සිරියාවේ, දමස්කස් අගනුවර දැවැන්ත පිපිරීමක්

සිරියාවේ, දමස්කස් අගනුවර පුපුරා ගිය දැවැන්ත කාර් බෝම්බ දෙකකින් පුද්ගලයන් පනස් පස් දෙනෙකු මියගොස් තවත් සිය ගණනක් වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි නිලධාරීන් ප්‍රකාශ කළහ.

මෙම බෝම්බ පුපුරා ගොස් තිබෙන්නේ දමස්කස් අගනුවර උදෑසන කාර්ය බහුල වේලාවකයි.

පිළිස්සුනු මළ සිරුරු සහ රථ වාහන වල දර්ශන සිරියානු රජයේ රූපවාහිනිය මගින් විකාශනය කෙරින.

අල් කසාස් දිස්ත්‍රික්කයේ හමුදා බුද්ධි මුලස්ථානය අසල පුපුරා ගිය මෙම කාර් බෝම්බ දමස්කස් නගරයෙන් වාර්තා වූ භයානකම පිපිරීම් හැටියටයි එහි සිටින බි බි සි වාර්තාකරු හැදින්වූයේ.

ත්‍රස්තවාදීන් විසින් මෙම ප්‍රහාර එල්ල කර ඇතැයි සිරියානු ආණ්ඩුව චෝදනා කලත් බෝම්බ ප්‍රහාරයේ වගකීම රජය භාර ගත යුතු යයි විපක්ෂය කියා සිටි.

බෝම්බ ප්‍රහාර හෙළ දුටු එක්සත් ජාතීන්ගේ සහ අරාබි සංගමයේ විශේෂ නියෝජිත කොෆි අන්නන් මෙවැනි සිදුවීම් සිරියාවේ සියලු පාර්ශවයන්ට අහිතකර ලෙස බලපාන බවයි ප්‍රකශ කලේ.