදාව වසර ගණනක් රට පාලනය කලේ බෙදා, යටත් කර ගැනීමේ උපායමාර්ගය යොදාගෙනයි. එහෙත් දැන් සියලුම ජාතීන් එක්සත් වෙලා.

මට අවුරුද්දක පොඩි දුවෙක් ඉන්නවා.

මම කරන දේවල් නිසා ඇය විඳවනවා දකින්න මට ඕන නැහැ. මම උද්ඝෝෂණවලට සම්බන්ධ වුණේ මගේ දුව වෙනුවෙන්, මොකද මම වගේම ඇයත් ඒකාධිපති පාලනයක් යටතේ උස්මහත් වෙනවා දකින්න මම කැමති නැහැ.

උද්ඝෝෂණවලට සම්බන්ධ වීමට පෙර මම මගේ සැමියා එක්ක ඒ ගැන සාකච්ඡා කළා.

විරෝධතා අතරතුර මා අත්අඩංගුවට පත් වුණොත් නැතිනම් මළොත්, අපේ දරුවා රැක බලාගෙන ජීවිතේ ඉදිරියට ගෙනියන්න කියලා මම සැමියාගෙන් ඉල්ලා සිටියා.

අපේ දරුවන්ට භාර නොකර, අපිම මේ විප්ලවය අවසානයක් කරා ගෙන යනවා.

දොස්තරවරුන්ට පැන යාමට උපකාර කරන වෛද්‍ය නිලධාරියා

නන්ඩා* ම්යෙයික් නගරයේ රෝහලක සේවය කරයි. මියන්මාර වෛද්‍ය සේවකයෝ, හමුදා පාලනයට එරෙහි විරෝධතාවන්හි පෙරමුණේ පසු වූහ. එහෙත් හමුදාව විසින් තමා රැගෙන යනු ඇතැයි බියෙන් ම්යෙයික් හි වෛද්‍ය සේවයකයන්ට සැඟ වී සිටීමට සිදු වූ බව නන්ඩා පවසයි.

එදා මාර්තු 07 වෙනිදා රාත්‍රියේ, ඇඳිරි නීතිය දාන්න පැය කීපයකට කලින්.

මම වීදුරු අඳුරු කරපු කාරයක් පදවමින් සිටියේ. මම, අස්ථි ශල්‍ය වෛද්‍යවරයෙක්, කායික වෛද්‍යවරියක් වන ඔහුගේ බිරිඳ සහ පවුලේ අනෙකුත් අය කාරයට ගොඩකර ගත්තා. අඳුරට මුවා වෙලා ඔවුන්ගේ බෑග් මළු කාර් එකට දාගෙන ආරක්‍ෂිත ස්ථානයක් කරා රැගෙන ගියා.

හමුදා පාලනයට එරෙහි විරෝධතා ව්‍යාපාරයට සහභාගී වූ විශේෂඥ වෛද්‍යවරුන්ගේ, වෛද්‍ය නිලධාරීන්ගේ සහ හෙද හෙදියන්ගේ නාම ලේඛනයක් තමා වෙත ලබා දෙන ලෙස ආණ්ඩුවේ බලධාරීන්, ම්යෙයික් හි රෝහල් වෙත ඊට දිනකට පෙර දන්වා තිබුණා.

අපිට බයක් දැනුණා. ඔවුන්ට මේ නම් අවශ්‍ය ඇයි? බලධාරීන් විසින් කැඳවනු ලැබුවහොත් ඔවුන්ට කුමක් වේවිද?

තමන් අල්ලා ගනු ලැබුවහොත් කුමක් වේවිදැයි බියෙන් රජයේ රෝහල්වල සේවය කරන සියලුම වෛද්‍යවරුන් සැඟව සිටින්න තීරණය කලා. සමහර වෛද්‍යවරුන්ට පැන යාමට උදව් කිරීමේ කාරිය මට පැවරුණා.

අපේ කාරය ඇතුළේ තිබුණේ විශ්වාස කරන්න බැරි, කලකිරෙන සුළු තත්ත්වයක්.

"ඔවුන් කැමති දේ කරන අතරේ අපි වැනි මිනිස්සුන්ට (වෛද්‍යවරු සහ වෛද්‍ය කාර්ය මණ්ඩල), අපරාධකරුවන් වගේ සැඟව සිටීමට සිදුව ඇත්තේ ඇයි?" යනුවෙන් කායික රෝග වෛද්‍යවරිය ප්‍රශ්න කළා.

මට අප්පිරියාවක් දැනුණා. වරදක් නොකළ, වෛද්‍යවරු හංගන්න මට සිදු වෙයි කියලා කිසිදාක සිතුවේ නැහැ.

ඉදිරි දිනවල ම්යෙයික් හි ජනතාවට ඔවුන් ගැන බලන්න ඉන්නේ විශේෂඥ වෛද්‍යවරු කීප දෙනෙකු පමණයි.

හමුදාවේ පහරදීම්වලට ලක් වෙන විරෝධතාකරුවන් වගේම ළඟ පාත සිටි අයගේ කැඩුණු ඇඟිල්ලක්, අතක්, හිස්කබලක් හරිගස්සන්න ප්‍රමාණවත් ශල්‍ය වෛද්‍යවරු නොසිටීවි.

ම්යෙයික් හි කාන්තාවන්ට දරු ප්‍රසූතියේදි උපකාර කරන්න ප්‍රසව සහ නාරිවේද වෛද්‍යවරු නොඉඳීවි.

වෛද්‍ය සේවකයන්, මේ විරෝධතා ව්‍යාපාරයේ වැදගත් සහ අත්‍යවශ්‍ය කොටසක්ව සිටියා, එහෙත් ඔවුන් දැන් නැහැ.

කැමරාව පිටුපස සිටි මිනිසා

මවුන්ග්, යැන්ගුන් හි වෙසෙන චිත්‍රපට ශිල්පියෙකි. හමුදා පාලනයට එරෙහි විරෝධතා ආරම්භ වූ විට, එම ව්‍යාපාරයේ ගමන් මග දෛනිකව වාර්තා ගත කර තැබීමට ඔහු ඉටා ගත්තේය.

පෙබරවාරි 28, අමතක නොවෙන දිනයක්. යැන්ගුන් හි බර්ගයා වීදියේ, බැරියර්වලට පිටුපස පෙරමුණේ මා සිටගෙන සිටියා.

මම, ෆෝන් එකෙන් දර්ශන පටිගත කරමින් සිටියා. විරෝධතාකරුවන් සිය ගණනක් සටන් පාඨ කියමින් බෝතල් සහ කෑන් හප්පමින් හඬ නැගුවා.

එක පාරටම සීයක පමණ පිරිසක් අප දෙසට ගමන් කළා. ඔවුන් පොලිසියෙන්ද නැතිනම් හමුදා භටයන්ද කියා මම දන්නේ නැහැ.

අනතුරු ඇඟවීමක් නොකරම, ඔවුන් අපට වෙඩි තියන්න පටන් ගත්තා, ගෑස් බෝම්බ ගැහුවා.

දර්ශන පටිගත කරන්න උත්සාහ කරන අතරේ, පැන යා හැකි, කලින්ම සොයා ගෙන තිබූ පාරක් වෙත මා දිව ගියා. අපි බොහෝ දෙනෙකුට පැන යන්න හැකි වුණා.

දැන් මා විරෝධතා වෙත යන විට, හෙල්මටයක් සහ උණුසුමට ඔරොත්තු දෙන අත්වැසුම් රැගෙන යන්න වෙලා.

ඉඩක් ලැබුන හැටියේ, කඳුළු ගෑස් අඩංගු බෝතල්, යළි දමා ගසන්න අපි උත්සාහ කරනවා. බොහෝ විට, ඒ බෝතල් නිෂ්ක්‍රිය කරන්න. අපි ඒවා තෙත රෙදිකඩකින් වහනවා, ඒ මතට වතුර දමනවා.

ගෑස්වල බලපෑමෙන් සම්පූර්ණයෙන්ම ආරක්ෂා වී සිටීමට නොහැකි, ලාබ මුව ආවරණ බොහෝ දෙනෙකු පළඳිනවා. අපේ මුහුණෙන්, කඳුළු ගෑස් හොඳින්ම සෝදා හරින්න පුළුවන් කොකා-කෝලාවලට බව අපි සොයා ගත්තා.

චිත්‍රපට ශිල්පියෙක් සහ උද්ඝෝෂකයෙක් වශයෙන්, සෑම දිනකම විරෝධතාවන්ට සහභාගී වෙන්නත් කෙටි චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්නත් මම හිතා ගත්තා.

දැන් ඒ වීඩියෝ දෙස යළි බලන විට, මේ ප්‍රතිරෝධය, සාමකාමී විරෝධතාවක සිට අපේ ජීවිත අනතුරේ තබා කෙරෙන විරෝධතාවක් දක්වා වෙනස් වී ඇත්තේ කෙසේදැයි කියා මට යළි අත්විඳිය හැකියි.

වෙන කිසිම චිත්‍රපටයකට වඩා මෙය බෙහෙවින් අසාමාන්‍ය එකක්.

හමුදාවට කොටු වූ කාන්තාවක්

පර්යේෂිකාවක් වන පියෝ*, යැන්ගුන් නගරයේ සැන්චාවුන්ග් හි විරෝධතාවකට සහභාගී වූ දෙසීය දෙනෙකු අතරින් එක් අයෙකි. පිටව යාමට නොහැකි වන පරිදී තම කණ්ඩායම හමුදාව විසින් කොටු කරනු ලැබ ඇති බව ඔවුන්ට වැටහිණි. අවම වශයෙන් හතලිස් දෙනෙකුවත් එහිදී අත්අඩංගුවට පත් විය.

එදා මාර්තු 08 වෙනිදා හවස දෙකට පමණ ආරක්ෂක හමුදා ඇවිත් අප කොටු කළා.

ගෙවල්වල මිනිස්සු ඔවුන්ගේ දොරපියන් ඇරලා, අප ඒ වෙත ඇතුළු කර ගන්න අතෙන් සංඥා කරන හැටි අපට පෙනෙන්න පටන් ගත්තා.

අපි පිටතට එනතෙක් ආරක්ෂක අංශ එලියට වී සිටියා. අපි හිටපු ගෙදර හත් දෙනෙක් සිටියා, කාන්තාවන් හය දෙනෙකු සහ එක් පිරිමියෙක්.

නිවෙස්වල අයිතිකරුවන් ඉතාම කරුණාවන්තයි, අපිට කෑමවලින් සත්කාර කළා. පැය කීපයකින් පිටතට යාම ගැටලුවක් නොවෙනු ඇති බව සිතුවත් හවස 06:30 ට පමණ අපි ටිකක් කලබල වුණා.

ආරක්ෂක හමුදා එතනින් පිටව නොයන බව අපට වැටහුණා. පැන යාමේ සැලසුමකට යන්න අපි තීරණය කළා.

ආරක්ෂා සහිතව සැඟව සිටිය හැකි පාරවල් සහ වෙනත් තැන් ගැන, අපිට සත්කාර කරපු නිවෙස්වල හිමිකරුවන් අපිව දැනුවත් කළා.

අපේ සියලුම දේවල්, සත්කාර කළ පළමු නිවසේ දමා ගියා. ඒ ගම් පළාතේ කෙනෙකු ලෙස පෙනෙන සේ සරමක් ඇඳ, මම ගෙදරින් පිට වුණා.

මගේ ෆෝන් එකේ තිබුණු ඇප්ස් ගණනාවකුත් ඉන් ඉවත් කළා, වැඩිපුර සල්ලි ටිකක් අතේ තියා ගත්තා.

අපි මුළු රෑම ගත කළේ තවත් ආරක්‍ෂිත ස්ථානයක. උදේ වෙනකොට ආරක්ෂක හමුදා තවදුරටත් පිටත නොමැති බව අසන්න ලැබුණා.

බීබීසී නිවුස් හි Yvette Tan සහ Eaint Khai Oo විසින් සම්පාදනය කරන ලද ලිපියක් ඇසුරෙනි. රූප නිර්මාණය බීබීසියේ Davies Surya විසිනි.

*ආරක්ෂක හේතුන් මත නම් වෙනස් කර ඇත.

මේ ගැනත් කියවන්න: