71 අප්‍රියෙල් නැගිටීම: පැරදුන සටනින් ලද වේදනාව සමඟ සිරගෙයි ගැටුම්! දේශපාලන සංවාදය මැද ප්‍රේම රහස් හෙළිවෙයි

  • උපාලි ගජනායක
  • BBC සිංහල
jvp

ඡායාරූප මූලාශ්‍රය, JVP

ඡායාරූප ශීර්ෂ වැකිය,

ජනතා විමුක්ති පෙරමුණේ මැයි පෙළපාලියක්

1971 අප්‍රියෙල් නැගිටීම පිළිබඳ මෙම ලිපියේ පළමු කොටස අප්‍රේල් 02 වෙනිදා (සිකුරාදා) පළවිය.

අප්‍රියෙල් 05 වෙනිදා රාත්‍රියේ ප්‍රහාරය අසාර්ථක වීමත් සමඟ පසුදින එනම් අප්‍රියෙල් 06 වෙනිදා පාන්දර පටන් දිවයින පුරාම දක්නට ලැබුනේ යුදමය පරිසරයකි. ඇඳිරි නීතිය ප්‍රකාශයට පත්කිරීමත් සමඟ මහාමාර්ග ජනශුන්‍ය වූ අතර, මහමග දක්නට ලැබුනේ පොලිස් සහ යුද හමුදා සන්නද්ධ රථ පමණි. සිවිල් පාලනය බලයේ තිබුනත් රට පුරා පැවතුනේ සන්නද්ධ හමුදාවන් විසින් රාජ්‍යයක බලය අල්ලා ගන්නා ලද තත්වයකට සමාන බිහිසුණු තත්වයකි.

පියාඹා යන සන්නද්ධ රථවල හඬ අතරවාරයේ කඩින්කඩ වෙඩිහඬ ඇසුන අතර ඇලදොළ ගංගාවන්හි පාවීයමින් තිබුණ මළසිරුරු පිළිබඳව තොරතුරු කටින්කට පැතිරයමින් තිබුණි.

ඒ සමඟ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් මහාපරිමාණයෙන් සිදුකෙරෙමින් පැවතුණි. එම අත්අඩංගුවට ගැනීම් ආරම්භකොට තිබුණේ අප්‍රියෙල් පස් වෙනිදා ප්‍රහාරයට පෙර පටන්ය.

මාර්තු මස 13 දින අම්පාරේ දී පක්ෂ නායක රෝහණ විජේවීර අත්අඩංගුවට ගනු ලැබීමත් සමඟ රජය හදිසි නීතිය යටතේ තවත් විශේෂ රෙගුලාසි කීපයක් සම්මත කර ගත් අතර, මළසිරුරු මරණ පරීක්ෂණයකින් තොරව පුළුස්සා දැමීමට සන්නද්ධ අංශවලට ඒ වනවිටත් බලය පවරනු ලැබ තිබුණි.මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් අත්අඩංගුවට ගනු ලැබීම වේගවත් වූ අතර අප්‍රියෙල් මාසයේ පළමු වෙනිදා වනවිට "චේ ගුවේරා සැකකරුවන් 475 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව ආරක්ෂක මණ්ඩලය අගමැතිවරියට දැනුම් දී ඇතැයි" ඩේලිනිව්ස්' පුවත්පත වාර්තා කළේය.

එම ක්‍රියාවලිය වඩාත් වේගවත් කරමින් අප්‍රියෙල් 06 වෙනිදා පාන්දර පටන් මහා පරිමාණයෙන් පෙරට ගෙනගිය සෝදිසි කිරීම් සහ කඩාපැනීම් මගින් ජනතා විමුක්ති පෙරමුණට කවරාකාරයකින් හෝ සම්බන්ධකමක් ඇති තැනැත්තන් හෝ ඔවුන් සොයා ගැනීමට නොහැකි නම් ඔවුන්ට සම්බන්ධ පවුලේ නෑදෑයන් හෝ අත්අඩංගුවට ගනු ලැබීම ආරක්‍ෂක අංශ අනුගමනය කරන ලද ක්‍රියාමාර්ගය විය. ඒ සමඟ රටපුරා සියළු බන්ධනාගාර කැරලිකරුවන්ගෙන් පිරීගිය අතර දකුණේ හම්බන්තොට රිමාන්ඩ් බන්ධනාගාරයේ පටන් උතුරේ යාපනයේ 'හැමන්හිල්' සිර කඳවුර පවා "චේගුවේරා කාරයන්ගෙන්" පිරී ඉතිරී යත්ම විද්‍යෝදය සහ විද්‍යාලංකාර සරසවි (වත්මන් ශ්‍රී ජයවර්ධනපුර සහ කැළණි සරසවි) පවා සිර කඳවුරු බවට පත් කරනු ලැබුණි. රජයට භාරවීම සඳහා නියම කරන ලද කාලය තුළ සහ ඉන් පසුව යටත්වූ සංඛ්‍යාව විසි දහසක් පමණ වූ අතර ඔවුන් රඳවා තැබීම සඳහා රිදියගම, වීරවිල, අනුරාධපුර සහ සේනපුර වැනි ස්ථානයන්හි විශේෂ රැඳවුම් කඳවුරු ආරම්භ කරන ලදී.

මෙම ලිපියේ පළමු කොටස:

එතෙක් තමන් ක්‍රියාත්මක වූ කුඩා කණ්ඩායමක සාමාජිකයන් අතලොස්සක් ගැන පමණක් දැනසිටි ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන්ට ව්‍යාපාරය තුළ ආරූඩ නම්වලින් පෙනීසිටි සිය සගයන් අන්‍යෝන්‍ය වශයෙන් ඔවුන්ගේ සැබෑ නම්වලින් හඳුනා ගැනීමට අවස්ථාව ලැබුනේ එම සිරගෙවල් හෝ සිරකඳවුරු තුළදීය.

එය පැරදුන අරගලයක දේශපාලන කතිකාව නව දිශානතියකට යොමු කිරීමට කාලය සහ පරිසරය සකස් කෙරුන තවත් සන්ධිස්ථානයක ආරම්භය විය. එය පොලිසියේ හෝ වෙනත් ආරක්‍ෂක හමුදා බල ඇණියක අත්අඩංගුවේ පසුවෙද්දී ලද අනේකවිධ ශාරීරික තුවාලවල වේදනාව පමණක් නොව "පැරදුන විප්ලවයක දේශපාලන තුවාල" පිරිමැද බැලීමට ද ලද අවස්ථාවක් බවට පත්වෙමින් තිබුණි.

ඡායාරූප මූලාශ්‍රය, JVP

ඡායාරූප ශීර්ෂ වැකිය,

ගංගොඩවිල විද්‍යෝදය සරසවියේ සිරකර තබා සිටි කණ්ඩායමක්

ජනතා විමුක්ති පෙරමුණේ ආරම්භයේ පටන් කැරැල්ල අසාර්ථකවීම තෙක් සමස්ත දේශපාලන ගමන්මග ගැඹුරින් සාකච්ඡාවට ගැනීමෙන් නතර නොවූ "සටන්කාමීහු" කිසිදු පහසුකමක් නොමැති තත්වයක් යටතේ වුවද, තම ගෙදරට තොරතුරු දැන්වීමට බන්ධනාගාරයෙන් ලැබෙන ලියුම් කඩදාසි පවා ඒ සඳහා පාවිච්චි නොකොට ඒවා මත හෝ වෙනත් ආකාරයකින් කෙසේ හෝ සොයා ගන්නා ලද කඩදාසි සහ පැන්සල්කොට මගින් එම ඉතිහාසය සටහන් කරන්නට පටන් ගත්හ.

අප්‍රියෙල් නැගිටීමට අදාළ "මහනඩුව" ආරම්භ කෙරෙන තෙක් පක්ෂ නායක රෝහණ විජේවීර යාපනය බන්ධනාගාරයේ රඳවා සිටි අතර සෙසු නායකයන් වැලිකඩ සහ නව මැගසින් බන්ධනාගාරය ඇතුළු සිර ගෙවල් කීපයක රඳවා සිටි සිටියහ. "මහනඩුව" සඳහා චෝදනා ලද පියතිලක, ලොකු අතුල, පොඩි අතුල, ලයනල් බෝපගේ, ලක්ෂ්මන් ප්‍රනාන්දු මෙන්ම ප්‍රාදේශීය නායකයන් වූ දයා වන්නිආරච්චි, වාස් තිලකරත්න, පැට්‍රික් ප්‍රනාන්දු, වසන්ත දිසානායක, දේවබණ්ඩාර සේනාරත්න වැනි ඒ වනවිට සංවිධානය තුළ ඉහල මට්ටමේ සිටි කීප දෙනෙක්ම ඉහත කී සංවාදය පෙරට ගෙනයමින් එතෙක් නොදත් කරනු මතුකර ගැනීමට හවුල්වීම තොරතුරු අනාවරණය කරගනු ලැබීම අතින් එක්තරා පහසුවක් විය.

එම කරුණු විභාගය සඳහා නව මැගසින් බන්ධනාගාරය තුළ සිටි කැරලිකරුවන් කණ්ඩායමක් "මහජන කොමිසමක්" පත් කර ගත් අතර ඊට නම් කෙරුන ප්‍රාදේශීය නායකයන් කීප දෙනෙක් ඉදිරියේ ඉහත සඳහන් කරන ලද නායකයන් කීප දෙනකුත් ඇතුළුව බොහෝ "සහෝදරවරු" ඔවුන්ගේ අත්දැකීම් විස්තර කළහ. අප්‍රියෙල් "මහනඩුවේ" පළමු විත්තිකරු මෙන්ම පස් වෙනිදා ප්‍රහාරය සඳහා තීන්දුව ගත් තීරණාත්මක සාකච්ඡාවේ මුලසුන ගත් පියතිලක, දෙවෙනි විත්තිකරු ලයනල් බෝපගේ, ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ අංශයේ නායකයාව සිටි ලොකු අතුල සහ සන්නද්ධ අංශය භාර සිටි දෙවෙනියා වන පොඩි අතුල මෙන්ම දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය මට්ටමින් සංවිධානයේ ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළ ඇල්පිටියේ ධර්මදාස ජයසිංහ, දේවබණ්ඩාර සේනාරත්න වැනි නව මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටි සාමාජිකයන් විසින් ඉදිරිපත් කරන ලද ඔවුන්ගේ අත්දැකීම් ඇතුලත් සවිස්තරාත්මක තොරතුරු අතිශයින් විවාදාත්මක විය.

එම සංවාදය හුදෙක් දේශපාලන කරුණුවලට පමණක් සීමානො වූ අතර එවක ජනතා විමුක්ති පෙරමුණේ "විප්ලවකාරී සදාචාරයට" ඇතුලත්ව තිබුණ මත්පැන් සහ ප්‍රේම සබඳතා තහංචි රහසේ උල්ලංඝනය කරන ලද නායක මට්ටමේ සහෝදරයන්ගේ චර්යාවන් පිළිබඳ පවා එමගින් තොරතුරු හෙළිදරව් වන්නට විය.

තම පාසල් අවධියේ පටන් වූ ප්‍රේම සම්බන්ධය පවා ජනතා විමුක්ති පෙරමුණේ "විප්ලවවාදී සදාචාරයට" අනුගත වෙමින් නතර කළ බව කියා සිටි අප්‍රියෙල් "මහනඩුවේ" පළමු විත්තිකරු වූ පියතිලක සමරනායක, "එහෙත් එය නතර කරන ලෙස තමාට තහංචි දැමූ පක්ෂ නායකත්වයේ රෝහණ විජේවීර සහ නිමලසිරි ජයසිංහ (ලොකු අතුල) වැනි නායකයන් රහසිගතව ප්‍රේම සම්බන්ධතා පවත්වා ඇති බව පසුව තහවුරු වූ බව" සඳහන් කළේ සංවේගයෙනි.

ඡායාරූප මූලාශ්‍රය, JVP

ඡායාරූප ශීර්ෂ වැකිය,

අප්‍රියෙල් කැරැල්ල සමයේ දී හම්බන්තොට නගරය 'විමුක්ති නගරය' ලෙස නම්කරනු ලැබ තිබුණි. නාම පුවරුව දෙපස ඇවර්බරි සාමිවරයා සහ අධිනීතිඥ ප්‍රින්ස් ගුණසේකර

ජවිපෙ පසු විපරම

1971 නැගිටීමට අවුරුදු හතළිස් තුනකට පසුව ජනතා විමුක්ති පෙරමුණ විසින් 2014 දී කරන ලද විශ්ලේෂණයක් අනුව "1971 නැගිටීම යනු ශ්‍රී ලංකාවේ දේශපාලනයේ මහා කම්පනයකට හේතු වූ සිදුවීමකි". එහෙත් "ව්‍යාපාරය ආරම්භ කරනු ලැබ යන්තම් වසර හයකට පසුව, එනම් 1971 වනවිට සන්නද්ධ අරගලයක් සඳහා අවශ්‍ය සූදානමක, සිය ළදරු පක්ෂය නොවූ" බව පවසන ජනතා විමුක්ති පෙරමුණ, අප්‍රියෙල් පස් වෙනිදා ප්‍රහාරය සම්බන්ධයෙන් දෙපාර්ශවයකට චෝදනා කරයි. ඉන් එක කණ්ඩායමක් වන්නේ අප්‍රියෙල් ප්‍රහාරයට සම්බන්ධ වී පසුව එම ප්‍රහාරයේ "අඩුපාඩු පෙන්වා දෙන්නන්" සහ ඔවුන්ගේ වචනයෙන් පවසන පරිදි "පාවාදෙන්නන්" (Traiters) හෝ "විශ්‍රාමික කැරලිකරුවන්ය"(Rretired rebels). (මූලාශ්‍රය: History of the JVP - People Liberation front)

පක්ෂයට අනුබද්ධව සන්නද්ධ අංශයක් නිර්මාණය කොට අවි ආයුධ නිපදවනු ලැබීම සහ එක්රැස් කරන ලද්දේ ස්වයං-ආරක්‍ෂාවට යයි පවසන ජනතා විමුක්ති පෙරමුණ, අප්‍රියෙල් ප්‍රහාරය සම්බන්ධයෙන් සෘජුවම චෝදනා කරන්නේ රෝහණ විජේවීරට එරෙහි, පක්ෂ අභ්‍යන්තර කණ්ඩායමකටය. එපණක් නොව එක්රැස් කරන ලද අවි ආයුධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නිල ප්‍රකාශනයේ දැක්වෙන්නේ මෙවැනි විශ්ලේෂණයකි.

"අප්‍රියෙල් නැගිටීමට හවුල්වූවන්ට ක්‍රමවත් අවි පුහුණුවක් හෝ දිගු කාලීන යුද පුහුණුවක් ලැබී තිබුනේ නැහැ. ප්‍රහාරයට සම්බන්ධ වූවන්ගෙන් බහුතරයට අවි පාවිච්චිය ගැන තිබුනේ අඩු අවබෝධයක්. ඔවුන්ට යුද විද්‍යාව හෝ යුද කලාව ගැන දැනුමක් නැහැ. තරුණයන් අත තිබුනේ ඉතාම ප්‍රාථමික ප්‍රහාරක අවි ආයුධ. පතරොම් තුවක්කු සහ තමන් විසින්ම හදාගත් අත්බෝම්බ(මූලාශ්‍රය: History of the JVP -People Liberation front)

"අප්‍රියෙල් ප්‍රහාරය දුර්වලතා රැසක් සමඟ ආරම්භ වූවක්," බව ජනතා විමුක්ති පෙරමුණ පිළිගනියි.

ඡායාරූප මූලාශ්‍රය, DAILY NEWS

ඡායාරූප ශීර්ෂ වැකිය,

රෝහණ විජේවීර සහභාගී වූ ජවිපෙ රැස්වීමක්

එවැනි පසුබිමක් යටතේ පස් වෙනිදා පහරදීමේ ඓතිහාසික තීන්දුව ගන්නා ලද්දේ කවුරුන් විසින් කාගේ උවමනාවක් සඳහාදැයි යන්න අපරාධ විනිශ්චය කොමිෂන් සභාව (CJC) ඉදිරියේ පවා දැඩි නෛතික තර්ක විතර්කයන්ට පවා භාජන වූවකි. අරගලය පරාජය වීමෙන් පසු රෝහණ විජේවීර ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණ චෝදනා මුඛයෙන් පවසන පරිදි එම තීන්දුව "පක්‍ෂයේ සහ අනතුරුව රටේ බලය අත්පත්කර ගැනීම සඳහා නිමලසිරි ජයසිංහ (ලොකු අතුල) ඇතුළු කණ්ඩායමක කුමන්ත්‍රණයක" ප්‍රතිඵලයක්ද?, එසේත් නැත්නම්,අප්‍රියෙල් පස් වෙනිදා ප්‍රහාරය සඳහා තීන්දුව ගන්නා ලද කණ්ඩායමේ බහුතරය පවසන පරිදි, යාපනය බන්ධනාගාරයේ සිට ලාල් සෝමසිරි ගෙන ආ පණිවුඩයෙන් කියැවෙන පරිදි "තවදුරටත් මර්දනය දරාගත නොහැකි නම් පහරදෙන ලෙස පක්ෂ නායක විජේවීර විසින්ම ගන්නා ලද තීන්දුවක් වීද? යන්න සම්බන්ධයෙන් තවමත් එකඟතාවක් නොමැත.

එහෙත් අප්‍රියෙල් පස් වෙනිදා රාත්‍රියේ පහරදීමේ තීන්දුව ඒකමතිකව ගන්නා ලද තීරණයක් බව සුනන්ද දේශප්‍රිය පවසයි. "සංඝාරාම සාකච්ඡාවට" සහභාගීවූ නායකයන් කිසිවකු ඊට විරෝධය පළ නොකළ බව ලයනල් බෝපගේ විසින් ද පිළිගනියි.

බලය අල්ලාගනු ලැබීමෙන් අනතුරුව ගුවන් විදුලිය ඔස්සේ ප්‍රචාරය කරනු ලැබීම සඳහා රෝහණ විජේවීරගේ කට හඬට සමීප වන පරිදි දේවබණ්ඩාර සේනාරත්න යොදා ගනිමින් ප්‍රකාශයක් පවා සූදානම් කර තිබුන බවත් සුනන්ද දේශප්‍රිය සඳහන් කළේය.

ප්‍රහාරය සඳහා නියෝගයක් නොදුන් බවට රෝහණ විජේවීර කරන ප්‍රකාශය මෙන්ම එය පදනම්කර ගනිමින් ඔහුගේ නීතිවේදීන් විසින් අපරාධ යුක්ති විනිශ්චය කොමිසන් සභාව ඉදිරියේ ගොඩනගන ලද තර්කය සුනන්ද දේශප්‍රිය විසින් විග්‍රහ කරනු ලබන්නේ ඔවුන්ගේ සේවාදායකයාගේ නිදහස වෙනුවන් ඉදිරිපත් කරන ලද නෛතික ප්‍රවාදයක් හැටියටය.

කැරැල්ලෙන් පෙර හෝ පසු සිරගත වූ හෝ සැඟව සිටීමට සමත්වූ සියලු පාක්‍ෂිකයන්ට තම සංවිධානය අභ්‍යන්තරයේ පැවති එතෙක් අඳුරු තිරයකින් වැසී තිබුන අභ්‍යන්තර ගැටුම පිළිබඳ තොරතුරු ලැබෙන්නට පටන්ගත්තේ ඔවුන්ගෙන් බහුතරය සිරගෙවල් තුළ සමූහ වශයෙන් රැස්ව "තම සගයන් පිරිසක් දිවිදුන් විප්ලවීය අරගලය පරාජය වීමට තුඩුදුන් කරුණු" සමාලෝචනය කරමින් සිටියදීය. නායකයන් විසින්ම සිදුකරන ලද පාපෝච්චාරණ සහ අපරාධ යුක්ති විනිශ්චය කොමිසම ඉදිරියේ දිගහැරෙමින් පැවති සාක්ෂි මගින් අප්‍රියෙල් පස් වෙනිදාට පෙර පක්ෂයේ අභ්‍යන්තර තත්වයත් සමාජයට අනාවරණය වන්නට විය.

දේශපාලනමය පදනමක් සහිත එවැනි පසුවිපරම් කිරීම් පෙරට යමින් තිබියදී ඇතැම් ස්ථානයන්හි භින්නවු "සහෝදරවරුන්ගේ" මතවාදී ගැටුම් කෙළවර වුනේ ශාරීරික ගැටුම් සමඟය. ඇතැම් බන්ධනාගාරයන්හි එම මතගැටුම කෙලවරවුනේ ශාරීරික පහරදීම්වලිනි. එවැනි ගැටුම්වලට මැදිවූවන් තුවාල ලැබ බන්ධනාගාර රෝහල්ගත කිරීමට සිදුවූ අවස්ථාවන් පවා වාර්තා විය.

සැකකරුවන්ට එරෙහි චෝදනා

1971 අප්‍රියෙල් නැගිටීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන කල්තබා මුදාහරින ලද සැකකරුවන් හැරුනවිට සෙසු සැකකරුවන්ට එරෙහිව නෛතික පියවර ගැනීම සඳහා එවක බලයේ සිටි රජය 1972 අපරාධ යුක්ති කොමිෂන් සභා පනත අනුව අධිකරණ බලය සහිත විශේෂ කොමිෂන් සභාවක් පත්කරන ලද අතර අප්‍රියෙල් "මහනඩුව" වශයෙන් හඳුන්වනු ලබන ප්‍රධාන නායකයන්ට එරෙහි විශේෂ විභාගයේ දී හතලිස් එක් දෙනකුට (41) එරෙහිව පහත දැක්වෙන චෝදනා ඉදිරිපත් කරනු ලැබුණි.

1.දණ්ඩනීති සංග්‍රහයේ 114 සහ 115 වගන්ති උල්ලංඝනය කිරීම සහ 1968 ආරම්භයේ පටන් 1971 අවසානය අතර කාලය ඇතුළත රැජිනගේ ආණ්ඩුවට එරෙහිව කුමන්ත්‍රණය කිරීම.

2.එම කාලය තුළ ලංකාවේ ආණ්ඩුව පෙරලා දැමීම සඳහා සාපරාධීව කුමන්ත්‍රණය කිරීම.

3.1971 අප්‍රියෙල් 04 සහ 1971 ජූලි මාසයේ අතර කාලය ඇතුළත දිවයිනේ බොහෝ පළාත්වල, රැජිනට එරෙහිව යුද වැදීම.

4,එවැනි ක්‍රියාවන්ට අනුබල දීම.

ඡායාරූප මූලාශ්‍රය, JVP

ඡායාරූප ශීර්ෂ වැකිය,

රෝහණ විජේවීර සහ අධිනීතිඥ ප්‍රින්ස් ගුණසේකර අපරාධ යුක්ති විනිශ්චය කොමිසමේදී. රෝහණ විජේවීර කොමිසම හමුවේ කියාසිටියේ අප්‍රියෙල් කැරැල්ල තම මෙහෙයුමක් නොව තමාට එරෙහි ක්‍රියාවක් බවය

1960 දශකයේ අගභාගයේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධව අප්‍රියෙල් කැරැල්ලේ දී සටන්බිමේ සිටි වසන්ත දිසානායක අප්‍රියෙල් නැගිටීම ගැන සිය මතකය අවදිකරයි. ඔහු කැරැල්ලට සහභාගී වන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටින අතරය.

"එම දේශපාලන සහභාගිත්වය ගැන මම පැති දෙකකින් බලනවා. එකක් අපි රජයට විරුද්ධව සටන් කළා. මම ඒකෙ වරදක් දකින්නේ නැහැ. එදා පැවති සමාජ අසාධාරණයට සහ ආණ්ඩුවේ මර්දනයට එරෙහිව නැගීසිටීම මම අගය කරනවා," බීබීසී සිංහල සේවය කළ විමසීමකදී වසන්ත දිසානායක සඳහන් කළේය.

"නමුත් මේ අරගලය දෙස අපට තවත් පැත්තකින් බලන්න වෙනවා. ඒ තමයි, එදා සාමාජය තුළ විප්ලවීය තත්වයක් මෝරා තිබුණාද? කියන කාරණය. විප්ලවයකට ඊට අවශ්‍ය විෂය මූල තත්වයන් මෝරා තියෙන්න ඕන. නමුත් එදා එවැනි තත්වයක් තිබුනේ නැහැ," වසන්ත පැවතුන තත්වයන් විශ්ලේෂණය කරමින් සඳහන් කළේය.

"දේශපාලනමය වශයෙන් ඒ වනවිට තිබුණේ පවතින ආණ්ඩුව කෙරෙහි දැඩි මහජන විශ්වාසය සහිත පාලනයක්. 1970 මැයි මාසයේ තුනෙන් දෙකක ඡන්දයෙන් බලයට පත් ආණ්ඩුවක්. එම ආණ්ඩුවට අවුරුද්දක්වත් ගතවෙලා තිබුණේ නැහැ. පැරණි වාමාංශික දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිති සිටියේ ආණ්ඩුව පැත්තේ. එවැනි අවස්ථාවකයි-අපි නැගී සිටියේ,"

වසන්ත දිසානායක පවසන්නේ "තරුණයන් ජනතා ප්‍රශ්න අතට ගනිමින් මහජනයාගෙන් හුදෙකලාවූ සටනකට යාම වරදක්" වූ බවය.

"එය දේශපාලන වරදක්" ඔහු පවසයි.

ඡායාරූප මූලාශ්‍රය, FACEBOOK.COM

ඡායාරූප ශීර්ෂ වැකිය,

අප්‍රියෙල් "මහනඩුවේ" දී රජයේ සාක්ෂිකරුවකු වූ නිමලසිරි ජයසිංහ-ලොකු අතුල (දකුණේ සිට දෙවැන්නා) ඇතුළු සැකකරුවන් කීපදෙනෙක්

"මේ අඩුපාඩුව අපි මුලපටන්ම දැක්කා. දැක්කා පමණක් නොවෙයි, අපේ ප්‍රකාශන මගින් අපි ඒ ගැන පෙන්වා දුන්නා" 1971 අවධියේ වෙනත් විප්ලවීය දේශපාලන සංවිධානයක ක්‍රියාකාරී වූ දයාපාල තිරාණගම පවසයි.

"ජනතා විමුක්ති පෙරමුණ ආරම්භයේ පටන්ම වැඩි බරක් දුන්නේ සන්නද්ධ වීම සම්බන්ධයෙනුයි. අවි ආයුධ එකතු කරන්න පටන්ගත්තා. පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමය සන්නද්ධ අරගලයක් මගින් පෙරලා දැමීම එකම දේශපාලන උපාය උපක්‍රම සහ භාවිතය බව ප්‍රදර්ශනය කළා. ඒ අනුව ඔවුන් සිටියේ නායකයන් විසින් නිර්මාණය කරන ලද ප්‍රහාරාත්මක ආකල්පයක" දයාපාල තිරාණගම පෙන්වා දෙයි.

"ලෙනින් කියනවා, 1917 වනවිට රුසියාව ධනපති ලෝකයේ දුර්වලම පුරුකය කියලා. ඔක්තෝබර් විප්ලවය වෙනවිට රුසියාවේ තිබුනේ සමස්ත සාර් පාලනය පෙරලා දැමීමේ සාමජමය උවමනාවක්. යුද්ධවලින් පීඩාවට පත් රුසියානු හමුදාවට පවා සාමය අවශ්‍ය කළ වාතාවරණයක්. ගොවීන්ට ඉඩම් සහ පොදුවේ ජනතාවට ආහාර (පාන්) සඳහා ඉල්ලුමක්. ධනපති ලෝකයේ ඒ දුර්වලම පුරුක තමයි, ලෙනින් ඔක්තෝබර් විප්ලවය ප්‍රකාශ කිරීමත් එක්කම කැඩී ගියේ."

වසන්ත දිසානායක සඳහන් කරන පරිදිම 1971 වනවිට එවැනි විප්ලවීය පරිසරයක් නොවූ බව දයාපාල තිරාණගම පවසයි.

විප්ලවයේ ප්‍රධාන කොන්දේසියක් වන්නේ එහි ගාමක බලවේගය වන කම්කරුන් පන්තිය මත පදනම්වූ විප්ලවීය දේශපාලන පක්‍ෂයක නායකත්වය බව පෙන්වාදෙන දයාපාල තිරාණගම, ජනතා විමුක්ති පෙරමුණට එවැනි කම්කරු පන්ති පදනමක් නොවූ බව විප්ලවකාරී කොමියුනිස්ට් සංගමයේ කීර්ති බාලසූරිය විසින් ද පෙන්වා දෙනු ලැබ ඇතැයි සඳහන් කළේය.

"රෝහණ විජේවීර 1959 කියුබන් විප්ලවයේ ආභාෂය ලබාගත්තා. ඇත්ත! කියුබන් විප්ලවයේ දී කම්කරු පන්ති නායකත්වයක් තිබුණේ නැහැ. නමුත් කම්කරුවන් ද ඇතුළුව විවිධ පීඩිත කොටස් සහ ගොවිජනයා කස්ත්‍රෝ සමඟ එකතු වුනා. බැටිස්ටා පාලනයට විරුද්ධව ගම්වාසීන්ගේ සහයෝගය ලැබුනා. බලය දිනාගැනීම මගින් පමණක් අරගලයක් විප්ලවයක් වෙන්නේ නැහැ. අඩුතරමින් ලංකාවේ වතු කම්කරුවන්වත් ජනතා විමුක්ති පෙරමුණත් සමඟ සිටියේ නැහැ" දයාපාල තිරාණගම පවසයි.

"ජනතා විමුක්ති පෙරමුණේ සටන් උපක්‍රමය සම්බන්ධයෙන් පමණක් නොවෙයි, ඔවුන්ගේ දේශපාලන න්‍යාය සම්බන්ධයෙනුත් මට 1971ට පෙර පටන්ම තිබුනේ නොඑකඟතාවක්. උදාහරණයක් විධියට පංති පහට ඇතුළත් 'ඉන්දියානු ව්‍යාපත්වාදය' දේශනය. එය සහමුලින්ම ලංකාවේ වැඩකරන ජනකොටසක් වන ඉන්දියානු සම්භවයක් සහිත වතුකම්කරු ජනයාගේ තත්වය විකෘති කිරීමක්. විප්ලවයකට පෙර සමාජයේ පන්ති සැකැස්ම පන්ති පදනම් හඳුනාගත යුතුයි. ඒත් ජනතා විමුක්ති පෙරමුණ ඒකට අසමත්වුනා," දයාපාල තිරාණගම සිය ස්ථාවරය පැහැදිලි කරමින් සඳහන් කළේය.

ඉන්දීය සම්භවයක් සහිත වතුකම්කරු ප්‍රජාවට එරෙහි මතවාදයක් දල්වන ලද බවට එල්ලකෙරෙන එවැනි විවේචන ජනතා විමුක්ති පෙරමුණ විසින් බැහැරකරනු ලබයි. බීබීසී සිංහල සේවය විසින් කරන ලද විමසීමක දී අදහස් දැක්වූ එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික බිමල් රත්නායක කියා සිටියේ, "කලාපයේ ඉන්දියානු ව්‍යාප්තවාදයක් සිදුවෙමින් පවතින බව යථාර්ථයක් වී ඇති" බවය.

"අපි එම දේශනය අයත් සටහන් කියවල තියෙනවා. 1975 දී නිකුත්කළ පක්ෂයේ ආරම්භක ප්‍රතිපත්ති ප්‍රකාශය ගත්තත් වතුකම්කරුවන්ට එරෙහිව යාමක් පෙන්නුම් කරන්නේ නැහැ. ඒ නිසා අපි ඒ චෝදනාව ප්‍රතික්‍ෂේප කරනවා. අනිත් කාරණය, ඉන්දියානු ව්‍යාප්තවාදය කියන යෙදුම අද නේපාලය සහ බංග්ලාදේශය වැනි අසල්වැසි රටවල් පවා පාවිච්චි කරනවා," ඔහු සඳහන් කළේය.

"අද එය එදාට වඩා යථාර්ථයක්. රටක ආර්ථිකය පුළුල් වෙනකොට එය විසාරණය වෙනවා," බිමල් රත්නායක පවසයි.

කෙසේවුවද, අප්‍රියෙල් නැගිටීමෙන් අනතුරුව 'ඉන්දියානු ව්‍යාප්තවාදය' පන්තිය කලක් න්‍යායික දේශනවලින් "ඉවත්කරන ලද" තත්වයක පැවති අතර, පසුව එය එහි සන්දර්භය වෙනස් කරනු ලැබ නව මුහුණුවරකින් ඉදිරිපත් කරනු ලැබ තිබුණි.

1987-89 අවධියේ ඉන්දියානු භාණ්ඩ පාවිච්චිය "දඬුවම් ලැබිය හැකි වරදක්" බවට පත්කරනු ලැබීම සම්බන්ධයෙන් අදහස් දක්වන බිමල් රත්නායක, ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාමාර්ගය යුක්ති සහගත කරමින් "බ්‍රිතාන්‍ය විරෝධී අරගලයේ දී ගාන්ධි බ්‍රිතාන්‍ය භාණ්ඩ වර්ජනය කරන ලෙස ඉල්ලා සිටීම" සිහපත් කළේය.

1971 පෙර පක්‍ෂය තුළ දිස්වූ න්‍යායික අඩුපාඩු නිවරැදි කර ගැනීමට අපි සිර ගෙවල් තුළ සිටියදීම අරගලයක නිරත වුනා. අපේ ප්‍රයත්නය වුනේ අඩුපාඩු හදා ගනිමින් වඩාත් නිවරැදි පක්ෂයක් ගොඩනගා ගැනීම. ස්වයං-විවේචනයක් මගින් වැරදි හදාගැනීමයි, අපේ අපේක්ෂාව වුනේ. හිරගෙවල් ඇතුලේ අපේ සංවාදයේ හරය වුනේ ඒකයි. නමුත් පක්ෂයක් වශයෙන් ජනතා විමුක්ති පෙරමුණ ඒකට සූදානම් වුනේ නැහැ. අන්තිමේදී අපි කණ්ඩායමක් 1971 සම්බන්ධයෙන් න්‍යායික විශ්ලේෂණයක් ලිවීම ආරම්භ කළා. 1977 දී ජේ.ආර් ජයවර්ධන විසින් අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභා පනත අහෝසි කළාට පස්සේ, නිදහස ලබා එලියට ආවට පස්සේ අපි එම විශ්ලේෂණය 'ජනතා සංගමයේ' ප්‍රකාශනයක් හැටියට කාණ්ඩ දෙකක් වශයෙන් ප්‍රකාශයට පත්කළා," වසන්ත දිසානායක පවසයි.

ඡායාරූප මූලාශ්‍රය, JVP

ඡායාරූප ශීර්ෂ වැකිය,

1988/89 භීෂණ සමයේ පුළුස්සා දමන ලද බස්රථයක්

ජනතා සංගමයේ ප්‍රකාශන ද්වය මගින් ප්‍රධාන කරුණු දෙකක් විශ්ලේෂණය කෙරෙයි. (අ)ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රභවය සහ එම අවධියේ පැවැති සමාජ ආර්ථික සහ දේශපාලන පසුබිම (ආ)අප්‍රියෙල් කැරැල්ල, සංවිධාන ව්‍යුහය, සටන් වැදීම සහ පසුබැසීම, සිර ගෙවල් තුළ සහ වනගතව යළි සංවිධානය වීම එමගින් විවරණය කෙරෙයි.

සටන් උපක්‍රමය වශයෙන් "එක්දින විසුරුණු අරගලය" ලංකාව වැනි රටකට වඩාත් උචිත බව අප්‍රියෙල් ප්‍රහාරය විවධ ඇසින් විවාදයට ගත් බන්ධනාගාර සංවාදයන්හි පොදු එකඟතාවක් සහිත කරුණකි.

"අප්‍රියෙල් ප්‍රහාරය සහ ඉන්පෙර සිදුවූ අත්වැරදීම් සම්බන්ධයෙන් ස්වයං-විවේචනයක් පක්ෂය සිදු කළේ නම්, 88-89 මහා විනාශයෙන් වැළකීමටත් එය හේතුවක් වනු ඇත යන්න වසන්ත දිසානායකගේ විශ්වාසයයි.

"අසූඅට අසූනවය වනවිට පක්‍ෂය ගමන්ගත් ස්ථානය නිවරැදි ප්‍රවේශයක් නොවෙයි. 1983 කළු ජූලියට ජනතා විමුක්ති පෙරමුණේ හෝ වෙනත් කිසිම වාමාංශික දේශපාලන පක්ෂයක කිසිම සම්බන්ධයක් නැහැ. ඒත් ඉන්පස්සේ ජනතා විමුක්ති පෙරමුණ ක්‍රියාත්මක වූ ආකාරය ජේ.ආර් ජයවර්ධනට ඔහුගේ යටි අරමුණ මුදුන්පත් කරගන්න ආධාරයක් වුනා. ඒ කියන්නේ ජනතා විමුක්ති පෙරමුණ විනාශකර දැමීම," වසන්ත දිසානායක තක්සේරු කරයි.

ඡායාරූප මූලාශ්‍රය, JR JAYEWARDENE CENTRE JRJC/FACEBOOK

ඡායාරූප ශීර්ෂ වැකිය,

ජනාධිපති ජේ.ආර් ජයවර්ධන 1977 දී බලයට පත්වීමෙන් අනතුරුව අප්‍රියෙල් කැරලිකරුවන් සිරගෙයින් මුදා හැරියේය. අනතුරුව 1983 දී ජවිපෙ තහනම් කරමින් 1988/89 අවධියේ දී විනාශකර දැමීමේ ඔහුගේ උපායට ජවිපෙ හසුවූ බව වසන්ත දිසානායක පවසයි

"අසූඅට අසූනවය වකවානුවේ ජනතා විමුක්ති පෙරමුණ අනුගමනය කළේ විප්ලවීය දේශපාලන පක්ෂයක කියාමාර්ග නොවෙයි. ඒවා 1971ට පෙර රෝහණ විජේවීර විසින් ද ප්‍රතික්‍ෂේප කරපු දේවල්. 88/89 සිද්ධවුණේ පීලිපැනීමක්. ඒක කෙළවර වුනේ විශාල විනාශයකින්,"

"ජේ.ආර්ට අවශ්‍ය කළේ ජනතා විමුක්ති පෙරමුණ තහනම් කරමින් දෙවනුව එය විනාශකර දැමීමයි."

"මම මේ මිනිස්සු (83 සැඟවුන ජවිපෙ නායකයන්) එළියට ගන්න උත්සාහ කළා. ජීවිත අනතුර නොතකා ඔවුන් සැඟවිලා ඉන්න තැන්වලට ගිහින් එළියට ගන්න හැදුවා," අප්‍රියෙල් "මහනඩුවේ" විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි අධිනීතිඥ ප්‍රින්ස් ගුණසේකර (අභාවප්‍රාප්ත) වරක් සඳහන් කළේය.

මහාචාර්ය ගාමිණී සමරනායක සඳහන් කරන පරිදි ජනතා විමුක්ති පෙරමුණම මහා විනාශයකට මුහුණදුන් ප්‍රචණ්ඩ දේශපාලනය නිදහසින් පසුව හඳුන්වාදෙන ලද්දේ අප්‍රියෙල් කැරැල්ල මගිනි.

"1971 කැරැල්ලෙන් ධනාත්මක කිසිවක් ලැබුණේ නැත. එහි ඉතිරිව ඇත්තේ උරුමයක් පමණි. කෙසේ වෙතත් එතැන් පටන් රටේ ප්‍රචණ්ඩත්වය වූ දේශපාලන ප්‍රචණ්ඩත්වයේ සංස්කෘතියක් නිර්මාණය විය," මාහාචාර්ය සමරනායක සඳහන් කරයි. (මූලාශ්‍රය: Political violence in the third world;A case study of Sri Lanka-1971-1987)

විසංවාදී මත රාශියක් ඇතත් අප්‍රියෙල් කැරැල්ලට සහභාගී වූ තරුණයන් තුළ දිදුලමින් පැවැති සමාජ සාධාරනත්වය සඳහා වූ කැපවීම එම නැගිටීම ප්‍රතික්ෂේප කරන්නවුන් පවා බැහැර නොකරති.

"1971 තරුණ කැරැල්ලෙන් පසුව එම කැරැල්ලේ තිබුණ සමාජ සාධාරණත්වවාදී අර්ථය" ගැන අපවත්වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමියන් ද ප්‍රසිද්ධියේම අදහස් පළ කළ බව අප්‍රියෙල් කැරැල්ලේ "මහනඩුවේ" විත්තිකරුවකු වූ මහාචාර්ය ජයදේව උයන්ගොඩ සඳහන් කරයි.

"අප මරා දැමුවද අප නැගූ හඬ සදා නොමියෙනු ඇතැයි" රෝහණ විජේවීර සඳහන් කළේය.

1971 අප්‍රියෙල් මාසයේ ඇසුන අවිහඬ නිවී ගියත් එමගින් සමාජය තුළ ඉතිරිකරන ලද දෝංකාරය පසුකාලීන ආර්ථික සහ දේශපාලන ප්‍රතිසංස්කරණ කෙරෙහි බලපෑමක් ඇතිකරන ලද බව වසන්ත දිසානායකගේ අදහසයි. 1972 ඉඩම් ප්‍රතිසංස්කරණය කෙරෙහි මෙන්ම ලංකාවේ තරුණයන් මුහුණදෙන ගැටලු දෙස විමර්ශනය පිණිස පසු කාලයේ බලයට පත්වූ ආණ්ඩුවලට කොමිෂන් සභා පත් කරනු ලැබීමට සිදුවූ බවත් ඔහු පෙන්වා දෙයි.

එහෙත් මහාචාර්ය ගාමිණී සමරනායකගේ සහ දයාපාල තිරාණගමගේ අදහස වන්නේ අප්‍රියෙල් නැගිටීම මගින් දේශපාලනය තුළ ප්‍රචණ්ඩත්වය මුදාහැරීමක් සහ මර්දනයකට මග හෙලිකිරීමක් මිස දැවැන්ත සමාජ සංවර්ධනයකට රට අවතීර්ණ නොවූ බවය.

"ඉඩම් ප්‍රතිසංස්කරණයට පෙර 1956 වකවානුවේ පවා කුඹුරු පනත වගේ ප්‍රගතිශීලී ප්‍රතිසංස්කරණ ඇති කර තිබෙනවා. ඒ නිසා ආර්ථික ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් 1971 කැරැල්ලට ලොකු මිලක් ගෙවීමේ අවශ්‍යතාවක් නැහැ," දයාපාල තිරාණගම පවසයි. ඒ වෙනුවට සිදුවුනේ කැරැල්ලෙන් අවරුදු හයකට පසු ජේ.ආර් ජයවර්ධන පාලනය විසින් රට මුළුමනින් නව ලිබරල් ආර්ථිකය දෙසට තල්ලුකර දැමීම බවත් ඔහු සඳහන් කළේය.

ඡායාරූප මූලාශ්‍රය, JVP

ඡායාරූප ශීර්ෂ වැකිය,

1988/89 භීෂණයෙන් අනතුරුව නැවත සංවිධානය වූ ජනතා විමුක්ති පෙරමුණේ මැයි රැළියක්

1971 නැගිටීමේ න්‍යායික මෙන්ම ප්‍රායෝගික වැරදීම් ඇතත් එහි වූ කැපවීම සහ අවංකභාවය මගින් පක්ෂය නැවත සාර්ථක මට්ටමින් ප්‍රතිෂ්ටාපනය කිරීමට පාඩම් ලද බව බීබීසී සිංහල සේවය කළ විමසීමක දී ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික බිමල් රත්නායක සඳහන් කළේය.

1971 නැගිටීමේ දී සටන්වැදුණ ජනතා විමුක්ති පෙරමුණේ "සටන්කාමීන්" කීපදෙනකු 1988-89 භීෂණ අවධියේ දී ජනතා විමුක්ති පෙරමුණ විසින්ම ඝාතනය කරන ලද බවට චෝදනා ඇත.

කෙසේවුවද, ජනතා විමුක්ති පෙරමුණ අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාව ඉදිරියේ අප්‍රියෙල් කැරැල්ලේ වගකීම භාරගත්තේ නැත. එහෙත් සිය පක්ෂ ඉතිහාසය විවරණය කරමින් මෙසේ සටහන් කරයි.

"මෙම අරගලය මගින් වීරයන් බිහි විය. 1971 අරගලයේදී සිය ජීවිත පරිත්‍යාග කළ බොහෝ දෙනා නොසිතූ විරූ සටන් ස්වභාවයක්, ධෛර්යයක් සහ වීරත්වයක් ප්‍රදර්ශනය කළහ," (මූලාශ්‍රය: History of the JVP -People Liberation front)

තවත් තොරතුරු;