කාබුල් ගුවන්තොටේ පිපිරීම්: ප්‍රහාරය ගැන දන්නේ මොනවාද?

කාබුල් පිපිරීම්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඇෆ්ඝනිස්තානයේ කාබුල් අගනුවර හමීඩ් කර්සායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සීමාවේ ඊයේ සිදුවූ බෝම්බ පිපිරීම්වලින් සිවිල් වැසියන් මෙන්ම ඇමෙරිකානු හමුදා භටයින් ද මියගියහ.

තාලිබාන් පාලනයට නතුවූ ඇෆ්ඝනිස්තානයෙන් මිදී පලායාම සඳහා ගුවන් යානාවලට ගොඩවීමේ අපේක්ෂාවෙන් සිවිල් වැසියන් රැදී සිටිද්දී බෝම්බ ප්‍රහාර එල්ල විණි.

කාබුල් හි ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරියකු බීබීසී වෙත පැවසූ පරිදි පුද්ගලයින් 60 දෙනෙකුවත් මියගොස් තවත් 140 ක් පමණ තුවාල ලබා තිබේ.

ඇමෙරිකානු මරීන් භටයින් 11 දෙනෙකු සහ නාවික හමුදා වෛද්‍ය සෙබළෙකු මියගොස් ඇති බව පෙන්ටගනය තහවුරු කළේය.

තාලිබාන් සංවිධානය පවසන්නේ බෝම්බ පිපිරීම් වලින් එක්සත් ජනපදයට වඩා වැඩි පිරිසක් තමන්ට අහිමි වූ බවයි.

කාබුල් ගුවන් තොටුපල බෝම්බ ප්‍රහාරයෙන් තාලිබාන් සාමාජිකයින් 28 දෙනෙකු ජීවිතක්‍ෂයට පත් වූ බව තාලිබාන් නිලධාරියෙක් රොයිටර් පුවත් සේවයට පැවසීය.හඳුනා ගැනීම ප්‍රතික්ෂේප කළ එම තාලිබාන් නිලධාරියා පැවසුවේ "ඇමරිකානුවන්ට වඩා අපට මිනිසුන් අහිමි වී ඇති" බවයි.එසේ තිබියදීත්, එක්සත් ජනපදය සිය ඉවත් කිරීම් අවසන් කර ගැනීම සඳහා අගෝස්තු 31 වනදා දක්වා තිබූ කාලය දීර්ඝ කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ඔහු පැවසීය.බ්‍රහස්පතින්දා රාත්‍රියේ කාබුල් ගුවන් තොටුපල පරිශ්‍රයේ සිදු වූ ද්විත්ව පිපිරීම් වලින් අවම වශයෙන් එක්සත් ජනපද සොල්දාදුවන් 13 දෙනෙකු සහ පුද්ගලයින් 90 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූහ.ඉස්ලාමීය රාජ්‍ය කණ්ඩායමේ අනුබද්ධ ආයතනයක් එහි වගකීම බාරගෙන තිබේ.

ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයේ ඇෆ්ඝනිස්තාන ශාඛාව වන අයිඑස්-කේ (IS-K) වෙතින් ප්‍රහාරයක් නුදුරේම එල්ලවීමට ඇති ඉඩකඩ නිසා ගුවන්තොටුපොළෙන් ඉවත්ව සිටින ලෙස බටහිර රටවල ආණ්ඩු සිය පුරවැසියන් හට කළ දැනුම් දීමෙන් පැය කිහිපයක් ඉකුත්වෙද්දී එම බෝම්බ ප්‍රහාර එල්ල විය.

සිදුවුයේ කුමක්ද යන්න ගැන අප දන්නා දේ මෙසේයි.

පිපිරීම් සිදුවුයේ ගුවන්තොටුපොළෙන් එපිටයි

පළමු පිපිරීම සිදුවුයේ දේශීය වේලාවෙන් සවස 6 ට පමණ (13:30 GMT) ගුවන්තොටුපොළ සීමාව අසළ වූ බැරන් හෝටලයට ආසන්නයේ ය.

එක්සත් රාජධානිය බලා යාමට අපේක්ෂා කරන ඇෆ්ඝන් වැසියන් සම්බන්ධ කටයුතුවල යෙදුනු බ්‍රිතාන්‍ය නිලධාරීහු එම හෝටලය භාවිත කළහ.

ඉන් අනතුරුව වෙඩි තැබීම් ද සිදුවූ අතර දෙවෙනි පිපිරීම හටගත්තේ ගුවන්තොටුපොළ ප්‍රධාන පිවිසුම්වලින් එකක් වන ඇබී ගේට්ටුව අසළ ය.

වාර්තාවල දැක්වෙන ආකාරයට දෙවෙනි පිපිරීම සිදුවූයේ පිවිසුම ආසන්නයේ ඇති අපවහන ඇල මාර්ගයක් ආසන්නයේ ය. රටින් පිටවීමට අපේක්ෂා කරන පිරිස් ඒ සඳහා අවශ්‍ය කටයුතු කෙරෙන තෙක් එහි රැදී සිටියහ.

ඇමෙරිකානු නිලධාරීන් පවසන ආකාරයට ප්‍රහාරකයින්ගෙන් එක් අයෙකු හෝ පුපුරන ද්‍රව්‍ය බහාලූ කබායක් ඇඳ සිට ඇත.

ඇබී පිවිසුම ඇති ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා ඇමෙරිකානු මෙන්ම බ්‍රිතාන්‍ය සෙබළුන්ද මෑතක සිට යොදවා තිබිණි.

එක් වාර්තාවකින් කියැවුණේ එහි සිටි පිරිස වෙත එක් ප්‍රහාරකයෙකු වෙඩි තැබූ බවය. තාලිබාන් ආරක්ෂකයින් අහසට වෙඩි තැබූ බව ද ඉන් කියවිණි.

ප්‍රහාරයට පෙර ගුවන්තොටුපොළ ආසන්න ප්‍රදේශයට ගොස් සිටි ඇමෙරිකානු පුරවැසියන්ට "වහා ඉවත්වන්න" යැයි අනතුරු ඇඟවීම් කර තිබිණි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

අනතුරට පත්වූවන්

දවස පුරා ම, අනතුරට ලක්වුවන්ගේ සංඛ්‍යාව වැඩිවෙමින් තිබිණි.

ඇමෙරිකානු සහ තාලිබාන් ද ඇතුළු ඇෆ්ඝන් වැසියන් ඇතුළත් ප්‍රමාණය ගැන අවසන් සංඛ්‍යාවක් නිලවශයෙන් නොවීය.

කාබුල් හි සිටින ජ්‍යෙෂ්ඨ සෞඛ්‍ය නිලධාරීවරයෙකු පැවසූ පරිදි අවම තරමින් පුද්ගලයින් 90 දෙනෙකු මියගොස් තවත් 150 දෙනෙකු පමණ තුවාල ලබා තිබේ.

තුවාලකරුවන් විල්බැරැක්කවල බහා ගෙන යන අයුරු දැක්වෙන පින්තුර සමාජ මාධ්‍ය ඔස්සේ පළවිණි.

පිරිස් ඉවත් කරගැනීම සඳහා යොදා ඇති ගුවන් යානාවලට තමන් භාර ගනු ඇතැයි අපේක්ෂාවෙන් අතිවිශාල පිරිසක් ප්‍රදේශයේ රැස් කමින් සිටිති.

ඇතැම් රටවල්, පිරිස් ඉවත්කරගැනීමේ ගුවන් ගමන් දැනටමත් අවසන් කර ඇත.

ඇෆ්ඝනිස්තානයෙන් දහස් ගණන් පිරිස් ගුවන් මගින් ගෙන යාමේ ප්‍රයත්නය මෙම ප්‍රහාරයත් සමග වඩා සංකීර්ණ තත්ත්වයකට පත් කර තිබේ.

තවදුරටත් සිය ගුවන් ගමන් ක්‍රියාත්මක කළ නොහැකි බව ජර්මනිය, නෙදර්ලන්තය සහ කැනඩාව ඇතුළු රටවල් ගණනාවක් ප්‍රකාශයට පත් කර තිබුණේ බෝම්බ ප්‍රහාරවලට පෙර ය.

වසර හයක් පුරා ගුවන්තොටුපොළට ආරක්ෂාව සැපයූ සිය හමුදා ඉවත්කරගන්නා බව තුර්කිය ද දන්වා ඇත.