එක්සත් ජාතීන්ගේ නිරීක්ෂකයෝ සිරියාවේ සමූහ ඝාතනය නිරීක්ෂණය කරති

Massacre in Qubair Image copyright AP
Image caption ඇතැමුන්ගේ මොළ කැබලි ඇතුළු සිරුරු කොටස් ලේ ගංගාවන් මැද වැටී තිබෙනු දුටු බව බීබීසී වාර්තාකරුවෙක් පවසයි

සිරියානු ආණ්ඩුවට සම්බන්ධ සන්නද්ධ කණ්ඩායම් විසින් පසුගිය බදාදා සාමාන්‍ය වැසියන් සමූහ වශයෙන් ඝාතනය කරන ලද බව පැවසෙන කුබෙයිර් ගම්මානයේ සංචාරය කළ එක්සත් ජාතීන්ගේ නිරීක්ෂකයන්ට ඉතා පිළිකුල් සහගත දර්ශන දැකගන්නට ලැබී තිබේ.

ඔවුන් සමග ගමන් කරමින් සිටින බීබීසී වාර්තාකරුවෙක් පවසන්නේ, ඝාතනයට ලක්වූ ඇතැමුන් ගේ මොළ කැබලි ඇතුළු සිරුරු කොටස් ලේ ගංගාවන් මැද වැටී තිබෙනු තමන් දුටු බවයි.

එම ප්‍රදේශයේ නිවාස ද ගිනිතබා විනාශකොට තිබුණු අතර, සිදුවූයේ කුමක්දැයි පැවසීමට කිසිවෙකුත් ජීවතුන් අතර නොසිටි බව ද බීබීසී වාර්තාකරු ප්‍රකාශ කරයි.

තමන් එහි යන විට සියලු මළසිරුරු ඉවත් කොට තිබූ නමුත්, ඉතා බරපතල විනාශයක් සිදුවූ බවට එහි සියලු සලකුණු තිබුණු බවයි, ඔහු සඳහන් කරන්නේ.

ඝාතනයට ලක්වූ බව පැවසෙන සාමාන්‍ය වැසියන් අසූ දෙනාගේ මළ සිරුරු සිරියානු හමුදාව විසින් රැගෙන යන ලද බව, ක්‍රියාධරයෝ පවසති.

මේ අතර ප්‍රකාශයක් කරන, ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය පවසන්නේ සිරියාවේ යුද ගැටුම් හේතුවෙන් උන්හිටි තැන් අහිමිව සිටින පහළොස් ලක්ෂයක ජනකායකට හදිසි ආධාර අවශ්‍යව තිබෙන බවයි.

දිනපතාම පාහේ බොහෝ ජනතාව සිය නිවාසවලින් පලවා හැරෙමින් සිටින බව පවසන රතු කුරුස සංවිධානය, ඔවුන්ට ආහාර, ඖෂධ සහ හිසට සෙවනක් වහාම අවශ්‍යව තිබෙන බවද පවසයි.

මේ අතර මොස්කවු අගනුවරදී රුසියාවේ බලධාරීන් හමුවුණු ඇමෙරිකා එක්සත් ජනපදයේ ජ්‍යෙෂ්ට නිලධාරියෙක්, පදවියෙන් ඉල්ලා අස්වන මෙන් සිරියාවේ ජනාධිපති බෂාර් අල් අසාඩ්ට ජාත්‍යන්තර වශයෙන් එල්ලවෙමින් තිබෙන බලපෑමට රුසියාවේ සහයෝගය උත්සාහයක නිරතව සිටියේය.