පලස්තීන ප්‍රහාරක සිරුරු ඊශ්‍රායලය ආපසු බාර දෙයි

ඊශ්‍රායලයට එරෙහි ප්‍රහාර වලදී මියගිය පලස්තීනුවන් සැමරීමේ විශේෂ උළෙලක් පලස්තීන නායක මහමුද් අබ්බාස් ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි.

පලස්තීන අධිකාරිය විසින් බ්‍රහස්පතින්දා මෙම සැමරුම් උළෙල පවත්වනු ලැබුයේ ප්‍රහාර වලදී මියගිය පලස්තීන ජාතිකයන් අනුවකට අධික පිරිසකගේ මෘත ශරීර ඊශ්‍රායලය විසින් යළි පලස්තීනයට ලබාදීමෙන් අනතුරුවයි.

හොඳ හිත ගොඩනැගීමේ පියවරක් ලෙස ඊශ්‍රායලය විසින් ගනු ලැබූ මෙම පියවරේදී 1975 තරම් ඈත කාලයකදී ඝාතනය වූ පලස්තීනුවන්ගේ සිරුරු කොටස් ද භාර දී තිබෙන බව ප්‍රකාශ වුනි.

රමල්ලා නගරයේ ජනාධිපති මන්දිරය ඉදිරිපිට පලස්තීන ධජයෙන් ආවරණය කළ මිනී පෙට්ටි අසූවක් ප්‍රදර්ශනයට තිබු අතර තවත් දොළහක් හමාස් පාලිත ගාසා තීරය වෙත යැවුණු බව වාර්තා වේ.

මියගිය පුද්ගලයන් ජාතික වීරයන් ලෙස පලස්තීන ජනතාව විසින් සලකනු ලැබුවත් ඊශ්‍රායලය විසින් ඔවුන් හදුන්වනු ලැබුනේ ත්‍රස්තවාදීන් ලෙසයි.

දෙමසකට වැඩි කලක් තිස්සේ ඊශ්‍රායෙල් බන්ධනාගාර තුල පවත්වාගෙන යනු ලැබූ උපවාසයක් අත් හිටුවීමට පලස්තීන සිරකරුවන් තීරණය කළේ මේ මස මුලදීයි.