සිරියාවේ වාතාවරණය ව්‍යාකූල අතට

Kofi Annan speaking to press upon his arrival in Damascus Image copyright AFP
Image caption කොෆි අන්නන්, සිරියාවේ පවතින තත්වය විග්‍රහ කළේ, ඉතා ම බරපතළ මොහොතක් හැටියට

සිරියාවේ වාතාවරණය ව්‍යාකූල අතට හැරෙද්දී, එක්සත් ජාතීන්ගේ සිරියානු නියෝජිත කොෆි අන්නන් දමස්කස් නගරයට ලඟා වී සිටී.

කොෆි අන්නන්, සිරියාවේ පවතින තත්වය විග්‍රහ කළේ, ඉතා ම බරපතළ මොහොතක් හැටියට.

පසුගිය දා හූලා (Houla) නගරයේදී සියයකට අධික සාමාන්‍ය ජනතාව මරා දමනු ලැබීම සම්බන්ධයෙන් අදහස් දැක් වූ එක්සත් ජාතීන්ගේ නියෝජිතයා ඒ පිළිබඳව සිය පෞද්ගලික කම්පාව පළ කළේය.

හූලා නගරයේ ඝාතනයට ලක් වූවන්ගෙන් අඩකට ආසන්න වුනේ ළමුන්.

තවදුරටත් අදහස් දැක්වූ කොෆි අන්නන්, හෙට තමා ජනාධිපති අසාද් හමු වූ විට ඔහු සමඟ ඉතාම වැදගත් සහ විවෘත සාකච්ඡා පවත්වන බවත් කියා සිටියේය.

තමා විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති අදියර හයකින් සමන්විත සාම සැලැස්ම සම්පූර්ණයෙන් ම ක්‍රියාවට නැංවිය යුතු ව ඇතැයි ද කොෆි අන්නන් ප්‍රකාශ කරයි.

රුසියාවේ හෙලාදැකීම

තව දුරටත් අදහස් දැක් වූ එක්සත් ජාතීන්ගේ නියෝජිතයා කියා සිටියේ, සිරියානු ආණ්ඩුව පමණක් නොව තුවක්කු ගත් හැම කොටසක් ම, මේ අර්බුදය සාමකාමීව නිරාකරණය කර ගැනීමට ඔවුන් තුළ ඇති මනාපය පෙන්නුම් කළ යුතු බවයි.

Image copyright Reuters
Image caption අහිංසක ජනතාව මරා දැමීම ගැන රුසියාවේ විදේශ ඇමතිවරයා සිරියානු ආණ්ඩුවට මෙන් ම විපක්ෂයටත් දෝෂාරෝපණය කළේය

සිරියානු ආණ්ඩුව, හූලා නගරයේ ප්‍රහාර සඳහා බිහිසුණු අවි ආයුධ යොදා ගැනීම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් හෙලා දකිනු ලැබීමෙන් පැය කීපයකිනුයි කොෆි අන්නන්ගේ සිරියානු සංචාරය ආරම්භ කෙරුනේ.

හූලා නගරයේ සමූහ ජනඝාතනය සම්බන්ධයෙන් දැඩි අනතුරු ඇඟවීමක් කරන රුසියාවේ විදේශ ඇමති සෙර්ගෙයි ලවුරොෆ්, අහිංසක ජනතාව මරා දැමීම ගැන සිරියානු ආණ්ඩුවට මෙන් ම විපක්ෂයටත් දෝෂාරෝපණය කළේය.

බ්‍රිතාන්‍ය විදේශ ලේකම් විලියම් හේග් ද සහභාගී වූ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී, මොස්කව් නගරයේ දී අදහස් පළ කළ රුසියානු විදේශ ඇමතිවරයා, වඩාත් වැදගත් වන්නේ සිරියාවේ බලයේ සිටින්නේ කවුරුන්ද යන්න නොව, පවතින ප්‍රචණ්ඩ වාතාවරණය අවසානයකට ගෙන ඒම බවද පැවසීය.

රුසියාව, සිරියානු ආණ්ඩුවේ ඉතා ම කිට්ටු මිතුරෙක් .

ඉහත කී ප්‍රවෘත්ති සාකච්ඡාවේදී විදේශ ඇමති වරුන් දෙදෙනා ම යළි අවධාරණය කළේ, සිරියාවේ අර්බුදය නිරාකරණය කර ගැනීමට ඇති හොඳම ක්‍රියා මාර්ගය කොෆි අන්නන් සාම සැලැස්ම වන බවයි.

මේ අතර සිරියානු විපක්ෂය කියා සිටින්නේ ආණ්ඩුවේ හමුදා තමන්ට දිගටම පහර දෙන බවයි.

හමා (Hama) නගරයට ඊයේ එල්ල කෙරුන දරුණු බෝම්බ ප්‍රහාර සමඟයි එය ආරම්භ වී තිබෙන්නේ.

හමා නගරයේ කැරලිකරුවන්ගේ කඳවුරු වලට එල්ල කෙරුන පහරදීම් වලදී තිස් දෙනකුට අධික පිරිසක් මරා දැමුණ බවයි,විපක්ෂයේ ක්‍රියාකාරිකයන් පවසන්නේ.

සිරියාව පුරා ඊයේ මරා දමා ඇති සංඛ්‍යාව හැත්තෑවක් පමණ යයි ඇතැම් විපක්ෂ ක්‍රියාකාරිකයෝ පවසති.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර