ලයිබීරියාවේ හිටපු ජනාධිපතිට අවුරුදු පණහක සිර දඬුවමක්

ලයිබීරියාවේ හිටපු ජනාධිපති චාර්ල්ස් ටේලර් Image copyright AFP
Image caption ලයිබීරියාවේ හිටපු ජනාධිපති චාර්ල්ස් ටේලර්

යුද අපරාධ චෝදනා ලැබ සිටි ලයිබීරියාවේ හිටපු ජනාධිපති චාර්ල්ස් ටේලර්ට අවුරුදු පණහක සිර දඬුවමක් නියම විය.

සියරාලියෝන් යුද අපරාධ විභාග කළ හේග් විශේෂ අධිකරණය විසින් එම දඬුවම නියම කොට තිබේ.

නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරමින්, හේග් අධිකරණයේ ප්‍රධාන විනිශ්චයකාර රිචර්ඩ් ලුස්සිච්ක් , හිටපු ජනාධිපති චාර්ල්ස් ටේලර් විසින් සිදු කර ඇති අපරාධ විග්‍රහ කළේ, මානව ඉතිහාසයේ වාර්තා වන දරුණුතම සාහසික ක්‍රියාවන් හැටියට.

චුදිතයා, ස්ත්‍රී දූෂණ,මිනීමැරීම් සහ මිනිසුන් වහල් භාවයට පත් කිරීම ආදී අපරාධ වලට වැරදි කරු වන බවයි අධිකරණයේ තීන්දුව වුනේ. චාර්ල්ස් ටේලර් , දියමන්ති ලබා ගැනීම සඳහා සියරා ලියොන් කැරලිකරුවන්ට අවි ආයුධ ඇතුළුව ද්‍රව්‍යමය පහසුකම් සහ මානසික දිරිගැන්වීම් ලැබ දී අති බවයි විනිසුරු රිචර්ඩ් ලුස්සිච්ක් කියා සිටියේ.සියරාලියෝන් කැරලිකරුවන්, සිවිල් යුද සමයේ තමන්ට යටත් කර ගත් ජනයාගේ අත් පා කපා දැමීම ඇතුළු ම්ලේච්ඡ ක්‍රියාවන්හි නිරත වුහ.

ගර්භනී මව් වරුන්ගේ කුසයේ සිටින දරුවන්ගේ ස්ත්‍රී පුරුෂ භාවය කුමක්දැයි ඔට්ටු ඇල්ලූ, සියරාලියෝන් කැරලිකරුවන්, එම මව්වරුන්ගේ උදරය කපා දැමු අවස්ථාවන්ද වාර්තා විය.

චූදිත හිටපු ජනාධිපති ටේලර් ,ඔහු විසින් සිදු කරනු ලැබ ඇති අපරාධ සම්බන්ධයෙන් පශ්චාත්තාප වන බවක් පෙනෙන්නට නැත.