ඇෆ්ඝනිස්තාන අර්බුදය: අයිඑස්අයිඑස් - කේ යනු කුමක්ද?

ඡායාරූප මූලාශ්‍රය, AFP
2019 දී කාබුල් අගනුවර විවාහ උත්සව ශාලාවකට එල්ල වූ ප්‍රහාරය
අයිඑස්අයිඑස් - කේ නැතිනම් වඩා නිවැරදි ලෙස හඳුන්වන්නේ නම්, ඉස්ලාමීය රාජ්‍ය කොරාසන් පළාත යනු ඇෆ්ඝනිස්තානය හා පාකිස්තානයේ ක්‍රියාකාරීව සිටින, අයිඑස්අයිඑස් නැතිනම් ඊනියා ඉස්ලාමීය රාජ්‍ය කණ්ඩායමට අනුබද්ධ ප්‍රාදේශීය ඒකකයකි.
එය ඇෆ්ඝනිස්තානය තුළ ක්‍රියාත්මක සියලු ජිහාඩ්වාදී සන්නද්ධ කණ්ඩායම් අතරින් වඩාත් අන්තවාදී සහ ප්‍රචණ්ඩ කණ්ඩායම ලෙස සැළකේ.
ඉරාකය හා සිරියාව තුළ ඉස්ලාමීය රාජ්‍ය කණ්ඩායම ප්‍රකාශයට පත්කර තිබූ 'කැලිෆේටය' ඇමෙරිකාව ප්‍රමුඛ සන්ධානය විසින් බිඳ හෙලනු ලැබීමට පෙර අයිඑස් බලය උපරිමයේ පැවති අවස්ථාවේදී එනම් 2015 ජනවාරියේදී එම කණ්ඩායම බිහි විණි.
ඇෆ්ඝනිස්තානයේ හා පාකිස්තානයේ ජිහාඩ්වාදීන් ඊට බඳවා ගනු ලැබීය. විශේෂයෙන්ම තාලිබාන් සංවිධානය තමන්ට ගැලපෙන තරමේ අන්තවාදී නොවූ බැව් විශ්වාස කරමින් එය හැරගිය සාමාජිකයෝ ඊට එක්වූහ.
අන්තවාදය කෙතරම් අන්තවාදී ද?
ඡායාරූප මූලාශ්‍රය, Getty Images
අයිඑස්අයිඑස්-කේ කණ්ඩායම කේන්ද්‍රගතව වී ඇත්තේ පාකිස්ථානයේ සහ ඉන් පිටත මත්ද්‍රව්‍ය ජාවාරම් කරන සහ මිනිසුන් ජාවාරම් කරන මාර්ග ආසන්නයේ ඇති නැගෙනහිර පළාතේ නන්ගර්හාර් හි ය.
බාලිකා පාසල්, රෝහල් පමණක් නොව ගර්භණී කාන්තාවන් මෙන්ම හෙදියන් ද වෙඩි තබා මරණයට පත්කෙරුණේ යැයි වාර්තා වූ මාතෘ නිවාස ද ඉලක්ක කර මෑත වසරවල සිදුවූ ඇතැම් අති දරුණු කෲරකම් පිළිබඳ ඔවුන්ට චෝදනා එල්ල විය.
ඇෆ්ඝනිස්තානයට සීමා වූ අරමුණු සහිත තාලිබාන් මෙන් නොව, ගෝලීය අයිඑස් ජාලයේ කොටසක් වන අයිඑස්අයිඑස් - කේ කණ්ඩායම ද ඔවුන්ට ළඟා විය හැකි බටහිර, ජාත්‍යන්තර හා මානුෂීය ඉලක්ක කෙරෙහි අවධානය යොමු කරයි.
ඔවුන් ස්ථානගතවී ඇත්තේ කොහිද?
අයිඑස්අයිඑස් - කේ කේන්ද්‍රගතව සිටින්නේ නැගෙනහිර නන්ගර්හාර් පළාතේ ය. පාකිස්තානය තුළ සහ ඉන් එපිට අතර මත්ද්‍රව්‍ය මෙන්ම මිනිස් ජාවාරම් ද ක්‍රියාත්මකවන මාර්ගය වැටී ඇත්තේ ඒ ආසන්නයේ ය.
කණ්ඩායමේ උපරිම අවධියේදී එය සටන්කරුවන් 3,000 කින් පමණ සමන්විත වුවද, ඇමෙරිකානු සහ ඇෆ්ඝන් හමුදා මෙන්ම තාලිබාන් සමගද ඇති වූ ගැටුම් හේතුවෙන් සැලකිය යුතු සංඛ්‍යාවකට ජීවිත හානි සිදුවිය.
තාලිබාන් සමග සම්බන්ධ ද?
හකානි ජාලය නම් වූ තුන්වෙනි පාර්ශවයක් හරහා සම්බන්ධතා ඇත.
පර්යේෂකයින්ට අනුව අයිඑස්අයිඑස් - කේ සහ හකානි ජාලය අතර ශක්තිමත් සම්බන්ධයක් පවතී. හකානි ජාලය තාලිබාන් සමග සමීප සබඳතාවක් ඇත.
මේ වනවිට කාබුල් හි ආරක්ෂාව භාර ප්‍රධානියා වන ඛලීල් හකානි යි. ඔහුගේ හිස වෙනුවෙන් ඩොලර් මිලියන 5ක ත්‍යාගයක් පිරිනැමීමට වෙන් කර තිබිණි.
වසර ගණනක් පුරා ඇෆ්ඝනිස්තානය තුළ සන්නද්ධ ජාල, ආසියා ශාන්තිකර පදනමේ ආචාර්ය සජාන් ගොහෙල් ගේ නිරීක්ෂණයට ලක්විය.
"2019 සහ 2021 අතර එල්ලවූ ප්‍රධාන පෙළේ ප්‍රහාරවලට අයිඑස්අයිඑස් - කේ මෙන්ම තාලිබාන් හකානි ජාලය සහ පාකිස්තානය මූලික කරගත් වෙනත් ත්‍රස්ත කණ්ඩායම්වල එකතුවක් පැවතියා." ඔහු පවසයි.
අගෝස්තු 15 වෙනිදා තාලිබාන්වරු කාබුල් අත්පත් කරගනිද්දී, අයිඑස් සහ අල්-ඛයිඩා සටන්කාමීන් ද ඇතුළත් විශාල පිරිසක් පුල් - ඊ- චක්‍රී බන්ධනාගාරයෙන් මුදාහරින ලද බව වාර්තා විය. ඔවුන් මේ වන විට නිදැල්ලේ සැරිසරයි.
එහෙත් අයිඑස්අයිඑස් - කේ සහ තාලිබාන් අතර බරපතල වෙනස්කම් පවතී. කටාර් රාජ්‍යයේ දෝහා හි "සුපොකබෝගී හෝටලවල" එළඹුණු සාකච්ඡා මාර්ගික සාම වැඩපිළිවෙල වෙනුවෙන් ජිහාඩය මෙන්ම සටන්බිම ද අත්හැරී යැයි තාලිබාන් සංවිධානය වෙත ඔවුන් චෝදනා එල්ල කළේය.
බලයට එන තාලිබාන් ආණ්ඩුවට අයිඑස් සටන්කරුවන් දැන් එල්ල කරන්නේ ආරක්ෂාව පිළිබඳ බරපතල අභියෝගයකි. එය, තාලිබාන් නායකත්වය බටහිර බුද්ධි ඒජන්සි සමග පොදුවේ බෙදාහදාගන්නා දෙයක් වනු ඇත.
(බීබීසී ආරක්ෂක වාර්තාකරු, ෆ්‍රෑන්ක් ගාර්ඩ්නර් සම්පාදනය කළ ලිපියක් ඇසුරිණි)