සිරියාවේ සටන් විරාමයක් ?

අවසාන යාවත්කාලීන කිරීම :  2012 ඔක්තෝබර් 24 බදාදා - 18:13 GMT
Syria violance

මුස්ලිම් ඊඩ් අල්-අධා ආගමික උත්සව කාලය ඇතුළත සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීමට,සිරියානු ආණ්ඩුව සහ කැරලි කරුවන්ගෙන් කොටසක් එකඟ විනැයි එක්සත් ජාතීන්ගේ සහ අරාබි සංගමයේ නියෝජිත ලක්දාර් බ්‍රහිමි කියා සිටියේය.

කෙසේ වෙතත්, සිරියාවේ විදේශ අමාත්‍යාංශය කියා සිටියේ,තම යුද හමුදාව සටන් විරාම කොන්දේසි හදාරමින් සිටින අතර, අවසාන තීන්දුව හෙට ප්‍රකාශයට පත් කරන බවයි.

එහෙත් ලක්දාර් බ්‍රහිමි කියා තිබුනේ,හෙට සිකුරාදා සටන් විරාමය ආරම්භ වෙන අතර එය දවස් හතරක් බල පැවැත්වෙන බවයි.

ලක්දාර් බ්‍රහිමිට පෙර එක්සත් ජාතීන්ගේ සහ අරාබි සංගමයේ සිරියානු නියෝජිතයා හැටියට ක්‍රියාකළ කොෆි අන්නන් විසින් ද මෙවැනි සටන් විරාමයක් ප්‍රකාශයට පත් කළත්, එය ඉක්මනින්ම බිඳ වැටුනි.

නිදහස් සිරියානු කැරලිකරුවන්ගේ ප්‍රකාශකයෙක් බී බී සී යට අදහස් දක්වමින්,යෝජිත සටන් විරාමය ජාත්‍යන්තර නිරීක්ෂකයන් විසින් අධීක්ෂණය කරනු ලබන්නේ නම් පමණක් තමන් ඊට අනුගතව ක්‍රියා කරන බවයි සඳහන් කළේ.

සටන් විරාමය අවස්ථාවක් කර ගනිමින්, ආණ්ඩුව සෙසු නගර වල හමුදා රැඳවීම සම්බන්ධයෙන් තහනමක් පනවන ලෙසත් කැරලිකරුවන් ඉල්ලා සිටියහ.

මේ අතර ප්‍රකාශයක් කරන රුසියාවේ ජ්‍යෙෂ්ට අණදෙන නිලධාරියෙක්,ගොඩබිම සිට එල්ල කෙරෙන ප්‍රහාර සඳහා යොදා ගනු ලබන,එහා මෙහා ගෙනයා හැකි ගුවන් මිසයිල සිරියානු කැරලි කරුවන් අතට පත්ව ඇතැයි සඳහන් කළා.

ඒවායෙන් ඇතැම් මිසයිල, ඇමෙරිකාවේ නිෂ්පාදනය කරන ලද ඒවා වන බවයි රුසියානු අණදෙන නිලධාරීයා පවසන්නේ.

එම තොරතුරු ඉදිරිපත් කරන ජනරාල්,නිකොලායි මකරෝෆ් වැඩිදුරටත් අදහස් දක්වමින්,ඇමෙරිකාවේ නිෂ්පාදිත මිසයිල සිරියානු කැරලිකරුවන් අතට පත් කරන ලද්දේ කවුරුන් විසින් ද යන්න පැහැදිළි නැති බවත්, එහෙත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ යුතුව ඇති බවත් කියා සිටියේය.

තමන් සිරියානු කැරලිකරුවන්ට අවි ආයුධ සපයන බවට පළ වෙන අදහස් ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබෙනවා.

සිරියානු ආණ්ඩුවට අවි සපයන ප්‍රධාන රට රුසියාවයි.

සබැඳි තේමා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.