බීබීසී තවත් ප්‍රධානීන් දෙදෙනෙක් වගකීම්වලින් ඉවත් වෙති

අවසාන යාවත්කාලීන කිරීම :  2012 නොවැම්බර් 12 සඳුදා - 13:19 GMT
Boaden (L) and Mitchell

කොන්සර්වේටිව් පක්ෂයේ හිටපු නායකයකු ළමා ලිංගික අපචාරයකට සම්බන්ධ කරමින් වාර්තාමය චිත්‍රපටයක් ප්‍රචාරය වීමෙන් අනතුරුව බීබීසී අධ්‍යක්ෂ ජනරාල්වරයා පදවියෙන් ඉවත්විය

මාධ්‍ය තරුවක්ව සිටි, පසුගිය වසරේ අභාවප්‍රාප්ත වූ ජිමී සවිල්ට (Jimmy Savile ) එල්ල වී ඇති ළමා ලිංගික අපචාර සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන වැඩසටහණක් ප්‍රචාරයෙන් වැලැක්වීම සම්බන්ධයෙන් පැවැත්වෙන විභාගයේ ප්‍රතිපල ප්‍රකාශයට පත්කරන තෙක් බීබීසී ප්‍රවෘත්ති අංශයේ ප්‍රධානී හෙලන් බෝඩන් (Helen Boaden) සහ ප්‍රවෘත්ති අංශයේ නියෝජ්‍ය ප්‍රධානියා වන ස්ටීව් මිචෙල් (Steve Mitchell) කර්තෘමය වගකීම්වලින් ඉවත් වන බව නිවේදනය කළා.

එම පියවර ගනු ලැබුනේ බීබීසී අධ්‍යක්ෂ ජනරාල් ජෝර්ජ් එන්විස්ට්ල් පදවියෙන් ඉල්ලා අස්වීමෙන් පසුවයි.

බීබීසී අධ්‍යක්ෂ ජනරාල්වරයාට පදවියෙන් ඉවත් වීමට සිදු වුනේ, කොන්සර්වේටිව් පක්ෂයේ හිටපු දේශපාලන නායකයකු ළමා ලිංගික අපචාරයකට අසාධාරණ ආකාරයට සම්බන්ධ කරමින් රුපවාහිනී වාර්තාමය චිත්‍රපටයක් ප්‍රචාරය වීමෙන් අනතුරුවයි.

මේ අතර පදවියෙන් ඉල්ලා අස්වූ බීබීසී අධ්‍යක්ෂ ජනරාල් ජෝර්ජ් එන්ට්විස්ට්ල්ට වසරකට අයත් වැටුප් ගෙවීම යුක්ති සහගත කිරීම දුෂ්කර කාරණයකැයි බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් ප්‍රකාශ කළේය.

ඉල්ලා අස්වූ අධ්‍යක්ෂ ජනරාල්වරයාට ඩොලර් හත් ලක්ෂ පනස් දහසක මුදලක් ගෙවීමට බීබීසීය ගිවිස ගෙන තිබිණ.

ඔහුට කලින් පදවියේ ක්‍රියා කළ මාක් තොම්සන් ඉවත්ව යාමෙන් අනතුරුව බීබීසී අධ්‍යක්ෂ ජනරාල් පදවිය භාර ගත් ජෝර්ජ් එන්ට්විස්ට්ල් පදවියේ කටයුතු කළේ දවස් පනස් හතරක් පමණයි.

ඉහත සඳහන් කළ මට්ටමේ මුදලක් ගෙවීමෙන් ගම්‍ය වන්නේ ජෝර්ජ් එන්ට්විස්ට්ල් ඉදිරි කාලයෙහි බීබීසී කටයුතු වලට හවුල් වීම බවයි බීබීසී ප්‍රකාශකයෙක් සඳහන් කළේ.

ඉවත්ව යන අධ්‍යක්ෂ ජනරාල්වරයාට එවැනි මුදලක් දීම අසාර්ථක පාලනයක් සඳහා පිරිනැමෙන තෑග්ගකට සමාන දෙයක් ලෙසිනුයි විපක්ෂයේ ලේබර් පක්ෂයේ නියෝජ්‍ය නායිකා හැරියට් හාමන් විග්‍රහ කරන්නේ.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.