ඊජිප්තු ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම ඇරඹේ

ඊජිප්ත්තු ජනාධිපතිවරණය Image copyright Reuters

ඊජිප්තුවට නව ජනාධිපතිවරයෙක් තෝරා පත් කර ගැනීම සඳහා පැවැත්වෙන ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අද ඇරඹිණි.

මීට මාස පහළොවකට පෙර ජනාධිපති හොස්නි මුබාරක් ධුරයෙන් පළවා හැරීමෙන් පසු ඊජිප්තුව පවත්වන මේ මැතිවරණය, එරට පළමු නිදහස් ජනාධිපතිවරණයයි.

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම දින දෙකක් පුරා සිදු කිරීමටද නියමිතයි.

සන්සුන් වාතාවරණයක් ඊජිප්තුව පුරා දක්නට ඇතැයි කියා සිටි බී බී සී වාර්තාකරුවෙක්, මැතිවරණ නිරීක්ෂකයන් විසින් ඡන්ද අක්‍රමිකතා කිහිපයක් ගැන වාර්තා කර ඇතැයිද පැවසීය.

මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා දී තිබු කාල සීමාව නිමවීමෙන් පසුවත් දිගටම ඡන්ද ප්‍රචාරක ව්‍යාපාරයේ යෙදී සිටි, ප්‍රධාන අපේක්ෂකයන් තිදෙනෙකුට එරෙහිව ඡන්ද නීති උල්ලංඝනය කිරීමේ චෝදනා ගොනු කරන බවයි, ජනාධිපතිවරණ මහ කොමසාරිස් කාර්යාලය කියා සිටියේ.