අවුරුදු විසි එකක් පැරණි නොබෙල් සාම ත්‍යාගයක්

මියන්මාරයේ විපක්ෂ නායිකා අවුන්ග් සාන් සූකී, Image copyright AFP

මියන්මාරයේ විපක්ෂ නායිකා , අවුන්ග් සාන් සූකී, මෙයින් අවුරුදු විසි එකකට පෙර තමා වෙනුවෙන් පිරි නැමුන නොබෙල් සාම ත්‍යාගය ඔස්ලෝ නගරයේදී අද භාර ගත්තාය.

යුද හමුදා පාලනය විසින්, කළින් කල සිර භාරයේ සහ නිවාස සිර අඩස්සියේ තබනු ලැබ සිටි හෙයින් , එම සම්මානය පෞද්ගලික මට්ටමින් භාර ගැනීම සඳහා සහභාගී වීමට ඇයට මෙතෙක් අවස්ථාවක් නොලැබුණි.

සාම තිළිණය පිරිනමමින්, නෝර්වේ නොබෙල් කමිටුවේ සභාපති ,තොර්බ්යර්න් ජග්ලන්ඩ් කියා සිටියේ, අවුන්ග් සාන් සූකී වෙත එය භාර දීම සඳහා දීර්ඝ කාලයක් බලා සිටීමට සිදු වුන බවයි.

සාම සම්මානය පිළිගනිමින් අදහස් දැක්වූ මියන්මාර විපක්ෂ නායිකාව, තම රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් වෙනුවෙන් ගෙනයන අරගලය නොනවත්වා පෙරට ගෙනයන බවයි කියා සිටියේ.

මියන්මාරය තුල දැනට සිදු කෙරෙමින් පවතින ප්‍රතිසංස්කරණ ගැන ශුභවාදීව අදහස් දැක් වූ අවුන්ග් සාන් සූකී, එහෙත් ඒ ගැන අන්ධ විශ්වාසයක් තබා ගත යුතු නැතැයි ද සඳහන් කළාය.

සියලුම දේශපාලන සිරකරුවන් මුදා හරින ලෙසත් ඇය තම දේශනයේදී ඉල්ලා සිටියාය.