තවත් සිරියානු තානාපති නිලධාරීහු පළා යති

Image copyright AFP
Image caption සයිප්‍රසයේ සිරියානු තානාපතිනි ලමියා අල්-හරිරි

සිරියාවේ තවත් ජ්‍යෙෂ්ට තානාපති නිලධාරීන් දෙදෙනකු ජනාධිපති අසාද් ගේ රජයෙන් ඉවත්වී ඇති බව ඇමෙරිකා එක්සත් ජනපදය තහවුරු කළේය

සයිප්‍රසයේ සිරියානු තානාපතිනි ලමියා අල්-හරිරි සහ ඇගේ සැමියා අරාබි එමීර් රාජ්‍යයේ සිරියානු තානාපති අබ්දෙලතිෆ් අල්-දබ්බාග් සිරියානු රජයෙන් වෙන්ව යාම ජනාධිපති බෂාර් අල් අසාද් ගේ කාලය අවසන් වෙමින් තිබෙන බවට තවත් සාක්ෂි යැයි ධවල මන්දිර ප්‍රකාශක ජේ කානි පැවසීය.

ප්‍රධාන නගරයක් වන අලෙප්පෝ අත් පත් කර ගැනීමට දරන කැරලි කරුවන් නවත්වා ලන්නට සිරියානු රජයේ හමුදා වීරිය දරන අවස්ථාවකයි තානාපති යුවල අසාද් පාලනය හැර ගියේ.

Image copyright AFP
Image caption අලෙප්පෝ නුවර කැරලි කරුවන්

කැනඩාවේ සිටින විරුද්ධ පාර්ශ්වික සිරියානු ජාතික සභාවේ සාමාජිකයකු වන අනාස් මර්වා බී බී සී යට පැවසුවේ තානාපති නිලධාරීන් ගේ ඉවත් වීම මගින් සිරියානු රජයට බලපෑමක් එල්ලවන බවයි.

දවසින් දවස මෙලෙස සිරියානු රජයෙන් නිලධාරීන් ඉවත් වීම සිරියානු රජයට බරපතල ගැටලුවක් වනු ඇතැයි පැවසූ ඔහු මේ සිදුවන දේවලින් ජනතාව විනෝදයක් ලබන බව කියා සිටියේය. තානාපති නිලධාරීන් ගේ ඉවත්වීම මගින් සිරියානු රජය පාඩමක් ඉගෙන ගනු ඇති බවයි ඔහු ප්‍රකාශ කළේ.