ඉස්ලාම් දහමට අවමන් කළ චිත්‍රපටයට එරෙහිව ලොව පුරා උද්ඝෝෂණ

අවසාන යාවත්කාලීන කිරීම :  2012 සැප්තැම්බර් 14 සිකුරාදා - 12:35 GMT
Protesters in Egypt

ඊජිප්තුවේ කයිරෝ අගනුවරත් ප්‍රචණ්ඩ උද්ඝෝෂණ ව්‍යාපාර පෙරට යමින් තිබිණ

නබිනායකතුමන්ට අවමන් කෙරෙන්නක් හැටියට තක්සේරු කෙරෙන ඇමෙරිකානු චිත්‍රපටයට එරෙහිව ලොව පුරා රටවල් කිහිපයකම මහජන විරෝධතා ව්‍යාපාර දියත්වෙමින් තිබිණ.

සුඩානයේ කාටුම් අගනුවර පිහිටි ජර්මන් සහ බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලවලට පහර දී ඇති බවයි වාර්තා වන්නේ.

ජර්මන් තානාපති කාර්යාලයේ ජනේල කුඩුකළ මුස්ලිම් විරෝධතාවාදීහු ඊට වෙඩි තබන්නට පටන් ගත්හ.

තානාපති කාර්යාලයේ ජර්මන් කොඩිය ඉරා දැමූ ප්‍රහාරකයන් එහි ඉස්ලාමීය බැනරයක් සවිකර තිබිණ.

ඊජිප්තුවේ කයිරෝ අගනුවරත් ප්‍රචණ්ඩ උද්ඝෝෂණ ව්‍යාපාර පෙරට යමින් තිබිණ.

පොලිසිය ඇමෙරිකානු තානාපති කාර්යාලය කරා ගමන් ගැනීමට උත්සාහ ගත් විරෝධතාවාදීන්ට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කොට ඔවුන් යලිත් තහ්රිර් චතුරශ්‍රයට පසු බැස්වූ බවයි කයිරෝ නගරයෙන් ලැබෙන වාර්තා මගින් පැවසෙන්නේ.

මේ අතර ප්‍රකාශයක් කළ ඊජිප්තු ජනාධිපති මොහමඩ් මොර්සි තානාපති කාර්යාලවලට පහර දීමෙන් වළකින මෙන් ඉල්ලීමක් කළේය.

ඉහත කී චිත්‍රපටයට එරෙහිව ජාතික මට්ටමින් විරෝධතා ව්‍යාපාර දියත් කරන මෙන් ඉල්ලීමක් කර තිබුන මුස්ලිම් සහෝදරත්වය එම ඉල්ලීම ඉවත් කර ගත් බවයි, අලුත් වාර්තාවන්හි දැක්වෙන්නේ.

සංකේතාත්මක විරෝධතා ව්‍යාපාරවලට පමණක් සහයෝගය දෙන බව පවසන මුස්ලිම් සහෝදරත්වය, තවදුරටත් ඝාතන හෝ විනාශකාරී ක්‍රියාවන් සිදු කිරීමෙන් වළකින ලෙසයි කියා සිටින්නේ.

යේමනය, ලිබියාව, ගාසා තීරය, ඇෆ්ඝනිස්තානය, ඉරාකය, මැලේසියාව, සහ ඉන්දුනීසියාව යන රටවල මෙන්ම කාශ්මීර් ප්‍රාන්තයේත් ඉහත කී චිත්‍රපටයට එරෙහි මහජන උද්ඝෝෂණ පැවති බවයි වාර්තා වෙන්නේ.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.