පෙරලුනු බෝට්ටුවේ ශ්‍රී ලාංකිකයන් නැහැ - ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්

ඉන්දුනීසියාව සහ ඔස්ට්‍රේලියාව අතර මුහුදේ යාත්‍රා කරමින් තිබියදී පෙරලුනු බෝට්ටුවෙන් පණ බේරාගත් අය අතර ශ්‍රී ලාංකිකයන් කිසිවෙකුත් නැති බව ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් අද්මිරාල් තිසර සමරසිංහ ප්‍රකාශ කරයි.

පෙරලුනු බෝට්ටුව ගමන් ආරම්භ කළේ කොහි සිටද යන්න පිළිබඳව, පණ බේරාගත් අය අතර ශ්‍රී ලාංකිකයන් කිසිවෙකු නොමැති වීම මගින් ඕස්ට්‍රේලියානු බලධාරීන්ට ඉඟියක් සපයනු ඇති බව මහ කොමසාරිස් වරයා බීබීසී දෙමළ සේවයට කියා සිටියේය.

ආසියානු සංක්‍රමණිකයන් පිරිසක් රැගත් නෞකාව පෙරලීමෙන් අනතුරුව ඕස්ට්‍රේලියානු නෞකා සහ ගුවන් යානයක් මගින් සියයකට ආසන්න පිරිසක් බේරාගත් අතර වයස අවුරුදු දහ තුනක පිරිමි දරුවෙක්ද ඒ අතර සිටි.

තවත් 90 දෙනෙකුට ආසන්න පිරිසක් අතුරුදහන්ව සිටින බව බලධාරීහු පවසති.

බෝට්ටුව පෙරලී ගිය ක්‍රිස්මස් දූපතට ඉතා ඈත ප්‍රදේශයකදී මළ සිරුරු සහ ජීවිතාරක්ෂක ඇඳුම් දුටු බව ගුවන් යානයේ කාර්ය මණ්ඩලය පැවසූහ.

මෙය ඛේදවාචකයක් ලෙසින් විග්‍රහ කළ ඕස්ට්‍රේලියාවේ අගමැතිනි ජූලියා ගිලාඩ්, එහිදී විශාල පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පෙනී යන්නේ යැයි පැවසුවාය.