තවත් නේටෝ භටයන් හයක් ඇෆ්ගනිස්ථානයේදී මරා දැමේ

Image copyright AFP

පසුගිය සිකුරාදා දිනය ඇතුළත ඇෆ්ඝන් භූමියේදී ඇමෙරිකානු භටයන් හය දෙනෙකු මරා දමනු ලැබුන බව නේටෝ නිලධාරීහු පවසති.

ඉන් එක සිද්ධියක් වාර්තා කරමින් බීබීසී මාධ්‍යවේදියෙක් ප්‍රකාශ කළේ , හෙල්මන්ඩ් පළාතේ කඳවුරකදී ඇෆ්ඝන් සේවකයකු විසින් ඇමෙරිකානු සොල්දාදුවන් තුන් දෙනකුට වෙඩි තබා මරා දමා ඇති බවයි.

විදේශ යුද සන්ධානය සහ ඇෆ්ඝන් හමුදා එක්ව ක්‍රියාත්මක වෙන කඳවුරකදී යි, වෙඩි තැබීම සිදු කෙරුනේ.

හෙල්මන්ඩ් පළාතේම තවත් සිද්ධියකදී, යුද හමුදා ඇඳුමින් සැරසුන ඇෆ්ඝනිස්තාන් ජාතිකයෙක් ඇමෙරිකානු මැරීන් සෙබළුන් තුදෙනකුට වෙඩි තබා මරා දමා තිබේ.

ඉන් සුළු වේලාවකට පසුවයි, මුලින් සඳහන් කරන ලද ප්‍රහාරය වාර්තා වුනේ.

ඇෆ්ඝන් සෙබළුන් තම විදේශීය හමුදා සගයන්ට තුවක්කු හැරවීමේ සිද්ධීන් රාශියක් මේ වසරේ දී වාර්තා වූ බව බීබීසී වාර්තාකරුවෙක් ප්‍රකාශ කරයි.

එවැනි ප්‍රහාර මගින් මේ වසර තුළ මේ වනවිට තිස් දෙනකුට අධික විදේශීය සෙබළුන් මරා දමා ඇත.