රූ අලංකරණ භාවිතා කළ ඔටුවන්ට 'රූ රැජින' තරගය තහනම් වෙයි

File photo showing camels at the Crown Prince Camel Festival, in the southwestern Saudi city of Taif, on 11 August 2021

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය,

රුව විකෘතිකිරීම් හෙළිකර ගැනීම සඳහා උසස් තාක්ෂණික මෙවලම් භාවිතයෙන් ඔටුවන් 'සමීප නිරික්ෂනයකට' ලක්කෙරේ

සෞදි අරාබියේ පැවැත්වෙන 'ඔටු රූ රැජින' තරගයට ඉදිරිපත් වූ ඔටුවන් අතරින් හතළිහකට අධික සංඛ්‍යාවක් තරගයට ඉදිරිපත්වීමට නුසුදුස්සන් බවට පත්වී තිබේ. ඒ, ඔවුන් සඳහා බෝටොක්ස් එන්නත් සහ අනෙකුත් රූපලාවන්‍ය වැඩිදියුණුකිරීම් සිදුකර තිබීම හේතුවෙනි.

බොටොක්ස් එන්නත බොටියුලිනම් විෂෙන් සකස් කරන ඖෂධයකි. මාංශපේශී සම්බන්ධ ඇතැම් තත්ත්වයන්ට ප්‍රතිකාර කිරීම සඳහා වෛද්‍යමය වශයෙන් භාවිතා කෙරෙන අතර, මුහුණේ මාංශ පේශීන් තාවකාලිකව අඩපණ කිරීමෙන් මුහුණේ රැලි ඉවත්කර තරුණ පෙනුමක් ලබාදීමට රූපලාවන්‍යමය ලෙස භාවිතා කරයි.

මෙම ඔටු තරගය කිං අබ්දුල් අසීස් ඔටු උත්සවයේ සුවිශේෂී අවස්ථාවක් වන අතර, එහිදී තරග වදින්නේ ඩොලර් මිලියන 66ක (පවුම් මිලියන 45ක) මුදලක් සඳහා ය.

මෙහිදී 'ඔටු රූ රැජිනියන්'ගේ සුන්දරත්වය මැනෙන ප්‍රධාන සාධක ලෙස දිගු, එල්ලා වැටෙන තොල්, විශාල නාසය, සහ හැඩැති මොල්ලිය සලකා බැලේ.

උසස් තාක්ෂණික මෙවලම් භාවිතයෙන්, මින් පෙර නොවූ තරමින් මෙම ඔටුවන් 'සමීප නිරික්ෂනයකට' ලක් කිරීමට තරග විනිසුරුවරුන්ට හැකි වී ඇති බව සෞදි පුවත් ඒජන්සිය (SPA) වාර්තා කර තිබුණි.

ප්‍රථමයෙන් සියලුම තරගකරුවන් ශාලාවකට රැගෙනගොස්, එහිදී ඔවුන්ගේ බාහිර පෙනුම මෙන් ම හැසිරීම ද විශේෂඥයින් විසින් පරීක්ෂා කරන ලද බව වාර්තා වෙයි.

ඉන්පසු ඔවුන්ගේ හිස්, බෙල්ල සහ සිරුර එක්ස්රේ සහ ත්‍රිමාන අල්ට්‍රා සවුන්ඩ් යන්ත්‍ර මඟින් ස්කෑන් කළ අතර, ජාන විශ්ලේෂණය සහ අනෙකුත් පරීක්ෂණ සඳහා සාම්පල ද ලබා ගැනීමට කටයුතු කෙරුණි.

සෞදි පුවත් ඒජන්සියට අනුව, මජාහෙයිම් ඔටුවන් සඳහා වූ කුසලානයට තරග වැදුණු තරගකරුවන් විසි හත්දෙනෙකු, ශරීර කොටස් කෘත්‍රිමව දිගු කිරීම හේතුවෙන් තරගයට නුසුදුස්සන් වූ අතර, තවත් ඔටුවන් දහසයදෙනෙකු තරගයෙන් ඉවත් කෙරුණේ රූ අලංකරණ එන්නත් ලබා ගැනීම හේතුවෙනි.

තරගයේ සංවිධායකයින් වන 'කැමල් ක්ලබ්' සංගමය "ඔටුවන් අලංකාර කිරීමේ අරමුණින් සිදුකරන සියලු විකෘතිකිරීම් නතර කිරීමට" ඔවුන් උනන්දු වන බව පවසා ඇති අතර, "එලෙස සිදු කරන්නන්හට දැඩි දඬුවම් පමුණුවන බවටත්" පොරොන්දු වී තිබේ.

ඔටුවන්ගේ මාංශ පේශීන් ඉහිල් කිරීම සඳහා ඔවුන්ගේ තොල්, නාසය, හකු සහ ඔවුන්ගේ හිසෙහි අනෙකුත් කොටස්වලට බෝටොක්ස් එන්නත් කරන ආකාරයත්, ඔවුන්ගේ තොල් සහ නාසය විශාල කිරීමට කොලැජන් පිරවුම් භාවිතා කරන ලද ආකාරයත් ඔවුන් විසින් විස්තර කෙරෙන්නට යෙදුණි.

තව ද, ඔටුවන්ගේ සිරුරේ ඇතැම් කොටස් සාමාන්‍ය ප්‍රමාණයට වඩා විශාලකර පෙන්වීමට, සිරුරේ කොටස්වලට රබර් පටි යොදා ලේ ගමනාගමනය අවහිර කිරීම ද සිදුකරන බවත් ඔවුන් හෙළිකර තිබේ.

කින්ග් අබ්දුල් අසීස් ඔටු උත්සවය, ඔටුවන් සම්බන්ධයෙන් පැවැත්වෙන උත්සව අතුරින් ලොව විශාලතම උත්සවය යි.

පෙටා ආසියා (Peta Asia) සත්ත්ව හිමිකම් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ජේසන් බේකර් මෙම රූපලාවන්‍ය තරගය විස්තර කළේ "කුරිරු විගඩමක්" ලෙස යි.

"කන කැපීමේ සිට නියපොතු හා අං ඉවත් කිරීම සහ පිරවුම්කාරක එන්නත් කිරීම දක්වා ඕනෑම රූපලාවන්‍ය ක්‍රියාවලියකට සතෙකු ගොදුරු කිරීම ඉතා කුරිරු ක්‍රියාවක්. එවැනි උපක්‍රමයන්, ඒවා භාවිතා කරන මිනිසුන් අතිශයින් අවලස්සන බව පෙන්වනවා," ඔහු පැවසීය.

මැදපෙරදිග සහ ආසියාව පුරා පවතින සත්ත්ව සුභසාධන ගැටලු විසඳිය යුතු බව පැවසූ බේකර්, සත්ත්ව හිංසනය හෝ සතුන් අපයෝජනය කරන ඕනෑම උත්සවයක් නවතා දමන ලෙස සෞදි බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ ය.

එක්සත් ජනපදය, රුසියාව, සහ ප්‍රංශය වැනි දුරබැහැර රටවලින් ද පැමිණෙන්නන් ඇතුළුව 33,000ක් පමණ වන ඔටු හිමිකරුවන් මෙම උත්සවයට සහභාගී වන අතර, දෙසැම්බර් පළමුවැනිදා ආරම්භ වන උත්සවය දින හතළිහක් පුරා පැවැත්වේ.

සෞදියේ රියාද් අගනුවරට කිලෝමීටර් 100ක් පමණ ඊසාන දෙසින් පිහිටි වර්ග කිලෝමීටර් 32ක් පුරා පැතිරුණු උත්සව භූමියට, දිනකට සංචාරකයින් ලක්ෂයක් පමණ පැමිණෙනු ඇතැ යි අපේක්ෂා කෙරෙයි.

මෙය ද නරඹන්න:

වීඩියෝ ශීර්ෂ වැකිය,

ඉන්දියාවේ වෙසෙන අද්විතීය ඛාරායි ඔටුවන්ට මුහුදේ පීනන්නට ද හැකියි. නමුත් ඔවුන්ගේ වාසස්ථාන ටිකෙන් ටික අතුරුදහන් වෙමින් පවතියි.