තරුණියන් බලහත්කාරයෙන් විවාහ කරවීමට තහංචි

Image copyright a

එංගලන්තයේදී, වේල්සයේදී සහ උතුරු අයර්ලන්තයේදී තරුණ තරුණියන් බලහත්කාරයෙන් විවාහ කරදීම නීති විරෝධී බවට පත් කෙරෙන නව නීති විධිවිධාන බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් විසින් ප්‍රකාශයට පත් කෙරිණ.

තමන්ගේ කැමැත්තට එරෙහිව විවාහ වීමට කිසිවෙකුට බල කිරීම වහල් භාවයට සමාන තත්ත්වයේ ක්‍රියාවක් බව පැවසූ බ්‍රිතාන්‍ය අගමැතිවරයා, එය අපරාධයක් බවට පත් කිරීම මගින් එවැනි විවාහ වැළැක්වීමට උපකාරී වනු ඇති බවද කියා සිටියේය.

වසරක් ඇතුලත තරුණ තරුණියන් 8000 කට ආසන්න පිරිසක් බලහත් කාරයෙන් විවාහ කරදෙන බව ඇස්තමේන්තු කොට තිබෙනවා. එයින් බහුතරය තරුණියන්.

බ්‍රිතාන්‍යයේදී විවාහවීමේ අවම වයස අවුරුදු 16 ක් වන නමුත් මෙසේ බලහත්කාරයෙන් විවාහ කෙරෙන ඇතැම් තරුණියන්ගේ වයස අවුරුදු 16 ට අඩුයි.

දරු දැරියන් මෙසේ බලහත්කාරයෙන් විවාහ කරදීමේ චෝදනා ලබන බහුතරය පාකිස්තාන, බංග්ලාදේශ හෝ ඉන්දීය සම්භවයක් ඇති පවුල් වන අතර, තම පවුල් වලට කරදරයක් වෙතැයි බියෙන් එයට ගොදුරුවන බොහෝ තරුණියන් එම සිදුවීම් ගැන පැමිණිලි නොකරන බවද හෙළිවී තිබේ.