දුර්ලභ බෞද්ධ ලේඛන මුද්‍රණය සඳහා සුදානම්

Padma Suthra Image copyright Indian Archives

1931 දී ඉන්දීය ගොපල්ලන් පිරිසක් විසින් සොයා ගනු ලැබූ දුර්ලභ පෞරාණික බෞද්ධ ලේඛන මුද්‍රණය සඳහා සුදානම් බව ඉන්දීය බලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා.

කාශ්මීරයේ ගිල්ගිත් ප්‍රදේශයෙන් හමුවුණු පද්ම සූත්‍රය අඩංගු මෙම පුස්කොල පොත්, පස් වැනි සියවසට අයත් බව විස්වාස කෙරෙන අතර ඉන්දියාවෙන් සොයාගත් එකම පෞරාණික බෞද්ධ ලේඛනය මෙය බවද සැලකෙනවා.

ඉතා වැදගත් බෞද්ධ සූත්‍රයක් ලෙස සැලකෙන පද්ම සූත්‍රය බුදුන් විසින් සිය ජීවිතයේ අවසාන වකවානුවේදී දේශනා කරන ලද්දක් බවයි ප්‍රකාශ වන්නේ.

ඉන්දීය ජාතික ලේඛනාගාරයේ මෙම මෙම පුස්කොල පොත් තැන්පත් කර ඇති අතර නව මුද්‍රණය එහි ඡායාරුපමය පිටපත් වලින් සමන්විතයි. නව මුද්‍රණය සඳහා ඉන්දීය ලේඛනාරක්ෂක ආයතනයට සහාය ලබා දෙන්නේ ජපානයේ සෝකා ගක්කයි ආයතනයයි.

ගිල්ගිත් ප්‍රදේශයේ ගරාවැටුණු බෞද්ධ ස්ථුපයක පිහිටි වක්‍රාකාර ගැබෙහි ලී පෙට්ටියක තිබූ මෙම පුස්කොල පොත් එය සොයාගත් ගොපල්ලන් විසින් ගිල්ගිට් ප්‍රාදේශීය පාලකයා වෙත භාර දෙනු ලැබුවා.

"අනාගතයේ සිදුකෙරෙන පර්යේෂණ සඳහා මෙවැනි දුර්ලභ ලේඛන සුරක්ෂිත වීම විශාල පිටිවහලක් ", යයි ඉන්දීය ජාතික ලේඛනාගාරයේ අධ්‍යක්ෂ මහාචාර්ය මුශිර් උල් හසන් ප්‍රකාශ කරන්නේ