ඕස්ට්‍රේලියානු භූ කම්පනය: අග්නිදිග ඕස්ට්‍රේලියා ප්‍රාන්තයම කැළඹෙයි

Rubble from a shop on the street in Chapel St, Victoria

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය,

හානියට පත්වූ ප්‍රදේශවලට මෙල්බර්න්හි සුප්‍රකට චැපල් වීථියේ වෙළඳ සංකීර්ණය ද අයත් ය

අග්නිදිග ඕස්ට්‍රේලියාවේ සිදුවූ මාපාංක 5.8ක භූ කම්පනයක් හේතුවෙන් මෙල්බර්න් නගරයේ ගොඩනැගිලිවලට හානි සිදුවී ඇත.

අද (සැප්. 22) පෙරවරුවේ වික්ටෝරියා ප්‍රාන්ත අගනුවරට නුදුරු මෑන්ස්ෆීල්ඩ් නම් ප්‍රදේශයේ දී එරට වේලාවෙන් 09:15ට පමණ (ශ්‍රී ලංකා වේලාවෙන් පෙ.ව. 04:45ට පමණ) මෙම භූ කම්පනය සිදුව තිබේ.

එරට අගමැති ස්කොට් මොරිසන් ප්‍රකාශ කළේ, "අපට බරපතල ලෙස තුවාල ලැබූවන් ගැන කිසිදු තොරතුරක් ලැබිලා නැහැ. ඇත්තෙන්ම ඒක හොඳ පුවතක්," යනුවෙනි.

මෙම භූ කම්පනය යාබද දකුණු ඕස්ට්‍රේලියාව සහ නිව් සවුත් වේල්ස් යන ප්‍රාන්තවලට ද දැනී තිබුණි.

ප්‍රධාන භූ කම්පනයෙන් පසු පිළිවෙලින් රිච්ටර් පරිමාණය ඒකකයේ මාපාංක 4.0ක් සහ 3.1ක් බලගතු පසුකම්පනයන් දෙකක් ද සිදු වී ඇත.

මෙය මෑත ඉතිහාසයේ ඕස්ට්‍රේලියාවේ සිදු වූ ප්‍රබලතම භූ කම්පනයක් වන නමුදු, එයින් සැලකිය යුතු හානියක් සිදු වී නොමැතිබව දක්නට ලැබුණි.

එක්සත් ජනපදයේ සිට අදහස් දක්වමින් ඕස්ට්‍රේලියාවට භූ කම්පනයන් දුර්ලභ නොවන බව සඳහන් කළ අගමැති මොරිසන්, ඒවා "ඉතාම කැළඹිලිසහගත සිදුවීම් විය හැකියැ"යි ද ප්‍රකාශ කළේ ය.

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය,

මෙල්බර්න් නගරයේ මිලියන පහක පමණ ජනතාවක් වෙසෙයි

වික්ටෝරියා ප්‍රාන්ත හදිසි ආපදා සේවාව පසුකම්පන පිළිබඳව අවධානයෙන් පසුවන්නැ යි එහි වැසියන්ට අනතුරු ඇඟවීය.

"ඔබ වෙසෙන්නේ වික්ටෝරියාවේ නම්, ඔබ සිටින්නේ අනතුරේ. පසුකම්පන බලාපොරොත්තු වෙන්න. හානි වූ ගොඩනැගිලි සහ අනෙකුත් අනතුරුදායක ස්ථානයන්ගෙන් ඈත්ව සිටින්න. හදිසි අවස්ථාවක දී මිස රිය පැදවීමෙන් වලකින්න," එම ආයතනය විසින් ප්‍රකාශ කරනු ලැබුණි.

හදවත් සැත්කමක් අතරේ සිදුවූ භූ කම්පනය

ශල්‍යවෛද්‍ය සමීර් ඨාකූර් පවසන්නේ භූ කම්පනය සිදු වූ අවස්ථාවේ තමා මෙල්බර්න් ආසන්නයේ ගීලොංහි දී හෘදයේ බයිපාස් සැත්කමක් සිදුකරමින් සිටිබව යි.

"අපි හිටියේ සැත්කමේ වැදගත්ම කොටස කියලා කියන්න පුළුවන් තැනක. එතකොට අපට දැනුනා සම්පූර්ණ සැත්කම් මේසෙම එහෙ මෙහෙ යනවා වගේ," ඔහු BBC සමග පවසා සිටියේ ය.

"වටපිට බැලුවම අපි දැක්කා සේලයින් පැකට් ආදිය එල්ලලා තියෙන කණුත් එහෙ මෙහෙ යනවා. අපි පාවිච්චි කරමින් හිටි කලම්ප අඬු හෙල්ලෙන්න ගත්තා."

"හොඳ වෙලාවට අපි හිටියේ සැත්කම අතරමඟ නවත්තන්න පුළුවන් අවස්ථාවක," ඔහු පැවසුවේ ය. එනිසා සැත්කම සම්පූර්ණ කිරීම සඳහා කම්පනය අවසන් වන තුරු සිටීමට ඔවුනට හැකිවිය.

ඕස්ට්‍රේලියාවේ ABC මාධ්‍ය ආයතනය, ඔවුන්ගේ උදෑසන වැඩසටහන මෙහෙයවමින් විකාශන මැදිරිය තුළ සිටි නිවේදක නිවේදිකාවන් එවෙලේ සිදුවූ භූ කම්පනයට ප්‍රතිචාර දැක්වූ අයුරු පෙන්වන කුඩා වීඩියෝවක් ද පළ කළේ ය.

වීඩියෝ ශීර්ෂ වැකිය,

භූ කම්පනය උදෑසන වැඩසටහනට දැනුණු අවස්ථාව නරඹන්න

"මේක භූමිකම්පාවක් ද, නැත්නම් බිල්ඩිම නිකන් හෙල්ලුනා ද?" නිවේදක මයිකල් රෝලන්ඩ් නිෂ්පාදකයින්ගෙන් අසන දර්ශනයක් පසුව දක්වනු ලැබුණි. "මෙතනින් යමු... ඒක ලොකු එකක් (කම්පනයක්)."

උස් ගොඩනැගිලි කීපයක ද, නගරයේ රෝහලේ ද කෙටි කාලයකට මිනිසුන් ඉන් ඉවත් කෙරුණු බව ප්‍රදේශවාසීහු වාර්තා කළෝ ය. නගරයේ ඇතැම් ට්‍රෑම් රථ මාර්ගයන්ට සිදුවූ හානි හේතුවෙන්, ඒවායේ ට්‍රෑම් ගමනාගමය තාවකාලිකව අත්හිටුවා ඇත.

දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්ත ඇමැති ස්ටීවන් මාෂල් ප්‍රකාශ කළේ සිය ප්‍රාන්තයට ද පසුකම්පනයන් දැනුණු බව යි.

ෆෙඩරල් රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන මයිකල් මැක්කෝමැක් ද, නිව් සවුත් වේල්ස්හි වෝගා වෝගා ප්‍රදේශයේ "පොළොව මහා හයියෙන් හෙලවුණු" බව ප්‍රකාශකර සිටියේ ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඕස්ට්‍රේලියානු මහාද්වීපය පිහිටා තිබෙන්නේ භූ තැටියක මධ්‍යයේ වීම නිසා විශාල භූ කම්පනයන් එරටට නිතර දක්නට නොලැබේ.

ඕස්ට්‍රේලියානු භූ විද්‍යා ආයතනයට අනුව මෙම කම්පනය ඇරඹී තිබෙන්නේ පොළොව මතුපිට සිට කිලෝමීටර 10ක් තරම් අවම ගැඹුරක ය. මුල දී රිච්ටර් පරිමාණය ඒකක 6.0ක් ලෙස නිමානය කෙරුණු එය පසුව රිච්ටර් පරිමාණය ඒකක 5.8ක් ලෙස මාපාංකගත කෙරිණි.

භූ විද්‍යා ආයතනය පවසන්නේ ඕස්ට්‍රේලියාව සෑම වසර 10කට වරක්ම පාහේ මාපාංක 6.0ට වැඩි, හානිදායක විය හැකි භූ කම්පනයකට මුහුණ දෙනබව යි.

රටේ දෙවැනි විශාලතම නගරය වන මෙල්බර්න්, මිලියන පහක් පමණ රටවැසියන්ට නිවහන වේ.

මෑතක දී මතුවූ නව කොවිඩ් රැල්ල නිසා නගරය මේ අවස්ථාවේ අගුළුදමා ඇත.