ඉන්දියාවේ කොවිඩ් අර්බුදය ලොව කොවැක්ස් එන්නත් වැඩසටහනට බලපාන හැටි

People sit in an observation area after being inoculated with a dose of the Chinese-made Sinopharm Covid-19 coronavirus vaccine as government imposed travel restrictions and weekend lockdown to curb the spread of Covid-19 coronavirus in Colombo on May 16, 2021. (Photo by LAKRUWAN WANNIARACHCHI / AFP) (Photo by LAKRUWAN WANNIARACHCHI/AFP via Getty Images)

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඉන්දියාවේ තවදුරටත් පවතින කොවිඩ් අර්බුදය හේතුවෙන් ජාත්‍යන්තර කොවැක්ස් එන්නත් වැඩසටහන සඳහා එන්නත් මාත්‍රා මිලියන 140 ක හිඟයක් ඇතිව තිබේ.

කොවැක්ස් යනු කොවිඩ් එන්නත් ලබා ගැනීමට සමාන අවස්ථා හිමි කර ගැනීම සහතික කරනුවස් හඳුන්වා දී ඇති ජාත්‍යන්තර එන්නත් වැඩසටහනයි.

කොවැක්ස් වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට ද ඇස්ට්‍රාසෙනෙකා එන්නත් 264,000 ක් ලැබී තිබිණි.

කොවැක්ස් වැඩසටහනේ විශාලතම තනි එන්නත් සැපයුම්කරු ඉන්දියාවේ සීරම් ආයතනයයි (SII ලෙස ද හැඳින්වේ). මාර්තු මස එරට අපනයන අත්හිටුවීමත් සමග සීරම් ආයතනය පෙර සැලසුම් කර තිබූ එකඳු නැව්ගත කිරීමක් හෝ සිදු කර නොමැත.

කොවැක්ස් වැඩසටහන වෙනුවෙන් එන්නත් මිලදී ගෙන බෙදා හරිනු ලබන්නේ එක්සත් ජාතීන්ට අනුබද්ධ යුනිසෙෆ් සංවිධානය විසිනි.

G7 සහ යුරෝපා සංගමයේ සාමාජික රටවල් සතු එන්නත් මාත්‍රා, සෙසු රටවල් සමග බෙදා ගන්නා ලෙස යුනිසෙෆ් සංවිධානය එම රටවල නායකයන්ගෙන් ඉල්ලා සිටියි.

ඔවුන් ලබන මස එක්සත් රාජධානියේ දී හමුවීමට නියමිතය.

තමන්ගේම වැසියන්ට එන්නත් ලබා දීමේ වගකීම සපුරාලන අතරේ ඉහත කී රටවල් එක්ව සෙසු රටවලට එන්නත් මාත්‍රා මිලියන153 ක් ප්‍රදානය කිරීමේ හැකියාවක් ඇති බව තමා විසින් ලබා ගන්නා ලද දත්ත මගින් පෙනෙන්නට ඇතැයි යුනිසෙෆ් සංවිධානය පවසයි.

'විශාල කනස්සල්ලක්'

වීඩියෝ ශීර්ෂ වැකිය,

කොවිඩ් 19 ; ඇස්ට්‍රා සෙනෙකා පළමු මාත්‍රාව ලබා ගත් අයට ඇති විකල්ප මොනවාද ?

සීරම් ආයතනය, කොවැක්ස් වෙත සැපයීමට තිබූ එන්නත් බිලියන දෙකෙන් අඩක් පමණ මේ වසර තුළදී ලබා දීමට නියමිතව තිබිණි. එහෙත් මාර්තු, අප්‍රේල් හෝ මැයි යන මාස සඳහා සැපයුම් ලැබී නොමැත. ජුනි අග වන විට මාත්‍රා හිඟය මිලියන 190 දක්වා වර්ධනය වෙතැයි බලාපොරොත්තු පළ වේ.

"අවාසනාවකට, මීළඟ මාත්‍රා තොගය ලැබෙන්නේ කවදාද යන්න කිව නොහැකි තැනක අප ඉන්නේ," යනුවෙන් යුනිසෙෆ් හි කොවැක්ස් සැපයුම පිළිබඳ සම්බන්ධීකාරක ගියාන් ගාන්ධි පැවසීය.

"දේවල් යථා තත්ත්වයට පත් වෙතැයි අපි බලාපොරොත්තු වෙනවා. එහෙත් ඉන්දියාවේ තත්ත්වය අවිනිශ්චිතයි.... ඒ වගේම විශාල කනස්සල්ලක් තිබෙන්නේ,"

තමා සතු අතිරේක එන්නත් සැපයුම් හැකි ඉක්මනින් පරිත්‍යාග කරන ලෙස යුනිසෙෆ් සංවිධානය G7 සාමාජික රටවල් වන කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය මෙන්ම යුරෝපා සංගමයේ සාමාජික රටවලින් ද ඉල්ලා සිටියි.

ඇතැම් රටවල් සිය ජනගහනය මෙන් කිහිප ගුණයක් එන්නත් ඇනවුම් කර තිබේ. එක්සත් රාජධානිය, එක්සත් ජනපදය සහ කැනඩාව ද ඒ අතර වෙති.

එක්සත් රාජධානිය සතු අතිරේක සැපයුම්වලින් වැඩි කොටසක් වඩාත් දුප්පත් රටවලට ප්‍රදානය කිරීමට බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් පෙබරවාරි මසදී පොරොන්දු විය. එහෙත් ඔහු එය ක්‍රියාත්මක කෙරෙන නිශ්චිත කාලයක් පිළිබඳ සඳහන් කර නොමැත. එක්සත් ජනපදය සම්බන්ධයෙන් ද ඇත්තේ ඒ හා සමාන කතාවකි. ඉන්දියාවේ අර්බුදය දැක මේ දක්වා මාත්‍රා ප්‍රදානය කර ඇති එකම G7 සාමාජික රට ප්‍රංශයයි.

ඡායාරූප මූලාශ්‍රය, Unicef/Panday

ඡායාරූප ශීර්ෂ වැකිය,

නේපාලයේ කොවැක්ස් බෙදා හැරීම

ජුනි, ජුලි සහ අගෝස්තු යන මාසයන්හි සිය මාත්‍රා සැපයුමෙන් 20% ක් ප්‍රදානය කිරීමෙන් වඩාත් දුප්පත් රටවල එන්නත් හිඟය අවම කිරීමට ධනවත් සහ ප්‍රබල G7 රටවලට හැකි බව යුනිසෙෆ් පවසයි.

ජුනි මැද වන විට මාත්‍රා ලක්ෂ පහක් ලබා දීමට ප්‍රංශය පොරොන්දු වී ඇති අතර ඉදිරි සතිවලදී සිය දේශීය සැපයුම්වලින් මාත්‍රා ලක්ෂයක් ලබා දීමට බෙල්ජියම පොරොන්දු වී තිබේ.

සිය සැපයුම් සෙසු රටවල් හා බෙදා ගැනීමට පොරොන්දු වී ඇති අතලොස්සක් රටවල් අතර ස්පාඤ්ඤය, ස්වීඩනය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය ද වෙති.

ඉන්දියාවේ සිදුවෙමින් පවතින දේ ඒ අසල සහ කලාපයෙන් බැහැර සෙසු රටවල ද සිදුවීමට ඇති හැකියාව පිළිබඳ විශාල සැලකිල්ලක් යොමු වේ.

"නේපාලය, ශ්‍රී ලංකාව සහ මාලදිවයින... ඒ වගේම ආජන්ටිනාව සහ බ්‍රසීලය වැනි රටවල විශාල වශයෙන් රෝගීන් හමු වෙන අතරේ ඒවායේ සෞඛ්‍ය පද්ධතිය දුෂ්කර සටනක යෙදී සිටිනවා," යනුවෙන් යුනිසෙෆ් හි අධ්‍යක්ෂිකා හෙන්රියෙටා ෆෝ පැවසීය.

"ළමුන් සහ පවුල්වලට සිදුවන හානිය ගණනය කරන්න බැරි වේවි,"

එන්නත් ගැටලුව තවත් ඉහළ යාම

කොවැක්ස් වැඩසටහන හරහා ලැබෙන එන්නත් මත වැඩි විශ්වාසයක් තබා ඇති ඇතැම් රාජ්‍යයන් අතර අප්‍රිකානු රටවල් ද වෙති.

එහෙත් ලොව බොහෝ කොටස්වල මෙන් එහිද ඇතැම් ප්‍රජාවන් අතර එන්නත ලබා ගැනීමට පැකිලෙන ස්වභාවයක් දක්නට ඇත. එන්නත ජනතාවගේ අතටම පත් කර දීම තවත් ප්‍රධානතම අභියෝගයකි: ඒ සඳහා සෞඛ්‍ය සේවකයන්ට විශේෂ පුහුණුවක් ලබා දිය යුතු අතර එන්නත් අඩංගු කුප්පි යටිතල පහසුකම් අඩු, දුරබැහැර හෝ ප්‍රත්‍යන්ත ප්‍රදේශ වෙත ප්‍රවාහනය කළ යුතුවේ.

මේ වන විටත් පළමු එන්නත ලබා දී ඇති, වඩාත් අනතුරුදායක කාණ්ඩයේ සිටින පුද්ගලයන්ට දෙවෙනි එන්නත ලබා දෙනවාද නැතිනම් මීළඟ එන්නත් තොගය නුදුරේම ලැබෙනු ඇතැයි යන අපේක්ෂාවෙන්, සැලසුම් කළ පරිදි තවත් පුද්ගලයන්ට දිගටම එන්නත් ලබා දෙනවාද යන්න තීන්දු කිරීමට ඇතැම් රටවලට සිදුව ඇත.

"බොහෝ අප්‍රිකානු රටවල සෞඛ්‍ය සේවකයන් සහ අත්‍යවශ්‍ය සේවාවල යෙදෙන පුද්ගලයන්ට තවමත් එන්නත් ලබා දිය යුතු තත්ත්වයක අපි ඉන්නේ," යනුවෙන් ගියාන් ගාන්ධි පැවසීය.

"එසේ වුවත් ඉහළ ආදායම් සහිත රටවල් යෞවන වියේ පසුවෙන්නන් වැනි කොවිඩ් අවදානම අඩු ජනයාට එන්නත ලබා දෙමින් සිටිනවා,"

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන පරිදි රුවන්ඩාව, සෙනගාලය සහ ඝානාව ඇතුළු ඇතැම් රටවල් තමන් සතුව තිබූ අවසන් මාත්‍රා ලබා දෙමින් සිටිති.

අප්‍රිකාවේ කොවැක්ස් ලබා දීම

  • බොට්ස්වානා, ඝානා, රුවන්ඩා සහ සෙනගාලය ඇතුළු අප්‍රිකානු රටවල් හතක් සම්පූර්ණනම පාහේ ඔවුන් සතුව තිබූ කොවැක්ස් එන්නත් භාවිත කර ඇත.
  • කෙන්යාව සහ මාලාවි කොවැක්ස් එන්නත්වලින් 90% පමණ භාවිත කර තිබේ.
  • කේප් වර්ඩ් සහ ගැම්බියාව කොවැක්ස් එන්නත්වලින් 60% පමණ භාවිත කර ඇත.
  • ප්‍රජාතන්ත්‍රවාදී කොංගෝ ජනරජය විසින් අප්‍රිකාවේ සෙසු රටවල් වෙත කොවැක්ස් මාත්‍රා මිලියන 1.3 ක් නැවත බෙදා හරිනු ලැබ තිබේ. ජුනි මස කල් ඉකුත් වීමට නියමිත එම මාත්‍රා තොගය ඊට පෙර සම්පූර්ණයෙන් භාවිත කර අවසන් කිරීමට නොහැකි බැවින් කොංගෝව එවැනි පියවරකට යොමු විය.

මූලාශ්‍රය: ලෝක සෞඛ්‍ය සංවිධානය

"ඉන්දියාවේ තත්ත්වය ගැන අපි ඇත්තෙම දුකට පත් වෙනවා," ලෝක සෞඛ්‍ය සංවිධානයේ, අප්‍රිකාවේ ප්‍රතිශක්තීකරණ සහ එන්නත් වැඩිදියුණු කිරීමේ වැඩසටහනේ වෛද්‍ය රිචර්ඩ් මිහිගෝ පවසයි.

"අපේ කොවැක්ස් මාත්‍රාවලින් (මිලියන 18) වැඩි ප්‍රමාණයක් මෙතෙක් පැමිණ තිබෙන්නේ ඉන්දියාවෙන්,"

"ප්‍රමාණවත් තරම් එන්නත් තිබෙන රටවල් ඒවා බෙදා හදා ගැනීමට සහාය දීමේ ගෝලීය ප්‍රතිඥාව රැකීම අතිශය වැදගත් කියා මා සිතනවා. මක්නිසාද යත් සෑම තැනකම වෛරසය පැතිරීම අප නවතා නොදැමුවොත්, ජනතාවට සම්පූර්ණයෙන්ම එන්නත ලබා දී ඇති ස්ථානවල පවා මේ වසංගතය අවසන් කිරීම අතිශය දුෂ්කර විය හැකියි."

මොකක්ද මේ කොවැක්ස්?

  • 2021 අවසාන වන විට කොවිඩ්-19 එන්නත් මාත්‍රා බිලියන 2 ක් බෙදා හැරීම කොවැක්ස් වැඩසටහනේ අරමුණය.
  • සියලුම රටවල් සිය ජනගහනයෙන් අවම වශයෙන් 20% කට එන්නත් ලබා දෙන තෙක් මොනයම් රටකට හෝ එහි ජනගහනයෙන් 20% ක ප්‍රතිශතය ඉක්මවා එන්නත් බෙදා හරිනු නොලැබේ.
  • වැඩසටනට සහභාගී වන රටවල් 122 කට මේ දක්වා මාත්‍රා මිලියන 60 ක් පමණ බෙදා හරිනු ලැබ ඇත.
  • ලෝක සෞඛ්‍ය සංවිධානය, 'Gavi' සහ 'Cepi' සම නායකත්වයෙන්, මූලික වශයෙන් එන්නත් බෙදා හරිනු ලබන්නේ යුනිසෙෆ් විසිනි.

කොවැක්ස් වැඩසටහන යළි නියමිත ඉලක්කය වෙත යොමු කර ගැනීමේ උත්සාහයක් වශයෙන් වෙනත් එන්නත් සැපයුම්කරුවන් සහ නිෂ්පාදකයන් අතර අලුතින් එකඟතාවන්ට පැමිණීම සඳහා කටයුතු කෙරෙමින් පවතී. එහෙත් ඉන්දියාවෙන් ලැබීමට නියමිතව තිබූ හිඟ එන්නත් ප්‍රමාණය එළඹෙන සතිවලදී සපුරා ගැනීමට එම කිසිඳු ගිවිසුමකට හැකියාවක් නොමැත.

වඩාත් දුගී රටවල් සඳහා එම හිඟ එන්නත් ප්‍රමාණය පියවා ගැනීමට මේ මොහොතේ ඇති එකම මග වන්නේ වඩා ධනවත් රටවල් විසින් සිය අතිරික්ත ඇනවුම්වලින් කොටසක් පරිත්‍යාග කරනු ලැබීම පමණි.

(ගෝලීය සෞඛ්‍ය වාර්තාකාරිනී ටියුලිප් මසුම්දර්ගේ වාර්තාවක් ඇසුරෙනි)