යුද්ධයේ දී සයිබර් ප්‍රහාරය 'වඩාත් ශිෂ්ට සම්පන්න විය හැකියි'

Cyber attack Image copyright Reuters
Image caption සයිබර් ප්‍රහාර නිසා අන්තර් ජාල අවි තරගයක් හටගෙන තිබෙන බව මැලේසියාවේ ආරක්ෂක ඇමතිවරයා පවසයි

කිසියම් සතුරෙකුට විරුද්ධව සයිබර් හෙවත් අන්තර් ජාල ප්‍රහාරයක් එල්ලකිරීම මගින් ජීවිත හානි අඩු කර ගත හැකි නම් එය සතුරාට එරෙහි වඩාත් ශිෂ්ට සම්පන්න ප්‍රහාරය විය හැකි බව බ්‍රිතාන්‍ය ඇමතිවරයෙක් පවසයි.

මේ දිනවල සිංගප්පූරුවේ පැවැත්වෙන ආරක්ෂක කටයුතු සම්බන්ධ සමුළුවක් අමතමින් ආරක්ෂක හමුදා පිලිබඳ බ්‍රිතාන්‍ය අමාත්‍ය නික් හාවි Nick Harvey තවදුරටත් කියා සිටියේ අනාගත යුද ගැටුම් වලදී අන්තර් ජාල මෙහෙයුම් ප්‍රධාන කාර්ය භාරයක් ඉටුකරනු ඇති බැවින් එය හමුදාවලට පමණක් නොව සමස්ත සමාජයටම තර්ජනයක් එල්ල කරනු ඇති බවයි.

සයිබර් ප්‍රහාර මගින් බලගතු හමුදාවන් පවතින රටවලට අඩු වියදමකින් ප්‍රහාර එල්ල කිරීමට සතුරන්ට අවස්ථාව ලැබෙන බවද ඔහු පැවසීය.

සයිබර් ප්‍රහාර නිසා අන්තර් ජාල අවි තරගයක් හටගෙන තිබෙන බව සමුළුව ඇමතූ මැලේසියාවේ ආරක්ෂක ඇමතිවරයා ප්‍රකාශ කළේය.

ඊයේ මෙම සමුළුව අමතා කතා කළ මියන්මාරයේ ආරක්ෂක ඇමති හ්ලා මින් (Hla Min ) පැවසුවේ, න්‍යෂ්ටික බල ව්‍යාපෘතියක් නිර්මාණය කිරීම සඳහා පැවැති අභිලාශය තම රට විසින් අත්හැර දමන ලද බවයි.

පසුගිය වසරේ රටේ පාලනය භාරගත් ප්‍රතිසංස්කරණ වාදී සිවිල් ආණ්ඩුව, න්‍යෂ්ටික ව්‍යාපෘතියට අදාළ සියලුම ක්‍රියාකාරකම් නතර කළ බවයි ,මියන්මාර් ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කළේ.

න්‍යෂ්ටික අවි ආයුධ නිපදවීමේ උත්සාහයක නිරත වූ බවට එල්ල කෙරෙන චෝදනා, මියන්මාරය විසින් දැනටමත් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ.