ආගම්වාදී ගැටුම් කෙරෙහි ඉවසීමෙන් ක්‍රියා කරන්න - විපක්ෂ නායිකා අවුන් සාන් සූචි

අවසාන යාවත්කාලීන කිරීම :  2012 නොවැම්බර් 3 සෙනසුරාදා - 13:48 GMT

බටහිර බුරුමයේ සිදුවෙමින් පවතින ආගම්වාදී ගැටුම් සම්බන්ධයෙන් ඉවසීමෙන් ක්‍රියා කරන මෙන් විපක්ෂ නායිකා අවුන් සාන් සූචි (Aung San Suu Kyi ) ඉල්ලා සිටීයි.

එහෙත් විපතට පත්ව සිටින රෝහින්ග්‍යා මුස්ලිම් ප්‍රජාවේ ඉරණම වෙනුවෙන් පෙනී සිටීම වීපක්ෂ නායිකාව විසින් ප්‍රතික්ෂේප කෙරිණ.

බටහිර බුරුමයේ සිදුවෙන බෞද්ධ - මුස්ලිම් ගැටුම් නිසා දස දහස් ගණන් රෝහින්ග්‍යා මුස්ලිම් ජනයාට ඔවුන්ගේ ගේදොර හැර දමා පළා යාමට සිදු විය .

බුරුම විපක්ෂ නායිකා අවුන් සාන් සූචි, බීබීසියට ප්‍රකාශයක් කරමින් කියා සිටියේ, ප්‍රශ්නයේ සුල මුල සොයා බැලීමෙන් තොරව රෝහින්ග්‍යා මුස්ලිම් ජනයාගේ අර්බුදය පෙරට ගැනීමෙහි ලා සිය සාධාරණ සමාජ නායකත්වය අනිසි ලෙස පාවිච්චි නොකරන බවයි.

රකායි (Rakhine) ප්‍රාන්තයේ පැතිර ගිය බෞද්ධ -මුස්ලිම් ආගම්වාදී ගැටුම්වලින් අනූවකට ආසන්න ජීවිත විනාශයක් සිදුව ඇති බවයි ඇස්තමේන්තු කෙරෙන්නේ.

එම ගැටුම්වලින් දෙපාර්ශ්වයටම හානි සිදුව ඇතැයි කියා සිටි බුරුම විපක්ෂ නායිකාව, ඉන් එක පැත්තක් ගැනීම තම ස්ථාවරය නොවන බවත් කියා කියා සිටියේය.

මේ අතර, යුරෝපා කොමිසමේ ප්‍රධානී හොසේ මැනුවෙල් බරසෝ (Jose Manuel Barroso) බුරුමයේ රෝහින්ග්‍යා මුස්ලිම් ජනතාව මුහුණ දී ඇති අර්බුදකාරී තත්වය සම්බන්ධයෙන් විපක්ෂ නායිකා අවුන් සාන් සූචි ඇතුළු බුරුම නායකයන් සමඟ සාකච්ඡා පවත්වා තිබේ.

සාකච්ඡා පැවැත්වුනේ බුරුමයේ Naypyidaw නගරයේදී.

යුරෝපා හවුලේ නායකයා බුරුම ජනාධිපති තේන් සේන් (Thein Sein) සමඟ පැවැත්වූ සාකච්ඡාවලදී ඩොලර් කෝටි දහයකට අධික සංවර්ධන ආධාර සැපයීමට පොරොන්දු වී තිබේ.

දෙපාර්ශ්වය අතර වෙළෙඳාම නංවාලීම සඳහා පියවර ගැනීම සාකච්ඡා කෙරුන තවත් කරුණක්.

බුරුම පාලනය පසුගිය වසරේ පටන් ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙලක් දියත් කරමින් සිටින අතර, ඉන් පසුව බටහිර නායකයෝ කීප දෙනෙක්ම බුරුමයේ සංචාරය කළහ.

යුරෝපා හවුලේ ප්‍රධානියාගේ සංචාරය එහි අලුත්ම පියවරයි.

ආයෝජන ආකර්ෂණය කර ගැනීමේ අභිලාෂයෙන් බුරුමය විදේශීය ආයෝජනවලට අදාළ නව නීතියක් ද ප්‍රකාශයට පත් කොට තිබේ.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.