ඉරාක උප ජනාධිපතිවරයාට එරෙහිව රතු වරෙන්තුවක්

ඉන්ටර්පෝල් Image copyright AFP
Image caption අගනුවරට ගියහොත් තම ජිවිතයට අනතුරක් වෙනු ඇතැයි ඉරාක උප ජනාධිපතිවරයා බිය පළ කරයි

සැඟවී සිටින ඉරාක උප ජනාධිපති තරෙක් අල් හෂෙමි අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර වරෙන්තුවක් ඉන්ටර්පෝල් හෙවත් අන්තර්ජාතික පොලිස් සංවිධානය විසින් නිකුත් කරනු ලැබ තිබේ.

රතු දැන්වීමක් ලෙස හැදින්වෙන මෙම වරෙන්තුව මගින් ඉරාක උප ජනාධිපතිවරයා සිටින තැනක් පිළිබඳ හෝඩුවාවක් හෝ ඔහු අත්අඩංගුවට ගැනීමට සහාය ලබාදෙන ලෙස ජාත්‍යන්තර පොලිස් සංවිධානයේ සාමාජික රටවල් එකසිය අනුවෙන් ඉල්ලා සිටියි.

වරෙන්තුව නිසා ඉරාක නායකයාගේ ගමන් බිමන් දැඩි ලෙස සිමා වෙනු ඇතැයි ජාත්‍යන්තර පොලිස් සංවිධානය කියා සිටියේය.

මිනීමරු කල්ලි මෙහෙයවූ බවට ඉරාක ආණ්ඩුව උප ජනාධිපති හෂෙමිට චෝදනා එල්ල කලත් එම චෝදනා දේශපාලන හේතු මත ගොනු කර ඇති බවයි, අල් හෂෙමි පවසන්නේ.

බැග්ඩෑඩ් අගනුවරට ගියහොත් තම ජිවිතයට අනතුරක් වෙනු ඇතැයි ඔහු බිය පළ කළේය.