සිරියානු සටන් තවත් දරුණුවේ

syria fighting Image copyright BBC World Service

තුර්කිය සිය සිරියානු දේශසීමා පිවිසුම් මාර්ග ඔස්සේ සිදු කෙරෙන ගමන් බිමන් සහ ප්‍රවාහන කටයුතු කෙරෙහි බල පැවැත්වෙන තහංචි මාලාවක් ප්‍රකාශයට පත් කොට ඇත.

තුර්කියට පැමිණෙන සිරියානු අනාථයන්ට දේශ සීමාව ඔස්සේ ගමන් ගැනීමට නව රෙගුලාසි යටතේ අවසර ලැබී ඇතත් තුර්කි වැසියන්ට දේශ සීමාව ඔස්සේ සිරියාවට යාමට නව නීතිය අනුව අවස්ථාව ලැබෙන්නේ නැත.

සිරියාවට එරෙහිව බල පැවැත්වෙන ආර්ථික සම්බාධකවලට සමපාතව ඉහත කී තහංචි ප්‍රකාශ කෙරුන බවයි ,වාර්තාකරුවන් පවසන්නේ.

අලෙප්පෝ නගරය

කැරලිකරුවන් අත ඇති ප්‍රදේශ යළි දිනා ගැනීමට සිරියානු ආණ්ඩුව ගන්නා උත්සාහයේ කොටසක් හැටියට ,යුද්ධ ටැංකි සහ සන්නද්ධ රථ ඇතුළත් , විශාල හමුදාවක් අලෙප්පෝ නගරය දෙසට ගමන් ගනිමින් ඇති බවයි, මේ අතර සිරියාවෙන් වාර්තා වන්නේ.

අලෙප්පෝ නගරයේ තම බලය සහතික කර ගැනීමට, තුර්කි දේශ සීමාවේ ඉද්ලිබ්( Idlib ) පළාතෙන් දහස් ගණනක තම හමුදා භටයන් සහ සන්නද්ධ රථ අලෙප්පෝ නගරය කරා ගෙන එන බවයි ,ඊට ප්‍රතිචාරය පළ කරන කැරලිකාරී සිරියානු ජාතික හමුදාව ප්‍රකාශ කළේ.

අහිමි වූ ප්‍රදේශ යළි දිනා ගැනීම සඳහා යත්න දරන ආණ්ඩුවේ හමුදා, දමස්කස් අගනුවර සහ අලෙප්පෝ නගරය අවට ස්ථානවලට කාලතුවක්කු මගින් බිහිසුණු ප්‍රහාර එල්ල කල බවත් සිරියානු විපක්ෂයේ කණ්ඩායම් ප්‍රකාශ කළා.

ගැටුම් වලින් බේරීමට පළා යමින් සිටින ජනතාව,සොල්දාදුවන්ගේ ප්‍රහාරවලින් ගැලවීමට මියගිය අයගේ සිරුරු මහ මග දමා දිවයමින් ඇති බවයි, තුර්කි - සිරියානු දේශ සීමාවේ සිටින BBC වාර්තාකරුවෙක් ප්‍රකාශ කළේ.