ජෝර්ජ් ෆ්ලොයිඩ් මරණය: පොලිස් නිලධාරියා රෙගුලාසි කඩකළ බවට පොලිස්පතිගෙන් චෝදනා

George Floyd

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය,

''මිනිඅපොලිස්' පොලිස්පති මෙඩරියා අරඩොන්ඩෝ (Medaria Arradondo)

නිලධාරියා විසින් පොලිසිය අනුගමනය කළයුතු පිළිවෙත උල්ලංඝනය කරනු ලැබ ඇතැයි ඇමෙරිකාවේ 'මිනියාපොලිස්' නගරයේ පොලිස් ප්‍රධානියා පවසයි.

ඔහු එම ප්‍රකාශය කළේ ජෝර්ජ් ෆ්ලොයිඩ් මරණය සම්බන්ධයෙන් පෙරටයමින් පවතින නඩු විභාගයේ දී සාක්ෂි දෙමිනි.

පොලිස්පති මෙඩරියා අරඩොන්ඩෝ (Medaria Arradondo) සිය සාක්ෂියේදී සඳහන් කළේ, පොලිස් නිලධාරී චෝවින් විසින් ජෝර්ජ් ෆ්ලොයිඩ් මෙල්ල කරන ලද ආකාරය ''පොලිස් පුහුණුවට'' අයත් නොවන අතර එය ''පොලිසියේ ආචාරධර්ම සහ වටිනාකම්වලට සහතික ලෙසම පටහැණි වන '' බවය.

ෆ්ලොයිඩ් පසුගිය වසරේ මැයි මාසයේ පොලිස් අත්අඩංගුවේ දී අනතුරට ලක්ව රෝහල්ගත කරනු ලැබීමෙන් පසු මරණයට පත්වූ අතර ඉන් දින කීපයකට පසු ඊට වගකිවයුතු ඩෙරික් චෝවින් සහ තවත් පොලිස් නිලධාරීන් තුන්දෙනකු සේවයෙන් පහකිරීමට පොලිස්පති පියවර ගත්තේය.

කළු ජාතික ජෝර්ජ් ප්ලොයිඩ් අත්අඩංගුවට ගන්නා ලද අවස්ථාවේ සුදු ජාතික පොලිස් නිලධාරී ඩෙරික් චෝවින් සිය දණහිස යොදාගනිමින් බිම වැතිර සිටින ෆ්ලොයිඩ්ගේ ගෙල විනාඩි නවයක කාලයක් සිරකරගෙන සිටින ආකාරය වීඩියෝ පටයක සටහන්ව ඇති අතර එය ලෝක මට්ටමින් සුදු වර්ණභේදවාදයට එරෙහිව විරෝධතා ව්‍යාපාර පැතිරයාමට හේතුවිය.

ඊට අදාළ නඩු විභාගය සඳහා අඩුතරමින් මාසයක පමණවත් කාලය ගතවනු ඇතැයි අපේක්ෂා කෙරෙයි.

අත්අඩංගුවේ දී සිදුවෙන මෙවැනි මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් වැරදිකරුවන් ලෙස තීන්දු කිරීම ඇමෙරිකා එක්සත් ජනපදයේ අතිශයින් දුර්ලභ කරුණකි. එවැනි පරිසරයක් යටතේ ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතන නඩුවේ තීන්දුව ඇමෙරිකානු නීති ක්‍රම තුළ අනාගතයේ කටයුතු කෙරෙන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් ලැබෙන සංඥාවක් ලෙස සැලකෙයි.

ඡායාරූප මූලාශ්‍රය, DARNELLA FRAZIER

ඡායාරූප ශීර්ෂ වැකිය,

ඩෙරික් චෝවින් පොලිස්භටයා සිය දණහිසින් ජෝර්ජ් ෆ්ලොයිඩ් ගේ ගෙල සිරකරන ආකාරය

පොලිස්පති කියන්නේ මොනවාද?

පොලිස් නිලධාරී ඩෙරික් චෝවින්ගේ හැසිරීම ඔහුට ලබාදී ඇති පුහුණු වැඩපිළිවෙලට පටහැණි බව තහවුරු කිරීමට උත්සාහ කරමින් සිටින පැමිණිල්ලේ නීතිවේදීන්ගේ අවධානය යොමුවෙමින් පවතින්නේ, උද්වේගකාරී අවස්ථාවන්හිදී තත්ත්වයන් සමනය කිරීම සඳහා නිලධාරීන්ට උදව්වෙන පොලිස් දෙපාර්තම්න්තු මගපෙන්වීම් සහ උපායමාර්ග සම්බන්ධයෙන් ලබාදී ඇති පුහුණුව ගැන ප්‍රශ්න කිරීමටය.

'මිනියාපොලිස්' පොලිස්පති අරඩොන්ඩෝ අධිකරණය ඉදිරියේ සාක්ෂිදෙමින් ''පුද්ගලයකු රඳවාගනු ලැබීමෙන් අනතුරුව නිලධාරීන් විසින් එවැනි ආකාරයට බලය පාවිච්චි නොකළ යුතුව ඇතැයි'' සඳහන් කළේය.

''හතළිස් පස් වියැති පොලිස් නිලධාරී ඩෙරික් චෝවින් සිය බලය යොදනු ලැබ තිබෙන්නේ තවදුරටත් කිසිදු විරෝධයක් නොමැති අවස්ථාවක. පැහැදිලිවම ජෝර්ජ් ෆ්ලොයිඩ් ඔහුගේ ප්‍රතිචාරයක් නොදැක්වූ මොහොතක. ෆ්ලොයිඩ්ගේ සිරුරෙහි චලනයක්වත් නොමැති මොහොතක'' පොලිපතිවරයා පැවසීය.

''එම හැසිරීම කිසිදු අයුරකින් අපේ පොලිස් බලකායේ පුහුණු වැඩපිළිවෙලට අයත් හැසිරීමක් නොවෙයි. එය පොලිස් ආචාරධර්ම සහ වටිනාකම්වලට සහතික ලෙසම පටහැනියි''

ව්‍යාජ මුදල් නෝට්ටුවක් ගනුදෙනු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබන ජෝර්ජ් ෆ්ලොයිඩ් වැනි සැකකරුවකු අත්අඩංගුවට ගනු ලැබීමත් නිලධාරීන්ට ඉතා දුර්ලභ කාරණයක් වන බව පොලිස්පති අරඩොන්ඩෝ පවසයි.

''උද්ගතව පවතින තත්ත්වයෙන් ගොඩඒම සඳහා හැමවිටම අනුගමනය කළයුතු හොඳ පියවර වන්නේ කතාකිරීම'' යයි පෙන්වාදුන් පොලිස්පතිවරයා ''අවශ්‍යතාවක් පැනනැගුන විට මහජන සහයෝගය ඉල්ලා සිටීමට ද ඉඩකඩ පවතින'' බව සඳහන් කළේය.

විත්තිය වෙනුවෙන් පෙනීසිටින නීතිවේදී එරික් නෙල්සන් (Eric Nelson) පොලිස්පතිවරයාගෙන් හරස් ප්‍රශ්න අසන ලද අතර තත්ත්වයන් සමනය කිරීමේ දී පොලිස් නිලධාරී චෝවින් විසින් අවට සිටි පුද්ගලයන්ට ගම්මිරිස් සැර දියරය ඉසිනලද ආකාරයට නිලධාරීන් විසින් අවියක් උපයෝගී කරගැනීම පිළිබඳ විමසීය.

''සමහර වෙලාවට නිලධාරීන්ට තුවක්කුව එළියට ගන්න සිදුවෙනවා නේද? ඒයි!නුඹ මට ඇහුන්කන් නොදුන්නොත් මට නුඹට එරෙහිව බලය පාවිච්චිකරන්න වෙනවා කියල කියන්න වෙනවා නේද?'' විත්තියේ නීතිඥයා ප්‍රශ්න කළේය.

සැකකරුවකු දමනය කරගැනීම සඳහා ඇතැම් අවස්ථාවන්හි එවැනි පියවර ගැනීම පොලිස් පිළිවෙතට අනුකූල වන බවට පොලිස්පති අරඩොන්ඩෝ එකඟවිය.

අනතුරුව නීතිවේදියා පොලිස්පතිවරයාට විවිධ හැඩතල සහිත දර්ශනාවලියක් පෙන්වීය. වෛද්‍ය කණ්ඩායම පැමිණීමට පෙර පොලිස් නිලධාරී චෝවින් සිය දණහිස ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ බෙල්ලෙන් ඉවත්කොට උරහිස පෙදෙසට මාරුකරන ආකාරය පොලිස්පතිවරයා එම පින්තූර මගින් දැකගත්තේය.

පොලිස්පති අරඩොන්ඩෝ සේවයට බැඳී ඇත්තේ 1989 වසරේදීය. ඔහු 2017 වසරේ ''මිනියාපොලිස්'' ප්‍රදේශයේ පොලිස් ප්‍රධානියා ලෙස පත්වීම් ලද අතර හෙතෙම එම පදවියට පත්කරන ලද පළමු අප්‍රිකානු-ඇමෙරිකානු වැසියා වෙයි.

පසුගිය වසරේ ජූනි මාසයේ පොලිස්පතිවරයා ප්‍රකාශකර තිබුණේ ''ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ඛේදජනක මරණය මනා පුහුණුවක් නොවීම නිසා සිදු නොවූවක් බවය. නිලධාරීන්ට මනා පුහුණුවක් දී ඇති බව ඔහු සඳහන් කළේය. එම අවස්ථාවේ තවදුරටත් අදහස් දැක්වූ පොලිස්පති අරඩොන්ඩෝ, ෆ්ලොයිඩ්ගේ මරණය ''මනුෂ්‍ය ඝාතනයක්'' යයි පවසමින් වින්දිතයාගේ දිවියෙහි අවසන් මිනිත්තු කීපයෙහි ඔහුගෙන් විරෝධාත්මක ප්‍රතිචාරයක් නොවූ බව පොලිස් නිලධාරී චෝවින් දැනසිටි බවත් සඳහන් කළේය.

අරඩොන්ඩෝ පොලිස්පතිවරයා හිටපු නිලධාරියෙකුට එරෙහිව සාක්ෂි දුන් පළමු අවස්ථාව මෙය නොවේ. ඔහු සහකාර ප්‍රධානියා ලෙස කටයුතු කරමින් සිටියදී 2017 වසරේදී ඕස්ට්‍රේලියානු ජාතික කාන්තාවක වූ ජස්ටින් ඩේමන්ඩ් (Justine Damond) ඝාතනය කිරීම සම්බන්ධයෙන් මුරසංචාරක මොහොමඩ් නූර්ට එරෙහිව සාක්ෂි දී ඇත.

ඡායාරූප ශීර්ෂ වැකිය,

අතිරේක වෛද්‍ය කණ්ඩායමක් ෆ්ලොයිඩ් වැටීසිටින ස්ථානයට පැමිණි මොහොත

පොලිසියේ රැකවරණය

ඇමෙරිකානු පොලිස් නිලධාරීන්ට ප්‍රචණ්ඩ ලෙස හැසිරීමට අවසර ඇති අතර එය ඔවුන්ගේ රැකියාවේ කොටසක් ලෙස සැලකෙන බවත් සැකකරුවකු අත්අඩංගුවේ දී මරණයට පත්වූ විට පොලිස් නිලධාරියකු වරදකරු කරනු ලැබීම ඉතා දුර්ලභ කරුණක් බවත් මිනියාපොලිස්' ප්‍රදේශයේ BBC වාර්තාකාරිනී ටාරා මැක්ල්වේ (Tara McKelvey) පවසයි.

ඇමෙරිකා එක්සත් ජනපදයේ 2005-2014 කාලය ඇතුළත පොලිස් වෙඩිතැබීම් දහස් ගණනක් සිදුව ඇති අතර මිනීමැරීම හෝ අනියම් මිනීමැරීම සම්බන්ධයෙන් වැරදිකරුවන් කරනු ලැබ තිබෙන්නේ *පොලිස් නිලධාරීන් හතළිස් දෙනෙක් තරම් කුඩා සංඛ්‍යාවකි.

''සඳුදා අප්‍රියෙල් 05) ජෝර්ජ් ෆ්ලොයිඩ් නඩු විභාගය ආරම්භ වූ අවස්ථාවේ එම අමිහිරි තත්ත්වය අභිබවනය කිරීමට පැමිණිල්ලේ නීතිවේදීහු උත්සාහ කළහ. ප්‍රධාන සාක්ෂිකරුවකු වන පොලිස්පති අරඩොන්ඩෝ ඉදිරිපත්වීම දුර්ලභ කරුණකි. ඔහු හිටපු නිලධාරියකුට එරෙහිව ප්‍රසිද්ධියේ සාක්ෂිදුන් අතළොස්සක් පොලිස් ප්‍රධානීන්ගෙන් එක් තැනැත්තෙකි'' BBC වාර්තාකාරිනිය සිය විශ්ලේෂණයේ සඳහන් කරයි.

පොලිස්පති අරඩොන්ඩෝගේ සාක්ෂිය තුළ වුවද පැමිණිල්ලේ නීතිවේදීන්ට එරෙහි වූ අවාසි තත්ත්වයන් පවතින බවත් පොලිසිය නිරන්තරයෙන් බලය උපයෝගී කරගන්නා බව ජූරි සභිකයන් දන්නා අතර නිලධාරියකු සිය සීමාව ඉක්මවා යාම ඔවුන්ට ඒත්තු ගැන්වීම දුෂ්කර බවත් BBC වාර්තාකාරිනී ටාරා මැක්ල්වේ පෙන්වා දෙයි.

නඩුවට අදාළ තවත් තොරතුරු

ජෝර්ජ් ෆ්ලොයිඩ් 'හෙනෙපින් (Hennepin) ප්‍රාදේශීය වෛද්‍ය මධ්‍යස්ථානයට ගෙනෙනු ලැබීමෙන් පැය භාගයකට පසු ඔහුගේ මරණය ප්‍රකාශයට පත්කළ වෛද්‍ය බ්‍රැඩ්ෆර්ඩ් වැන්ක්හීඩ් ලැන්ගෙන්ෆෙල්ඩ් විසින් ඉදිරිපත් කරනලද සාක්‍ෂියට ද අධිකරණය සවන් දුන්නේය,

වෛද්‍යවරයාගේ විශ්වාසය වන්නේ ෆ්ලොයිඩ්ගේ මරණයට හේතුව ඔක්සිජන් නොලැබීමය. එම තත්ත්වය වෛද්‍ය විද්‍යාවේ හඳුන්වනු ලබන්නේ 'ඇස්ෆික්සියා' (asphyxia)යනුවෙනි.

ෆ්ලොයිඩ්ගේ මරණයට හේතුව හුස්ම හිරවීම බවට පැමිණිල්ලේ නීතිවේදීහු යෝජනා කරති. එය ''හදවත සහ පෙනහළු අක්‍රියවීම පුද්ගලයකුගේ මරණයට හේතුවෙන''("cardiopulmonary arrest") බවට වෛද්‍ය පරීක්ෂකවරයා විසින් කරන ලද නිගමනයට අභියෝග කිරීමකි.

චූදිත පොලිස් නිලධාරී ඩෙරික් චෝවින් වෙනුවෙන් පෙනීසිටින විත්තියේ නීතිඥවරුන්ගේ තර්කය වී තිබෙන්නේ ''මත්ද්‍රව්‍ය භාවිතය සහ දරුණු හෘදරෝගී තත්ත්වය ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණයට හේතුවී ඇති බවය.

වෛද්‍ය බ්‍රැඩ්ෆර්ඩ් වැන්ක්හීඩ් ලැන්ගෙන්ෆෙල්ඩ්ගේ සාක්ෂිදීම සිදුවූයේ ෆ්ලොයිඩ් අත්අඩංගුවට ගන්නා ලද ස්ථානයට පැමිණි සහන වෛද්‍ය කණ්ඩායමේ සාමාජිකයන් දෙදෙනකුගේ සාක්‍ෂිවලින් පසුවය. ඔවුන් එහි ළඟාවන විට ෆ්ලොයිඩ්ගේ සිරුරේ නාඩි ස්පන්දනය නොවූ අතර ඔහු හුස්ම ගන්නා බවක් දක්නට නොලැබුණ බවත් එම සාක්‍ෂිකරුවන් දෙදෙනා පවසා ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය,

ජෝර්ජ් ෆ්ලොයිඩ් ගේ මරණය ලෝක මට්ටමින් සුදු වර්ණභේදවාදයට එරෙහිව විරෝධතා ව්‍යාපාර පැතිරයාමට හේතුවිය.

ජෝර්ජ් ෆ්ලොයිඩ් මරණය ගැන තවත් තොරතුරු;