තමිල්නාඩු රජය ආසියානු මලල ක්‍රීඩා පැවැත්වීම ප්‍රතික්ෂේප කරයි

අවසාන යාවත්කාලීන කිරීම :  2013 පෙබරවාරි 21 බ්‍රහස්පතින්දා - 17:16 GMT

ශ්‍රී ලංකාව සහභාගී වන නිසා, ජූලි මාසයට නියමිත ආසියානු මලල ක්‍රීඩා ශුරතා තරගාවලිය පැවැත්වීම ප්‍රතික්ෂේප කරන බව ඉන්දීය තමිල්නාඩු ප්‍රාන්ත රජය ප්‍රකාශ කරයි.

මෙවර ආසියානු මලල ක්‍රීඩා තරඟ පවත්වන සත්කාරක රට ඉන්දියාව වන අතර තරඟ පැවැත්වෙන්නේ තමිල්නාඩු ප්‍රාන්තයේයි.

ශ්‍රී ලංකාවේ සුලුතර දෙමළ ජනතාවට එරෙහිව ජන සංහාර සිදුකරන බවට තමිල් නාඩු ප්‍රාන්ත මහා ඇමතිනි ජේ.ජෙයලලිතා විසින් චෝදනා එල්ල කොට තිබේ.

තරඟාවලියට ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගිවීමෙන් දෙමල ජනතාවගේ හදවත් පෑරෙණු ඇති බව තමිල් නාඩු රජය ආසියානු මලල ක්‍රීඩා සංවිධානය වෙත ලිඛිතව දන්වා යවා ඇත.

මේ අතර, එල්ටීටීඊ නායක ප්‍රභාකරන්ගේ බාල පුත් බාලචන්ද්‍රන් අත්අඩංගුවට ගෙන සිටින සහ පසුව ඝාතනය කර ඇති ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන සහ ඒ පිලිබඳ වාර්තා එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගේ කාර්යාලය දැන සිටින නමුත් ඒ ගැන අදහස් දැක්වෙන විශේෂ ප්‍රකාශයක් කර නොමැති බව එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ ප්‍රකාශක මාර්ටින් නෙසිර්ස්කි පවසයි.

දෛනික තොරතුරු දැනුම්දීම සඳහා පැවැත්වෙන මාධ්‍ය සාකච්ජාවේදී බදාදා මාධ්‍යවේදියකු නැගු ප්‍රශ්නයකට පිලිතුරුදෙමිනුයි ඔහු ඒ බව කියා සිටියේ.

ශ්‍රී ලංකාවේ සිදුව ඇති යුද අපරාධ පිළිබඳ වගකීම් සම්බන්ධයෙන් සොයා බැලීම පූර්ණ අවංක ජාතික ක්‍රියාවලියක් මගින් සිදුකිරීමේ තීරණාත්මක වැදගත්කම එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා නිරන්තරයෙන්ම අවධාරණය කොට ඇති බව මහලේකම්වරයාගේ ප්‍රකාශක මාර්ටින් නෙසිර්ස්කි ප්‍රකාශ කළේ, එක්සත් ජාතීන් විසින් ශ්‍රී ලංකාව පිළිබඳව සකසන වාර්තා තුනක් ගැන මාධ්‍යවේදියා විසින් විමසා සිටි අවස්තාවෙදීයි.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.