තාලිබාන් : මේ කවුද?

Getty Images

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

එක්සත් ජනපදයේ මෙහෙයවීම යටතේ පැවති ඒකාබද්ධ හමුදාව විසින් ඇෆ්ගනිස්ථානය තාලිබාන් පාලනයෙන් මුදවා ගනු ලැබුණේ 2001 වසරේදීය.

නමුත් තාලිබාන්වරු මෑතකදී සිය සටන තීව්ර කළ අතර මේ වන විට නැවතත් රටේ පාලනය සියතට ගෙන තිබේ.

දශක දෙකක යුද්ධයකින් පසුව තම හමුදා ඇෆ්ගනිස්ථානයෙන් ඉවත්කර ගැනීම සැප්තැම්බර් 11වැනිදා වන විට සම්පුර්ණ කිරීමට නියමිතව තිබියදී තාලිබාන් සටන්කරුවෝ රටේ ප්‍රධාන නගර අත්පත් කර ගත්හ. දැන් ඔවුහු කාබුල් අගනුවර පාලනය අත්පත්කරගෙන සිටිති.

තාලිබාන් සංවිධානය සහ එක්සත් ජනපදය සෘජු සාකච්ඡාවකට අවතීර්ණ වූයේ 2018දීය.

2020 වසරේ පෙබරවාරි මාසයේදී දෙපාර්ශවය අතර ගිවිසුමක් අත්සන් කෙරුණි. තම හමුදා ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් කර ගැනීමට එක්සත් ජනපදය එමගින් එකඟ වූ අතර විදෙස් හමුදාවට පහරදීම නතර කිරීමට තාලිබාන්වරු එකඟ වූහ.

තම පාලනයේ පවතින ප්‍රදේශවල අල් ඛයීඩා හෝ වෙනත් සන්නද්ධ කණ්ඩායම් ක්‍රියාත්මක වීමට ඉඩ නොදෙන බවටත් ජාතික සාම සාකච්ඡාවලට අවතීර්ණ වන බවටත් තාලිබාන් සංවිධානය තවදුරටත් ප්‍රතිඥා දුන්හ.

නමුත් මේ වසර තුළදී, ඇෆ්ගන් හමුදා සහ සාමාන්‍ය ජනතාව ඉලක්ක කර ගනිමින් තාලිබාන් ප්‍රහාර දිගටම රටපුරා දියත් විය.

බලයට පැමිණීම

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

තාලිබාන් යන වචනය පශ්ටෝ භාෂාවෙන් 'ශිෂ්‍යයෝ' ලෙසින් අර්ථ දැක්විය හැකිය. මෙම සංවිධානය මතුවූයේ 90 දශකයේ මුල් භාගයේදී ය. එය සිදුවූයේ සෝවියට් හමුදා ඇෆ්ගනිස්ථානයෙන් ඉවත්වීමෙන් අනතුරුවය.

මේ වකවානුවේ දී ආගමික ආයතන තුළ 'පශ්ටුන් සංවිධාන' බිහිවූ අතර සෞදි අරාබියෙන් ලැබුණු මුදල් ආධාර මත එම සාමාජිකයන් හට සුන්නි ඉස්ලාම් දහම ඉගැන්වූ බව විශ්වාස කෙරේ.

තාලිබාන් සංවිධානයේ පොරොන්දුව වූයේ තමන් බලයට පත්වූ වහාම ෂරියා ඉස්ලාම් නිකායේ දැඩි නීති හඳුන්වාදෙමින් රටේ සාමය සහ ආරක්ෂාව තහවුරු කිරීමය.

ඇෆ්ගනිස්ථානයේ නිරිතදිග ප්‍රදේශයෙන් තලිබාන් බලපෑම ආරම්භ විය. 1995 සැප්තැම්බරය වන විට ඔවුහු ඉරාන දේශ සීමාව අද්දර පිහිටි හෙරාට් ප්‍රාන්තය අත්පත් කර ගත්හ.

ඉන් පසුව හරියටම වසරක් ගෙවී යත්ම එවකට බලයේ සිටි ජනාධිපති රබ්බානි ගේ රෙජීමය පෙරලා දමා කාබුල් අගනුවර අල්ලා ගත්හ. රබ්බානි යනු, සෝවියට් හමුදාවට එරෙහිව සටන් වැදුණු ඇෆ්ගන් මුජහිදීන් සංවිධානයේ ආරම්භක නායකයෙකි.

1998 වන විට ඇෆ්ගනිස්ථානයේ 90%ක භූමි ප්‍රදේශයක් පැවතියේ තාලිබාන් සංවිධානයේ පාලනය යටතේය.

සෝවියට් හමුදාව රටින් පලවා හැරීම සඳහා මුජහිදීන්වරු සටන් වැදුන ද රටේ පවතින දූෂණය සහ අවනීතිය තුරන් කරන බවට පොරොන්දු වූ තාලිබාන්වරුන්ට වැඩි කැමැත්තක් දැක්වීමට ඇෆ්ඝන් ජනතාව මුලදී පෙළඹුණි.

නමුත් ඔවුහු ද ෂරියා නීතිය යටතේ දැඩි දඬුවම් හඳුන්වා දීමට පටන් ගත්හ.

ඔවුන්ගේ බලපෑම ඉක්මනින් විහිදුණි. මනුෂ්‍ය ඝාතනවලට සහ ස්ත්‍රී දූෂණවලට වැරදිකරුවන් වුවන් ප්‍රසිද්ධියේ එල්ලා මැරීම සහ සොරකම් කළවුන්ගේ අතපය කපා දැමීම වැනි ඉස්ලාමීය දඬුවම් දියත් කිරීමට ඔවුහු ක්‍රියා කළහ.

පිරිමි රැවුල වැවිය යුතු විය. ස්ත්‍රීන් මුහුණ සහ සිරුර වැසෙන පරිදි බුර්කාව ඇඳිය යුතු විය.

තාලිබාන්වරු රුපවාහිනිය, සංගීතය සහ සිනමාව ද තහනම් කළහ. වයස අවුරුදු 10ට වැඩි ගැහැණු ළමුන්ට පාසල තහනම් විය.

මානවහිමිකම් උල්ලංඝනය කරන බවටත් සංස්කෘතික උරුමයන්ට හානි පමුණුවන බවටත් තාලිබාන්වරුන්ට චෝදනා එල්ල විය.

මේ සම්බන්ධයෙන් දිය හැකි කුප්‍රකට ම උදාහරණයක් වන්නේ ඇෆ්ගනිස්ථානයේ මධ්‍යම ප්‍රදේශයේ පැවති දැවැන්ත බුදු පිළිම විනාශ කිරීමය. ජාත්‍යන්තරයෙන් එල්ල වන විරෝධතා නොතකා එම බුදු පිළිබ විනාශ කර දමන ලද්දේ 2001 වසරේදීය.

තාලිබාන් ව්‍යාපාරය තැනීමට පකිස්තානය මුල්වූ බවට නැගෙන චෝදනා පකිස්තානය දිගින් දිගටම ප්‍රතික්ෂේප කළේය. නමුත් තවමත් එය සැක සහිත වන්නේ, තලිබාන් ව්‍යාපාරයට මුලින්ම එක්වූ සාමාජිකයන්ගෙන් බොහෝ දෙනෙකු පකිස්තානයේ මද්‍රසා ආගමික පාසල්වල අධ්‍යාපනය ලැබූ ඇෆ්ගන් ජාතිකයන් වීම නිසාය.

තලිබාන්වරු බලයේ සිටියදී එම පාලනය පිළිගත් රටවල් තුන අතර පකිස්තානය ද සිටීම තවත් විශේෂත්වයකි. අනෙක් රටවල් දෙක වූයේ සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයයි.

එමෙන්ම, තාලිබාන්වරු සමඟ පැවතුණු රාජ්‍යතාන්ත්‍රික සබඳතා අතහැර දැමීම සඳහා තීරණය කළ අවසාන රට වූයේ ද පකිස්තානයයි.

පකිස්තානය අස්ථාවර කරන බවට තාලිබාන්වරු වරෙක තර්ජනය කළහ. තාලිබාන්වරුන් විසින් පකිස්තානයේ දියත් කරනු ලැබූ ප්‍රහාර අතරින් ජාත්‍යන්තර හෙළාදැකීමට වැඩි වශයෙන් ම භාජනය වූයේ මලාලා යුසෆ්සායි පාසල් ශිෂ්‍යාවගේ හිසට වෙඩි තැබීමයි. මෙය සිදු වූයේ 2012 ඔක්තෝබරයේ දීය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය,

මලාලා යුසෆ්සායි

කෙසේ නමුත්, පෙෂාවාර් හි පාසලක සිදුවූ සමූහ ඝාතනයෙන් දෙවසරකට පසුව තාලිබාන්වරුන්ට එරෙහිව දියත් වූ හමුදා මෙහෙයුම් වලින් පකිස්තානය තුළ තාලිබාන් බලපෑම දුර්වල විය.

2013 දී එක්සත් ජනපද හමුදාව දියත් කළ ගුවන් ප්‍රහාරවලින් පකිස්තානු තාලිබාන් ව්‍යාපාරයේ ඉහළම තනතුරු දැරූ පුද්ගලයන් තිදෙනෙකුවත් මරණයට පත්වූහ. මෙසේ මරණයට පත්වූවන් අතර පකිස්තානු තාලිබාන් කණ්ඩායමේ නායක හකිමුල්ලාහ් මෙහ්සුඩ් ද විය.

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය,

හකිමුල්ලාහ් මෙහ්සුඩ්

අල් ඛයීදා 'අභයභූමිය'

නිව්යෝර්ක් නුවර ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ ද්විත්ව කුළුණට 2001 සැප්තැම්බර් 11 වැනිදා එල්ල වූ ප්‍රහාරයෙන් පසුව මුළු ලෝකයම ඇෆ්ගනිස්ථානයේ තාලිබාන් ව්‍යාපාරය වෙත දෙනෙත් යොමු කළහ.

මෙම ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු වූ ඔසාමා බින් ලාඩන් ට සහ ඔහුගේ අල් ඛයීඩා සංවිධානයට 'අභයභූමියක්' සැපයු බවට තාලිබාන් සංවිධානයට චෝදනා එල්ල විය.

2001 ඔක්තෝම්බර් 7 වැනිදා එක්සත් ජනපදය ප්‍රමුඛ ඒකාබද්ධ හමුදා ඇෆ්ගනිස්ථානයේ තාලිබාන් සංවිධානයට එරෙහිව මෙහෙයුම ආරම්භ කළහ. ඒ වසරේ දෙසැම්බරයේ පළමු සතිය වන විට තාලිබාන් රෙජීමය බිඳ වැටුණි.

එවකට තාලිබාන් නායකයා වූ මුල්ලාහ් මොහමඩ් ඕමාර් ඇතුළු ජ්‍යෙෂ්ඨ නායකයන් මෙන්ම ඔසාමා බින් ලාඩන් ද පලා ගියහ.

බොහෝ තාලිබාන් නායකයෝ පකිස්තානයේ ක්වෙටා නගරයට පලාගොස් එහි සිට තාලිබාන් ව්‍යාපාරය මෙහෙයවන්නට පටන් ගත්හ. මෙය "ක්වෙටා ශුරා" නමින් හැඳින්විණි. නමුත් එවැන්නක් පවතින බව පකිස්තානය ප්‍රතික්ෂේප කළේය.

විශාලතම විදෙස් හමුදා ඛණ්ඩය යොදවා තිබුන ද තාලිබාන් ව්‍යාපාරය යළි හිස ඔසවන්නට විය. ඇෆ්ගනිස්ථානයේ ඇතැම් ප්‍රදේශ අස්ථාවර කරන්නට ඔවුහු සමත් වූහ. රට අනාරක්ෂිත වෙමින් පැවතුණි. ප්‍රචණ්ඩ ක්‍රියා නැවත උත්සන්න විය.

කාබුල් අගනුවරට ද ප්‍රහාර එල්ල වන්නට පටන් ගත්තේය. 2012 දී නේටෝ කඳවුරකට ද දැඩි ප්‍රහාරයක් එල්ල විය.

සිය කාර්යාලයක් කටාර් රාජ්‍යයේ විවෘත කරන බව 2013 දී තාලිබාන් සංවිධානය නිවේදනය කිරීමෙන් අනතුරුව සාමය සඳහා ගනුදෙනුවක් පිළිබඳව අපේක්ෂා මතුවන්නට විය.

නමුත් සියලු දෙනාගේ අවිශ්වාසය තහවුරු කෙරෙන පරිදි තාලිබාන් ප්‍රහාරයන් සහ ප්‍රචණ්ඩ ක්‍රියා දිගින් දිගටම දියත් විය.

තම නායකයා වූ මුල්ලාහ් ඕමාර් ගේ මරණය වසන් කරගෙන සිටි බව 2015 අගෝස්තු මාසයේදී තාලිබාන් සංවිධානය පිළිගත්තේය. වාර්තා වන පරිදි ඔහු රෝගාතුරව දෙවසරක පමණ කාලයක් තිස්සේ පකිස්ථානයේ රෝහලක සිටියදී මිය ගොස් ඇත.

ඉන් පසුව අලුත් නායකයෙකු වටා පෙළ ගැසීම සඳහා පැවති අභ්‍යන්තර ගැටුම් වෙනුවෙන් සති කීපයක් ගතවූ බව එම සංවිධානය පිළිගත්තේය.

අනතුරුව මුල්ලාහ් ඕමාර් ගේ නියෝජ්‍යයා වූ මුල්ලාහ් මන්සූර් නායකත්වයට පත් විය.

එම වකවානුවේ දීම උපායමාර්ගිකව වැදගත් නගරයක් වූ කුන්දුස් තම පාලනය යටතට ගැනීමට තාලිබාන් සමත් විය. 2001 පරාජයෙන් පසුව ලබාගත් ප්‍රථම ජයග්‍රහණය මෙය ලෙස වාර්තා විය.

එක්සත් ජනපද හමුදා එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් 2016 මැයි මාසයේ දී මුල්ලාහ් මන්සූර් මරණයට පත්වුණි.

එතැන් පටන් එම සංවිධානයට නායකත්වය දුන්නේ එවකට නියෝජ්‍ය නායකත්වයේ සිටි මව්ලවි හිබතුල්ලා අඛුන්ද්සාඩා ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය,

හිබතුල්ලා අඛුන්ද්සාඩා

ඇමරිකානු හමුදා පිටවීම

2020 පෙබරවාරියේ දී සාම ගිවිසුම අත්සන් තැබීමෙන් අනතුරුව තාලිබාන්වරු සිය ප්‍රහාරවල ස්වභාවය වෙනස් කර තිබේ. හමුදා සහ නාගරික ඉලක්ක වෙත ඔවුන් එල්ලකරමින් සිටි සංකීර්ණ ප්‍රහාර වෙනුවට ඔවුන් දැන් සිදු කරන්නේ ජනතාව භීතියට පත්කරවන, ඉලක්කගත මනුෂ්‍ය ඝාතන ය.

ජනමාධ්‍යවේදීන්, අධිකරණ විනිසුරුවරුන්, සාම ක්‍රියාධරයන්, බලයේ සිටින කාන්තාවන් ඉලක්ක කරමින් දියත් කෙරෙන ප්‍රහාර වලින් පෙනී යන්නේ තාලිබාන්වරු සිය අන්තවාදී ප්‍රතිපත්ති වෙනස් කරගෙන නොමැති බවය.

විදෙස් හමුදාවල ශක්තිය නොමැතිව තාලිබාන් ආක්‍රමණයට එරෙහිව ඇෆ්ගන් රජයට නැගී සිටිය නොහැකි බව බරපතල සැලකිල්ලට භාජනය වී තිබියදී පවා තම හමුදා සියල්ල ඉවත් කරගැනීමට ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් 2021 අප්‍රේල් මාසයේදී තීරණය කළේය.

ඒ අනුව 2021 සැප්තැම්බර් 11වැනිදා වනවිට ඇමරිකානු හමුදා සියල්ල ඉවත්වී තිබිය යුතුය. නිව්යෝර්ක් නුවර ලෝක වෙළඳ පොළ ගොඩනැගිල්ලට එල්ලවූ ප්‍රහාරයට දශක දෙකක් පිරෙන්නේ එදිනට ය.

දශක දෙකක් තිස්සේ සුපිරි බලවතා සමඟ යුද්ධයක් පැවති නමුත් විදෙස් හමුදා ඉවත්වීම ආරම්භවීමත් සමඟම නැවතත් කාබුල් නුවර ආණ්ඩුව පෙරලා දැමීමට තාලිබාන් සමත් වී සිටී.

2001 පරාජය වීමෙන් පසුව මේ වන විට තාලිබාන් සංවිධානය සිය සාමාජිකයන් සංඛ්‍යාව වෙන කවරදාකටවත් වඩා වැඩි කරගනිමින් ශක්තිමත් වී තිබේ. මේ වන විට පූර්ණ කාලීන සටන්කරුවන් 85,000ක් එම ව්‍යාපාරය සතුව සිටින බවට නේටෝ සංවිධානය ඇස්තමේන්තු කර තිබේ.

බොහෝ දෙනා බිය පලකළ ප්‍රමාණයට වඩා ඔවුන්ගේ ආක්‍රමණය වේගවත් විය. ඇෆ්ගනිස්ථාන මෙහෙයුම් භාරව සිටි එක්සත් ජනපද හමුදාවේ ජෙනරාල් ඔස්ටින් මිලර් පසුගිය ජුනි මාසයේදී පැවසූයේ "මුළු ලෝකයේම සැලකිල්ලට භාජනය වන තරමේ" සිවිල් යුද්ධයකට ඇෆ්ගනිස්ථානය පියවර තබමින් සිටින බවය.

කෙසේ වෙතත් බොහෝ ප්‍රධාන නගරවල බලය කිසිදු සටනකින් තොරව තාලිබාන් අතට පත්විය. සිවිල් වැසියන්ට සිදුවිය හැකි හානිය වලක්වාගැනීම සඳහා ඇෆ්ගන් හමුදා යටත් විය.