ෆුකුෂිමා ව්‍යසනය 'මිනිසා සිදු කළ එකක්'

Fukushima report Image copyright AFP
Image caption 2011 සිදුවූ ෆුකුෂිමා න්‍යෂ්ටික අනතුර ගැන වාර්තාව ජපාන කතානායක අතට

ජපානයේ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ විනාශය මිනිසා අතින් සිදුවූ එකක් බවත් එය කලින් දැක, වලක්වා ගත හැකිව තිබූ එකක් බවත් ඒ පිළිබඳව කළ විමර්ශනයකින් හෙළි වී තිබේ.

විමර්ශන කමිටුවේ ප්‍රධානී කියෝෂි කුරොකාව (Kiyoshi Kurokawa) එහි වාර්තාව නිකුත් කරමින් කියා සිටියේ, ඉකුත් වසරේ සිදුවූ භූමි කම්පාවට හෝ සුනාමියට හෝ මුහුණ දීමට හැකිවන ලෙසට බලාගාරය සූදානම්ව නොතිබීමට හේතුව එහි විවිධාකාර දෝෂ පැවතීම බවයි.

මේ විනාශය ඔහු හදුන්වා දෙන ලද්දේ 'made in Japan' නැත්නම් 'ජපානයේ සාදන ලදී' යනුවෙනුයි. ජපානය විසින් පිළිපැදිය යුතු අදාළ නෛතික ගිවිසුම් සහ අධිකාරිය ප්‍රශ්න කිරීමට ඇති අයිතිය යන කරුණු මත මූලික ගැටළු පදනම් වී ඇති බවයි හෙතෙම පැවසුවේ. අනාගත න්‍යෂ්ටික ප්‍රතිපත්ති සැකසීමේදී වාර්තාවේ සොයාගැනීම් සැළකිල්ලට ගන්නා බව ජපාන පාර්ලිමේන්තුවේ කථානායක ටකහිරෝ යොකොමිචි (Takahiro Yokomichi) විසින් ප්‍රකාශ කරන ලදී.

ෆුකුෂිමාවේ න්‍යෂ්ටික බලාගාරය බරපතල ලෙස අනතුරට ලක් වූයේ 2011 මාර්තු 11 වැනිදා හටගත් භූමි කම්පාවක් හා සුනාමියක් ප්‍රතික්‍රියක වල සිසිලන පද්ධතිය ට හානි පැමිණවීමෙන් අනතුරුවයි. එහි ප්‍රතිපලය වූයේ න්‍යෂ්ටික දඬු දියව යමින් විකිරණ කාන්දු වීම.

දස දහස් සංඛ්‍යාත පළාත් වාසීන් ඉවත් කොට බලාගාරය අවට ප්‍රදේශය තහනම් කලාපයක් කරන ලද අතර ප්‍රතික්‍රියක පාලනය කර ගැනීම සඳහා කම්කරුවෝ දිවා රෑ සේවයේ යෙදුනහ.