LG ජංගම දුරකථන නිෂ්පාදනය නවතා දමයි

Getty Images

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

තම ජංගම දුරකථන නිෂ්පාදන ව්‍යාපාරය වසා දැමීමට යන බව LG ඉලෙක්ට්‍රොනික්ස් සමාගම නිවේදනය කළේය.

වසර හයකට ආසන්න කාලයක් තිස්සේ තම ජංගම දුරකථන නිෂ්පාදන අංශය ඇමරිකානු ඩොලර් බිලියන 4.5ක පමණ සමස්ත පාඩුවක් ලබා ඇති බවත් ඒ පිළිබඳව පවතින සියලු විකල්ප කෙරෙහි තම අවධානය යොමු කරමින් සිටින බවත් LG සමාගම පසුගිය ජනවාරියේ දී පැවසීය.

LG ඉලෙක්ට්‍රොනික්ස්, දකුණු කොරියානු සමාගමකි.

ඡායාරූප මූලාශ්‍රය, LG

ඔවුන් සිය ජංගම දුරකථන සඳහා නවෝත්පාදන රැසක් හඳුන්වා දුන්නේය. ultra-wide angle කාච සහිත කැමරාව ඉන් ප්‍රධාන තැනක් ගනී.

ලෝකයේ ජංගම දුරකථන නිෂ්පාදනය කරන යෝධ සමාගම් සහිත ලැයිස්තුවේ තුන්වැනි ස්ථානය හිමිකර ගැනීමට වසර 2013 දී LG සමාගම සමත් විය.

කෙසේ වෙතත් එම සමාගමේ ප්‍රධානීන් පවසන්නේ ජංගම දුරකථන වෙළෙඳපොළ "ඇදහිය නොහැකි මට්ටමකින් තරඟකාරී" වූ බවය.

සැම්සුන් සහ ඇපල් ජංගම දුරකථන වෙළෙඳපොළේ ඉදිරියෙන්ම සිටියදී, තම නිෂ්පාදනවල මෘදුකාංග සහ දෘඩාංග ප්‍රශ්නවලට මුහුණ දීමට LG සමාගමට සිදුවිය.

ඡායාරූප මූලාශ්‍රය, LG

ඡායාරූප ශීර්ෂ වැකිය,

LG V50 (2019)

පාඩු ලබමින් සිටියදී තම ව්‍යාපාරයෙන් කොටසක් විකුණා දැමීමට සාකච්ඡා පැවැත්වුණු නමුත් පසුව ඒවා ද බිඳ වැටුණි.

උතුරු ඇමරිකානු කලාපීය රටවල ජනප්‍රියතම ජංගම දුරකථන ලයිස්තුවේ තවමත් තුන්වැනි ස්ථානයේ පසුවන්නේ LG නිෂ්පාදනයි. නමුත් අනෙකුත් රටවල වෙළෙඳපොළ ඔවුන්ගෙන් ගිලිහීගොස් ඇත.

උතුරු කොරියාවේ, දේශීය නිෂ්පාදනයක් ලෙස තවමත් පොදුවේ භාවිත කරන්නේ LG ජංගම දුරකතනයි.

"අතිශයින් තරඟකාරී ක්ෂේත්‍රයක් වන ජංගම දුරකථන නිෂ්පාදනයෙන් ඉවත් වීමට LG විසින් ගනු ලැබූ උපායමාර්ගික තීරණය හේතුවෙන්, විදුලි මෝටර් රථ උපාංග, ස්මාර්ට් ගෘහ උපාංග, රොබෝ සහ කෘත්‍රිම බුද්ධි තාක්ෂණය වැනි වර්ධනය වෙමින් පවතින වෙනත් සම්පත් කෙරෙහි අවධානය යොමු කිරීමේ අවස්ථාව සමාගමට ලැබෙනු ඇත." යනුවෙන් ඔවුන් නිකුත් කර ඇති නිවේදනයේ දැක්වේ.

Counterpoint නමැති සමීක්ෂණ ආයතනය නිකුත් කර ඇති වර්තාවක දැක්වෙන්නේ පසුගිය වසරේ Samsung සමාගම ජංගම දුරකථන මිලියන 256ක් නැව්ගත කරද්දී, LG සමාගම නැව්ගත කර ඇත්තේ දුරකථන මිලියන 28ක් පමණක් බවය.

ඡායාරූප මූලාශ්‍රය, LG

ඡායාරූප ශීර්ෂ වැකිය,

LG Wing (2020)

LG සමාගම සතුව නිෂ්පාදන අංශ පහක් පවතී. ඉන් කුඩාම අංශය වන්නේ LG ජංගම දුරකථන නිෂ්පාදන අංශයයි. එම අංශය ලබන වාර්ෂික ආදායම සමස්ත සමාගමේ ආදායමෙන් 7.4%ක් පමණි.

මේ වනවිට ගෝලීය වශයෙන් ජංගම දුරකථන සඳහා පවතින සමස්ත වෙළෙඳපොළෙන් LG දුරකථනවලට හිමිවන්නේ 2%කි.

පසුගිය කාලය ඇතුළත LG සිය ජංගම දුරකථන සඳහා නවෝත්පාදන උපාංග හඳුන්වා දෙමින් අනෙකුත් නිෂ්පාදන සමඟ තරඟ කිරීමට පියවර ගෙන තිබුණි.

විදුලි මෝටර් රථ සහ රුපවාහිනී යන්ත්‍ර

ඡායාරූප මූලාශ්‍රය, Magna

රූපවාහිනී යන්ත්‍ර සහ වෙනත් ගෘහ උපකරණ සඳහා පවතින වෙළෙඳපොළෙහි ශක්තිමත් ස්ථානයක් තවමත් LG නිෂ්පාදන සඳහා පවතී.

ලෝකයේ වැඩිම රුපවාහිනී යන්ත්‍ර ප්‍රමාණයක් අලෙවි වන ලැයිස්තුවේ දෙවැනි තැන හිමිවන්නේ LG සමාගමටය. එහි පළමු තැන සිටින්නේ සැම්සුන් සමාගමයි.

පසුගිය දෙසැම්බරයේ දී LG සමාගම, Magna International සමාගම සමඟ එක්වී හවුල් ව්‍යාපාරයක් වශයෙන් මෝටර් රථ ක්ෂේත්‍රයට පිවිසුණි. එමගින් සිදු කෙරෙන්නේ විදුලි බලයෙන් ක්‍රියා කෙරෙන මෝටර් රථ සඳහා අවශ්‍ය වන ප්‍රධාන උපාංග නිෂ්පාදනය කිරීමය.

කෙසේ වෙතත් LG ජංගම දුරකථන සඳහා අවශ්‍ය වන අමතර කොටස් සැපයීම දිගටම සිදු කෙරෙනු ඇත. දැනට පවතින LG දුරකථන සඳහා අවශ්‍ය වන මෘදුකාංග යාවත්කාලීන කිරීම් සහ පාරිභෝගික සේවා ද දිගටම පවත්වාගෙන යනු ලැබේ.

LG ජංගම දුරකථන නිෂ්පාදනය නතර කිරීමට නියමිතව ඇත්තේ එළැඹෙන ජූලි මාසය අවසානයේදී ය.

"ඉදිරියට පියවර තබමින්, LG සමාගම සිය මෝටර්රථ ක්ෂේත්‍රයේ ප්‍රවීනත්වය ඉහළ නංවාලමින්, ඊට අදාළ තාක්ෂණය දියුණු කර ගනිමින්, 6G වැනි තාක්ෂණය ශක්තිමත් කරමින් අනෙකුත් ව්‍යාපාරවල තරගකාරිත්වය වැඩි කර ගැනීමට දිගටම කටයුතු කරනවා." LG සමාගමේ ප්‍රකාශකයා පැවසීය.

විශ්ලේෂකයන් පවසන්නේ, දුරකථන නිෂ්පාදනයෙන් LG ඉවත් වීමේ වැඩි වාසිය දකුණු කොරියානු තරඟකරුවා වන Samsung සහ Oppo, Vivo, Xiaomi ආදී චීන සමාගම් විසින් හිමිකර ගනු ලබනු ඇති බවය.

කොරෝනා වසංගතය හේතුවෙන් ජංගම දුරකථන නිෂ්පාදකයන් බොහෝ අසීරුතාවන්ට මුහුණ දුනි. ලොක්ඩවුන් සීමා හේතුවෙන් අලෙවිසල් වසා දැමීමට සිදු වූ අතර 2020දී අලෙවිය 10%කින් පහත වැටුණි.