සිරියාවේ තත්වය දරුණු අතට; ආරක්ෂක මණ්ඩලය කැඳවේ

ආරක්ෂක ඇමති ඩාවුඩ් රජිහා Image copyright none
Image caption ආරක්ෂක ඇමති ඩාවුඩ් රජිහා

සිරියාවේ ආරක්ෂක ඇමති, ඩාවුඩ් රජිහා සහ ජනාධිපති අල් අසාද්ගේ ඥාති සහෝදරයා වන අසිෆ් සෞකට් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් වූ බව සිරියානු රාජ්‍ය රූපවාහිනිය මගින් නිවේදනය කෙරිණ.

හිටපු ආරක්ෂක ඇමති, ජනරාල් හසන් තුර්ක්මානි ද ප්‍රහාරයට ගොදුරුව මරණයට පත් වූ බවයි වාර්තා වන්නේ.

කැබිනට් ඇමතිවරුන් සහ ආරක්ෂක මණ්ඩලයේ ජ්‍යෙෂ්ට නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ඩමස්කස් අගනුවර ජාතිකආරක්ෂක මුලස්ථානයේ සාකච්ඡාවක් පැවැත්වෙන අතරවාරයේයි ප්‍රහාරය එල්ල වී ඇත්තේ.

ඊට සහභාගී වෙමින් සිටි අභ්‍යන්තර කටයුතු භාර ඇමති මොහමඩ් ඊබ්‍රාහිම් සහ සිරියානු බුද්ධි සේවයේ ප්‍රධානි හිශාම් ඉක්තියාර් ඇතුළු තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ගණනාවක් ද තුවාළ ලබා ඇති බවයි සිරියානු රූපවාහිනිය වාර්තා කළේ.

Image copyright AFP
Image caption නියෝජ්‍ය ආරක්ෂක ඇමති අසිෆ් සෞකට්

ඩමස්කස් අගනුවර තුළට ද සටන් ව්‍යාප්ත වෙද්දී ප්‍රකාශයක් කරන සිරියානු කැරලිකරුවන් කියා සිටියේ නගරය තමන් අතට පත් වීමට ආසන්න බවයි.

එහෙත් එම ප්‍රකාශය බැහැර කරන සිරියානු ආණ්ඩුව පවසන්නේ කැරලිකරුවන් පසුබැස්වූ බවයි.

සිරියාව තුළ ප්‍රචණ්ඩ ගැටුම් උත්සන්න වීමෙන් පෙනී යන්නේ ජනාධිපති අල් අසාද් පදවියෙන් ඉවත්ව යාමේ උවමනාව යයි ඇමෙරිකානු ආරක්ෂක ලේකම් ලියොන් පෙනේටා කියා සිටියි.

ප්‍රංශ ආණ්ඩුව ද කියා ඇත්තේ ඊට සමාන අදහසක්.

එහෙත් මේ අතර ප්‍රකාශයක් කරන රුසියාවේ විදේශ ඇමති,සෙර්ගේයි ලව්රෝෆ්, එක්සත් ජාතීන් විසින් සිරියාවට එරෙහිව සම්බාධක පනවනු ලැබීම සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් කර ඇත.

එවැනි ක්‍රියාමාර්ගයක් කෙලින්ම කැරලිකරුවන්ට ආධාරයක් වන බවයි රුසියානු විදේශ ඇමතිවරයා කියා සිටින්නේ.

මේ අතර බේජිං නගරයේ දී චීන ජනාධිපති හූ ජින්තාඕ, සමග පැවැත්වූ සාකච්ඡාවලින් අනතුරුව ප්‍රකාශයක් කළ එක්සත් ජාතීන්ගේ මහා ලේකම් බැන් කි මූන්, එකමුතු තීන්දුවක් ගන්නා මෙන් ආරක්ෂක මණ්ඩලයෙන් ඉල්ලා සිටියේය.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය අද හවස රැස්වීමට නියමිතයි.