ඇෆ්ගනිස්ථානය: විසි වසරකට පසු වෙනස

BBC

පන්ති කාමරයේ සිටින බාලිකාවන් ඉතා උද්යෝගයෙන් අත ඔසවාගෙන සිටින්නේ ගුරුතුමිය ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දීමේ අපේක්ෂාවෙනි.

හය හැවිරිදි සහ හත් හැවිරිදි ගැහැණු දරුවන්ගෙන් පිරි මේ පන්තියේ ඉගැන්වෙමින් තිබුණේ පර්සියානු භාෂා ව්‍යාකරණයි.

2001 දී එක්සත් ජනපදය ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කර තාලිබාන් පාලනය පරාජය කිරීමෙන් අනතුරුව එරට ගැහැණු ළමුන් සඳහා නැවත විවෘත වූ පළමු පාසල් කීපය අතර කාබුල් නුවර පිහිටි මනොචේහ්රි ප්‍රථමික පාසල ද විය.

එවක මෙම පාසලට තිබුණේ එක් පන්ති කාමරයක් පමණි. සිසුවියන් අකුරු කළේ මැටි පොළොවේ වාඩිලා ගෙනය.

1996දී කාබුල් නුවර තාලිබාන් පාලනයට නතුවීමෙන් පසුව ගැහැණු ළමුන්ට පාසල තහනම් විය. ගුරුවරියන් ගෙදර යවන ලදී. කාන්තාවන් නිවෙසට වී සිටිය යුතු විය.

අයිෂා මිස්භා ට ද ගුරු වෘත්තිය අතහැර ගෙදර යන්නට සිදු විය. නමුත් දැන් ඇය මේ පාසලේ විදුහල්පතිනිය යි. අලුතින් තැනූ පන්ති කාමර ඇය මට පෙන්වූයේ ඉතා ආඩම්බරයෙනි.

මේ පන්ති කාමර තුළ තමන්ගෙන් අකුරු කළ බොහෝ සිසුවියන් දැන් වෛද්‍යවරියන් හා ඉන්ජිනේරුවරියන් වීම සඳහා උසස් අධ්‍යාපනයට ගොස් ඇති බව ඇය පැවසුවාය. ඇතැමුන් දැන් මෙම පාසලේම ගුරුවරියන් ය.

"මේක තමයි අපේ ලොකුම ජයග්‍රහණය. අපේ සිසුවියන් ඉතා දක්ෂයි; ඔවුන් හරිම නිර්මාණශීලි යි. ඇතැම් විට ඔවුන් අපව මවිත කරවන නිර්මාණ කරනවා. මම ප්‍රර්ථනා කරනවා තාලිබාන් පාලනය අපට මේක දිගටම කරගෙන යන්න ඉඩදේවි කියල."

ඇෆ්ගනිස්තානය දෙවන වරට තලිබාන් පාලනයට නතුවූයේ පසුගියදා ය. ගැහැණු ළමුන්ට පාසල් යාම සඳහා මෙවර ඔවුන්ගේ අවසරය ලැබී තිබේ.

කෙසේ වෙතත් මේවනවිට පාසල් යන්නේ ප්‍රථමික ශ්‍රේණිවල සිසු සිසුවියන් පමණි. ද්විතීයික ශ්‍රේණි සඳහා නව නීති රීති ප්‍රකාශයට පත්වන තුරු ගුරුවරු බලා සිටිති.

ඇතැම් පිටිසර පළාත්වල තාලිබාන් පාලකයන්, පාසල් අධ්‍යාපනය සඳහා අවසර ලබා දී ඇත්තේ වැඩිවියට පත්වන වයස් සීමාවෙන් පහළ සිටින ගැහැණු ළමුන්ට පමණක් බවට වාර්තා ලැබී ඇත.

ලෝක බැංකුව ඉදිරිපත් කර ඇති නවතම සංඛ්‍යා ලේඛනවලට අනුව ඇෆ්ගන් ගැහැණු ළමුන්ගෙන් 40%ක් පමණ ප්‍රථමික අධ්‍යාපනය ලබති. පළමු තාලිබාන් පාලන සමය හා සසඳන විට මෙය ඉතා ඉහළ ප්‍රතිශතයක් වුවද කලාපයේ අනෙකුත් රටවල් හා සසඳන විට ඉතා පහළ ප්‍රතිශතයකි.

රටේ සෞඛ්‍ය සේවාවන් ගත් කළ දැකිය හැක්කේ එවැනිම චිත්‍රයකි. මාතෘ හා ළදරු මරණ අනුපාතිකය වඩා යහපත් තත්වයකට පත් වූ නමුත් අනෙකුත් රටවල් දෙස බලනවිට එම අනුපාතිකය මවිතකරවන සුළු ඉහළ අගයක පවතී.

කාන්තාවන්ට රැකියා කිරීම සඳහා අවසර ලබා දෙන බව තාලිබාන් අවධාරණය කරයි. නමුත් ඇතැමුන් ඒ පිළිබඳව සැක පහළ කරති.

විශේෂයෙන්ම එම සැකය ඉහළ ගියේ තාලිබාන් පාලනය පසුගියදා සිදුකළ ප්‍රකාශයක් හේතුවෙනි. ඔවුන් කියා සිටියේ රටේ ආරක්ෂාව තහවුරු වන තුරු අධ්‍යාපන හා සෞඛ්‍ය සේවාවන් හි නිරතවන කාන්තාවන් හැර අනෙකුත් කාන්තාවන් නිවෙසට වී සිටිය යුතු බවය.

90 දශකයේ දී සියලුම කාන්තාවන්ට රැකියා තහනම් කිරීම සඳහා ද යොදා ගත්තේ මේ නිදහසට කරුණම ය.

ඡායාරූප ශීර්ෂ වැකිය,

කූඩාරම් යටට වී අකුරු කරන පිරිසක්

කෙසේ නමුත් මනොචේහ්රි පාසලේ සිසුවියන්ට තවත් අභියෝග කීපයකට මුහුණ දෙන්නට සිදුවී තිබේ.

පාසලේ ක්‍රීඩා පිටිය මැද කූඩාරම් තුනක් ඉදිවී තිබේ. කළු ලෑල්ලක් සහ බැංකු කීපයක් ඒ හැම කුඩාරමක් යට ම දැකිය හැකිය. පාසලේ සිටින සිසුවියන්ට ප්‍රමාණවත් තරමට පන්ති කාමර නොමැත. එබැවින් ක්‍රීඩා පිටියේ කූඩාරම් යටට වී අකුරු කරන පිරිසක් ද මේ පාසලේ සිටිති.

කලින් පැවති රජය බිහිරන් සේ සිටිය දී, ආධාර කිරීමට ඉදිරිපත්වන රාජ්‍ය නොවන සංවිධානවලට ආණ්ඩුව නියෝග කර ඇත්තේ එම මුදල් ආධාර අධ්‍යාපන අමාත්‍යංශයට මුලින්ම ලබා දිය යුතු බවය.

පසුගිය දශක දෙක ඇතුළත වේගයෙන් ව්‍යාප්තවූ දුෂණය ඇෆ්ගනිස්ථානයට වසංගතයක් විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඩොලර් බිලියන ගණනක් වූ විදේශ ආධාර සැබෑ අසරණයන් වෙත පැමිණියේ නැත.

කෙසේ වෙතත්, පසුගිය දශක දෙක තුළ පවැති අධ්‍යාපනයේ ප්‍රතිඵලයක් හැටියට තමතමන්ගේ අදහස් උදහස් වෙනුවෙන් හඬ නගන්නට තරම් ශක්තියක් ඇති නව තරුණ පරම්පරාවක් ගොඩනැගී තිබේ. ඒ පරම්පරාව තාලිබාන් පාලනයට ද අභියෝග කරති.

ඡායාරූප ශීර්ෂ වැකිය,

"අපි මරණයට බය නැහැ"

"මීට අවුරුදු 20කට කලින් කස පහර දීල යටත්කර ගත්තු ගෑනු, මිනිස්සු නෙවෙයි අපි." පසුගිය දා කාබුල් නුවර දියත් වූ උද්ඝෝෂණයකට සහභාගී වී සිටි කාන්තාවක් පැවසුවාය.

"අපි මරණයට බය නැහැ. ඉදිරියට සාමයේ පොහොට්ටු අරගෙන එන තරුණ පරම්පරාව අපියි." තවත් කාන්තාවක් එසේ පැවසුවේ හැඟීම් බරවය.

අලුතින් පිහිටවූ රජයට තාලිබාන්වරුන් පත් කර ඇත්තේ පුරුෂයන් පමණි.

ඔවුන්ගෙන් බොහෝ දෙනා 90 දශකයේ පැවති රජයේ, ඉහළ තනතුරු හෙබවූ උදවිය වෙති. එය ෂරියා නීතියේ කුරිරු අර්ථ නිරුපනයක් ස්ථාපනය වූ යුගයකි.

2001 පටන් සමාජයීය නිදහස වඩා ස්ථාපිත වූ නාගරික පෙදෙස්වල ජීවත් වූවන්ට දැන් දැනෙන්නේ තමන් පිටස්තරයන් ලෙසිනි.

ඡායාරූප ශීර්ෂ වැකිය,

රුපලාවන්‍ය සේවා සපයන ස්ථානවල ස්ත්‍රී රූප මැකෙමින්....

ඇෆ්ගනිස්ථානයේ පැවති යුද්ධයෙන් බලපෑමක් නොවූයේ නම් ඒ සුළු පිරිසකි. නමුත් ඈත පිටිසර ගම්වැසියෝ යුද්ධයෙන් බැට කෑහ. ඔවුන් ජීවත් වූයේ යුද පිටියේය. දැන් ඒ බොහෝ දෙනා හිතන්නේ තාලිබාන් ආගමනය තමන්ට සිදුවූ යහපතක් ලෙසිනි. ඊට හේතුව දැන් යුද බිය තුරන්වී තිබීමය.

තලිබාන් ආගමනයෙන් සිදුවිය හැකි ඕනෑම අයහපතකට වඩා ඔවුනට යුද්ධයේ නිමාවත් සමඟ ලැබෙන සාමකාමී ජීවිතය වටනේය. ඒ වෙනුවෙන් ඔවුන් ඕනෑම දෙයක් කැපකිරීමට සුදානම්ය.

තාලිබාන් ආගමනයෙන් සතියකට පමණ පසු කාබුල් නුවර තිබෙන ස්නුකර් ක්‍රීඩා සමාජයක තරුණයන් පිරිසක් හා කතාබහ කරන්නට අවස්ථාව උදා විය. ඔවුහු නාගරික මධ්‍යම පාන්තික පවුල්වල සාමාජිකයෝ වෙති.

මෙම පිරිස අතර තරුණ ව්‍යාපාරිකයන් සහ සිසුහු ද වූහ. නම හෙළි නොකරන බවට ලබා දුන් කොන්දේසිය මත ඔවුහු තාලිබාන් පාලනය පිළිබඳව අදහස් දැක්වූහ.

මරාගෙන මැරෙන ප්‍රහාරයන් විශාල ප්‍රමාණයකට වගකියයුතු කණ්ඩායමක් විශ්වාස කරන්නේ කෙසේදැයි අයෙක් ප්‍රශ්න කළහ.

පුරුෂයන්ට රැවුල කැපිය හැකිද? කොණ්ඩය සකස් කළ හැක්කේ කෙසේද? යනාදිය ගැන පවා ඔවුන් ආඥා පනවන්නට පටන් ගනු ඇති බව තවකෙක් පැවසුහ.

එසේම රටේ දේශපාලනයට සම්බන්ධ වී සිටි පන්තියට ද ඔවුහූ වරද පවරමින් කතා කළහ.

රටින් පලා ගිය හිටපු ජනපති අෂ්රෆ් ඝානි "සිරගත කළ යුතු" බව ද මෙම පිරිස ප්‍රකාශ කළහ.

"තරුණ පරම්පරාවේ අනාගතය ඔහු විකුණා දැමුවා." අයෙක් මෙසේ පැවසූයේ, ඩොලර් මිලියන ගණනක් සමඟ ජනාධිපතිවරයා රටින් පලා ගිය බවට චෝදනා කරමිනි. මෙම චෝදනා හිටපු ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කර තිබේ.

රටින් පලා නොගිය දේශපාලනඥයන් පවා මොවුන්ගේ හෙලාදකීමට ලක්වූ අතර පසුගිය කාලය ඇතුළත එම දේශපාලනඥයන් කඩාකප්පල්කාරී දේශපාලනයක නිරත වුවන් බවට චෝදනා කළහ.

"ඔවුන් රටේ සාමාන්‍ය මිනිසුන්ගේ ප්‍රශ්න විසඳන්න වැඩ කළේ නැහැ. ඒ වෙනුවට ඔවුන් කළේ තමන්ගේ සාක්කු පුරවගන්න එකයි, රටේ ධනය තමන්ගේ ඥාතීන් අතර බෙදා ගැනීමයි විතරයි."

ඇෆ්ගනිස්ථානයේ පැවති අවසන් ජනාධිපතිවරණ දෙකම වංචා හා දූෂණවලින් පිරි බවට චෝදනා එල්ල විය.

"අපි මහන්සිවෙලා වැඩකරලා, ඉගෙන ගත්තා. අපිට රට නගා සිටුවන්න තිබුණා. ඒත් දැන් ඒ වෙනුවෙන් අපිට කිසිම දෙයක් කරන්න විදියක් නැහැ." එක් තරුණයෙක් පැවසීය.

පසුගිය දශක දෙක ඇතුළත ලබාගත් "වර්ධනයන්" අතර ඉදිරියෙන්ම කැපී පෙනෙන දෙයක් වන්නේ දේශීය මාධ්‍ය නිදහසයි.

සන්නද්ධ කල්ලිවල ඉලක්ක බවට නිතර පත් වුවද ඇෆ්ගන් පුවත් ආයතන එම කලාපයේ පවතින ස්වාධීන ආයතන අතර ඉදිරියෙන් සිටී.

ඇතැම් මාධ්‍යවේදීන් ආණ්ඩුවේ තර්ජනවලට ද මුහුණ දුන් අවස්ථා පවතී.

උදාහරණයක් ලෙස දක්වතොත්, 2020 දී රජය දියත් කළ ගුවන් ප්‍රහාරයකින් සාමාන්‍ය වැසියන් මියගිය බවට වාර්තාකළ අවස්ථාව ගෙන හැර දැක්විය හැකිය. මෙම "අසත්‍ය පුවත" වාර්තාකළ සියලුදෙනා අත්අඩංගුවට ගන්නා ලෙස එවක උප ජනාධිපති වූ අම්රුල්ලා සලේ නියෝග කළේය. තක්හාර් ප්‍රාන්තයට එල්ල වූ මෙම ගුවන් ප්‍රහාරයට බිලි වී ළමුන් 12 දෙනෙකු ද මරණයට පත් වූ බව විශ්වාස කෙරිණ.

ඡායාරූප මූලාශ්‍රය, MARCUS YAM/LOS ANGELES TIMES/SHUTTERSTOCK

ඡායාරූප ශීර්ෂ වැකිය,

ටාකි දාර්යාබි සහ ඔහුගේ සගයා

කෙසේ නමුත් තාලිබාන් පාලනයට අශුභවාදී විය හැකි කිසිදු පුවතක් ඉදිරියේදී වාර්තා කළ නොහැකිවනු ඇති බවට දැන් බිය පළවී තිබේ.

මාධ්‍යවේදීන් විසින් "ඉස්ලාමීය සාරධර්ම සහ ජාතික අභිරුචිය" උල්ලංඝනය නොකරනු ලබන තාක් මාධ්‍ය නිදහසට අවසර ලැබෙන බව තාලිබාන් පාලනය ආරම්භයේ දී ප්‍රතිඥා දී තිබියදී, තලිබාන් පාලනයට එරෙහිව පැවති සාමකාමී උද්ඝෝෂණ වාර්තාකළ මාධ්‍යවේදීන් රැඳවුම්භාරයට ගත් අවස්ථා ඇත.

පසුගිය සතියේ පැවති උද්ඝෝෂණයක් වාර්තා කිරීමට ගොස් සිටි 22 හැවිරිදි ටාකි දාර්යාබි සහ ඔහුගේ සගයා තාලිබාන්වරුන් විසින් පොලිස් ස්ථානයක් කරා රැගෙන යනු ලැබ තිබේ.

"ඒ කාමරය ඇතුළේ මිනිස්සු හත් දෙනෙකු හෝ 10 දෙනෙකු පමණ හිටියා. ඔවුන් මට පයින් ගහන්න පටන් ගත්තා. පොලුවලින් හා පයිප්ප වලින් ගහන්න පටන් ගත්තා." ටාකි බීබීසීයට පැවසීය. ඔහුගේ මුහුණේ සහ පිටේ තවමත් තැලුම් සලකුණු ඇත.

"එක තාලිබාන්වරයෙක් මට කිව්වා, උඹ ස්තුතිවන්ත වෙයන් මම උඹේ බෙල්ල කපල දැම්මේ නැති එකට, කියල."

"දැන් මෙහෙ තියෙන්නේ තාලිබාන් පාලනය. කිසිම කෙනෙක් ආරක්‍ෂිත නැහැ. අතීතයේ ඔවුන් මාධ්‍යවේදීන් පැහැරගෙන යාම්, පහර දීම් සහ මරාදැමීම් අපි දුටුවා... අපිට නිදහසේ වැඩකරන්න ඉඩ තිබිය යුතුයි." ටාකි තවදුරටත් පැවසීය.

ඡායාරූප ශීර්ෂ වැකිය,

"බුෂ් බසාර්"

ඇමරිකානු සහ ඒකාබද්ධ හමුදා රට ආක්‍රමණය කිරීමෙන් අනතුරුව සමාජයට ලැබුණු බොහෝ දේ අනතුරට පත්වීමට ඉඩ තිබේ.

ඇමරිකානු ආභාෂය සහිත සලකුණු දැනටමත් මැකීයමින් පවතී.

එක්සත් ජනපදයේ හිටපු ජනාධිපතිවරයෙකුගේ නම තබා ඇති "බුෂ් බසාර්" වෙළෙඳපොළේ පවතින භාණ්ඩ ද දැන් වෙනස් වී ඇත. කලින් එහි බොහෝ විට දක්නට ලැබුණේ ඇමරිකානු හමුදාවට අයත් ඇඳුම් කට්ටල සහ වෙනත් භාණ්ඩ ය. දැන් එහි විකිණීමට ඇත්තේ චීනයේ නිෂ්පාදිත භාණ්ඩය.

එදා මෙම වෙළෙඳපොළේ ගනුදෙනුකරුවන් වූයේ ඇමරිකානු සොල්දාදුවන් හෝ රටේ දේශපාලන බලවතුන්ගේ ආරක්ෂකයන්ය. අද මෙම වෙළෙඳ කුටි පසු කර යන්නේ තාලිබාන් සටන්කරුවන්ය.